මේ ඉර හඳ යට — අටවන දිගහැරුම

පහන් පත්තු කිරීමට අවශ්‍ය තිරත්, හඳුන්කූරුත් ගෙන ඒමට අමතක වූ බව අජන්තා හට සිහි වූයේ මාළිගාව ඉදිරියේ කාරය නැවැත්වූ පසුවය. නිවසින් පිටත් වීමේදී හිතේ වූ ව්‍යාකූල භාවය නිසා මෙය තමන්ට අමතක වන්නට ඇතැයි ඈට සිතුනි.

“දුව. මට පහන් තිර ටිකයි, හඳුන්කූරු ටිකයි අමතක වුනා. ඔයාට පුලුවන්ද මල් කඩේකට ගිහිල්ලා ඒ ටික ඇරන් එන්න?”

“ඇයි අම්මට අමතක වුනාද?”

“ඔව් නේ… ගේන්න ඔක්කොම ලෑස්ති කරගෙන හිටියා. අන්තිම වෙලාවේ මට ඒ ටික අමතක වුනානේ. මෙන්න සල්ලි. පහන්තිර පැකට් දෙකකුයි ගිනිපෙට්ටියකුයි තිබුණම ඇති” අජන්තා රුක්ෂලා හට මුදල් ලබාදෙමින් පැවසුවාය.

රුක්ෂලා මුදල්ද රැගෙන මාළිගාවේ ප්‍රධාන දොරටුවේ වාහල්කඩට වම් පසින් වූ මල් කඩ වෙත යන්නට වූවාය. හදිසියේ ඇගේ ගමන නතර වූයේ බිම වැටී තිබුණු යමක් ඇස ගැටුණු නිසාවෙනි. මදක් විපරම් කර බැලූ ඈ හට වැටහුනේ එය නවීනතම වර්ගයේ ජංගම දුරකතනයක් බවය. ඈ වටපිට බැලුවේ කවරෙකු හෝ මෙය සොයමින් සිටින්නේද යන්න දැනගැනීමටය. නැත. පේන තෙක් මානයක සිටින්නන් තම තමන්ගේ පාඩුවේ යන්නට ආ ගමන යන්නෝය. කිසිවෙකු යමක් සොයමින් සිටිනු ඈ නෙත ගැටුනේ නැත.

ඊළඟට ඈ බැලුවේ ජංගම දුරකතනයේ වූ අංක ඇසුරෙන් අයිතිකරු පිළිබඳ හෝඩුවාවක් දැනගත හැකිවේදැ යි යන්නය. එහෙත් ඇගේ ඒ උත්සාහයද ව්‍යර්ථ වූයේ දුරකථනයේ අයිතිකරු විසින් ඒ වෙත මුරපදයක් එක් කොට තිබූ බැවිනි. තරමක් වික්ෂිප්ත භාවයකින් යුක්තව ඈ වටපිට බැලුවේ මී ළඟට කුමක් කරන්නේදැයි වටහා ගත නොහැකි වූ නිසාවෙනි. තරමක් වේලා වික්ෂිප්ත බවකින් යුතුව වටපිට බැලූ ඈ අවසානයේ ජංගම දුරකතනය මාළිගාවේ වාහල්කඩ ඉදිරිපස වූ පොලිස් මුරපොළට බාර දීමට තීරණය කළාය. ඒ වෙත යාමට ඈ ආපසු හැරෙනවාත් සමග ජංගම දුරකතය වෙත ඇමතුමක් ආවේය.

මදක් විමසිල්ලෙන් දුරකතනයේ තිරය දෙස බැලූ විට ඇමතුම ලබාදෙන්නාගේ නම ලෙස “අයියා” යනුවෙන් සටහන් වී තිබෙනු දක්නට ලැබුණි. කුමක් කරන්නේදැයි මොහොතක් කල්පනා කල ඈ තීරණයක් ගෙන දුරකතන ඇමතුම සම්බන්ධ කරන බොත්තම ඔබා කනේ තබා ගත්තාය.

“හෙලෝ….” එහා පැත්තෙන් ඇසුනේ බොහොම අපූරු ආකාරයේ පිරිමි කටහඬකි.

“හෙලෝ…” රුක්ෂලාද පිළිතුරු දුන්නාය.

“මිස්… මේ ෆෝන් එක මගේ නංගිගේ…. දැන් ටිකකට කලින් මේක මාළිගාව ඉස්සරහදි නැතිවුනා. අනේ මිස් මට කියනවද මේක ආපහු ගන්න පුලුවන් කොහොමද කියලා?” ඉතාමත් සංවරශීලී බවකින් යුතුව කතාකරන්නෙකු ගේ කටහඬක් එහා පැත්තෙන් ඇසුණි. එහි යම් තරමකට සිංහල නුපුරුදු ස්වභාවයකින් කතා කරන ගතියක්ද තිබුණි.

“ම්…. මම ඉන්නේ මාලිගාවේ වාහල්කඩ ඉස්සරහ. මිස්ටර්ට එතැනට එන්න පුලුවන්නම් හරි.” රුක්ෂලා පැවසුවාය.

“අනේ මිස්. එහෙනම් විනාඩි දෙකක් ඔතන ඉන්න. මම ඉක්මණට ඔතනට එන්නම්.” එහා පැත්තේ වූ තැනැත්තා පිළිතුරු දුන්නේය.

පහන්තිර සහ හඳුන්කූරු මිලදී ගැනීම පසෙකලා වහා වහා තම මව සොයාගිය රුක්ෂලා සිදුවූ සිද්ධිය ඈ වෙත පවසා සිටියාය. මේ අවස්ථාවේ කොතරම් සෙනගක් ආසන්නයේ ගැවසුනත්, නාඳුනන පිරිමියෙක් මුණ ගැසෙනා වෙලාවට තනියම සිටීමට ඈට සිත් දුන්නේ නැත. මවත් සමග වාහල්කඩ පොලිස් මුරපොළ ආසන්නයට ගියේ යම්කිසි ආකාරයක හදිසි අවස්ථාවක් ඇති වුවහොත් වැඩි ආරක්ෂාවටය.

දුරකතනයෙන් පිළිතුරු දුන් පුද්ගලයා පැවසූ ආකාරයට රුක්ෂලාත්, අජන්තාත් වාහල්කඩ අබියස විනාඩි පහක් පමණ රැඳී සිටියෝය. ඔවුන් දෙදෙනාම නෙත් යොමා සිටියේ දළදා මාළිගාව වෙත ඇතුලු වන ප්‍රධාන දොරටුව වෙතය. එලෙස ඒ දෙස බලා සිටිනා විට නැවතත් රුක්ෂලා විසින් ඇහිඳිනු ලැබූ දුරකතනය නාද වන්නට විය. එහි තිරයේ සටහන් වූයේ පෙරදී ඇමතුම ලබාගත් අංකයමය.

“මිස්… මම මාළිගාවේ ඉස්සරහ ඉන්නේ. මිස් කොතනද ඉන්නේ?” එහා පැත්තේ පුද්ගලයා විමසුවේය.

“මම ඉන්නේ වාහල්කඩ ගාව පොලිස් පෝස්ට් එක ගාව” යැයි පිළිතුරු දුන් රුක්ෂලාද දුරකථනය කනේ තබාගෙන වටපිට බලන්නට වූයේ දුරකතන ඇමතුම ලබා දුන් පුද්ගලයා හඳුනාගන්නටය. අවසානයේ මාළිගාවේ ප්‍රධාන දොරටුවට මදක් ඈතින් සිටිනා තිදෙනෙකුගෙන් යුතු කාණ්ඩායමක් ඇගේ නෙත ගැටුණි. සුදු ඇඳුමින් සැරසී සිටි මෙම කාණ්ඩයට තරුණයන් දෙදෙනක් සහ එක් තරුණියක්ද අයත් විය. එක් පුද්ගලයෙක් දුරකතනය කනේ තබාගෙන තමාට පිටුපා කිසිවෙක් සොයන අයුරු රුක්ෂලාට පෙනුනි.

“ඔයා ඉන්නේ සුදු පාට ෂර්ට් එකකුයි නිල්පාට ඩෙනිම් කලිසමකුයි ඇඳලද?” ඈ ඇසුවේ පුද්ගලයා නිවැරදිව හඳුනාගන්නටය.

“ඔව් මිස්” යැයි පැවසූ පුද්ගලයා තරමක් දැඩි අවධානයකින් යුක්තව වටපිට බලන්නට විය. ඒ අතරවාරයේ ඔහු සමග සිටි අනෙක් තරුණියට ජංගම දුරකථනය අතේ තබාගෙන ඔවුන් දෙස බලා සිටිනා රුක්ෂලාව ඇස ගැටුණි. ඈ රුක්ෂලා වෙත පුලුල් සිනහවක් පා අතින් සංඥාවක් කලේ දුරකතනය දෙසට ඇඟිල්ල දිගු කරන ගමන්ය. එම සංඥාව වටහා ගත් රුක්ෂලාද සිනහවක් පා හිස වැනුවේ ඔවුන් සොයනා පුද්ගලයා තමා බව ඇඟවීමය.

තරුණිය දුරකතනය අතේ තබාගෙන සිටි තරුණයාගේ වැලමිටෙන් ඇද රුක්ෂලා සිටි දෙස පෙන්වා මොනවදෝ කීවාය. ඒ සමගම දුරකතනය කනේ තබාගෙන රුක්ෂලාට පිටුපස හරවා සිටි තරුණයා රුක්ෂලා දෙසට හැරුණි.

හදිසියේම රුක්ෂලාගේ ගත අප්‍රාණිකව යන්නාක් මෙන් දැණුනි. තරුණිය සමග සිටි අනෙක් තැනැත්තා හැරී තමන් දෙස බැලීම හරියට චිත්‍රපටි ජවනිකාවක මන්දගාමී චලනයක් දෙස බලන්නාක් මෙන් ඇයට පෙනෙන්ට විය. හිස කැරකෙන්නාක් මෙන් දැනෙන්නට විය. මේ රූපය… මේ හැඩරුව එක බැල්මකින් මෙතරම් තමන්ගේ හිත වික්ෂිප්ත කරන්නට සමත් වූයේ කෙසේද යන්න ඈට සිතාගත නොහැකි විය.


දුරකතන ඇමතුම අනුව අමන්දාගේ නැතිවූ දුරකතය අත රැඳි පුද්ගලයා සොයමින් නැවතත් මාළිගාවේ ඉදිරිපස දොරටුව වෙත පැමිණී ලෝචනත්, අමන්දාත් චින්තනත් මුලු ප්‍රදේශයම පිරික්සන්නට වූවෝය. මේ අතරවාරයේ නැවතත් නැතිවූ දුරකතනයට ඇමතුමක් ගත් ලෝචන, තමන් එකඟ වූ ස්ථානයට පැමිණ සිටින බව අනෙක් තැනැත්තියට පවසා සිටියේය. සියල්ලටම පෙර ඇයව නෙතු ගැටුනේ අමන්දාටය. අමන්දා ඈ හඳුනාගත් පසු ලෝචනටද කතා කර අදාළ තරුණියව පෙන්වා සිටියාය.

රුක්ෂලාගේ තරම් නොවුනත්, පළමු බැල්මෙන්ම ලෝචනගේ සිතෙහිද යම්සිකි ආගන්තුක, චමත්කාරජනක සිතුවිලි දාමයක් රුක්ෂලා දැකීමෙන් හටගැණුනි. රුක්ෂලා දුටුවන් නැවතත් හැරී බැලීමට පොළඹවන තරමේ රූමතියකි. ඕනැම තරුණයයෙකුගේ හිත කළඹවන රූප සම්පත්තියක් ඈ සතුවිය. එහෙත් මේ සිතුවිලි දාමයට ඊට වඩා වෙනත් යමක් හේතු වන බව ලෝචනගේ යටි හිතට දැණුනි. කිසියම් අමුතුම ආකාරයක සම්බන්ධයක් ඈ හා තිබෙන බවක් ඔහුගේ යටි හිත කියන්නට විය. මායාවක් බඳු ආකර්ෂණයක් ඈ සතුව ඇති බවත්, එක් ක්ෂණයකින් ඒ වෙත තමා නතුවී ආකර්ෂණය වන බවත් ලෝචනට වැටහෙන්නට විය.

අමන්දා ද චින්තද වහ වහා රුක්ෂලා සිටි තැන වෙත ගිය අතර තවමත් රුක්ෂලා වෙතම නෙත් රඳවා ගෙන සිටි ලෝචන ඔවුන් පිටුපසින් ඇදී ආවේ සිහිනෙන් ඇවිදින්නාක් මෙනි. 
“අක්කා… මේ මගේ කසින් අමන්දා. එයාගේ තමයි ඔය ෆෝන් එක” යනුවෙන් චින්තන තමාවත් අමන්දාවත් රුක්ෂලාටත් අජන්තාටත් හඳුන්වා දුන්නේය.

“ඔයාට වෙලාවට මේක හම්බ වුනේ. හදිස්සියෙවත් හොරෙක්වත් ඇහුලුවානම් මට මේක කොහොමටවත් හම්බවෙන්නේ නෑනේ…” යැයි රුක්ෂලා වෙත කෘතඥාපූර්වක බැල්මක් හෙලූ අමන්දා පැවසුවාය.

මේ වන විටත් රුක්ෂලා සහ ලෝචන දෙපල සිටියේ ඔවුනොවුන් වෙත බලාගත් වනමය. දෙදෙනාට දෙදෙනාව එකිනෙකා ගෙන් ගැලවිය නොහැකි ආකාරයේ බන්ධනයකින් බැඳී තිබෙන බවත්, ඉන් ඉවත් වීමට නොහැකි තරමට හිත දුර්වල වී ඇති බවත් වැටහුණි. එහෙත් හදිසියේ අමන්දාගෙත් චින්තනගෙත් කතාබහ නිසා සිතුවිලා දාමයට බාධා එල්ල වූයෙන් රුක්ෂලා පියවි සිහියට පැමිණුනාය.

“ම්… ආ… ඔවු..මේ.. මේක මම මේ ඉස්සරහ මල් කඩය ගාව තිබිලයි ඇහින්දේ. පොලිස් පෝස්ට් එකට ෆෝන් එක දෙන්න අරන් යන්න හිතනකොටමයි කෝල් එක ආවේ ෆෝන් එකට” පියවි සිහියට පැමිණි රුක්ෂලා හැකිතාක් දුරට තම සිතුවිලි නිශ්චල කරගැන්මට උත්සාහ දරමින් පැවසුවාය.

“ඒ කතා කලේ මගේ අයියා… ලෝචන” යැයි කිවූ අමන්දා ලෝචනව හඳුන්වා දුන්නාය.

රුක්ෂලා මදක් කල්පනා කර බැලුවාය. මෙතරම් හුරුපුරුදුව දැනෙනා මේ තරුණයා කවුරුන්ද? මීට පෙරකිසිම දිනෙක මොහු හමුවී නැති බව ඇයට සක්සුදක් සේ පැහැදිලිය. එහෙත් ඔහු වෙනුවෙන් මේ දැනෙනා අමුතුම ආකාරයේ හැඟීම කුමක්ද? ඇය ඒ පිළිබඳව සිතන්නට සිතන්නට පත් වූයේ තව තවත් අවුලකටය.

ලෝචනද සිටියේ රුක්ෂලා සිටි තත්වයෙන්මය. කෙතරම් කල්පනා කලත් මෙවන් තරුණියක් මීට පෙර තමාට මුණ ගැසී නැති බව ඔහුටද විශ්වාසය. ඇගේ මව ඈ සමග සිටිනා බැවින් සෘජුව ප්‍රශ්න කිරීමද නුසුදුසු යැයි සිතුණි.

රුක්ෂලා තමා වෙත වූ දුරකතනය අමන්දා අත තැබුවාය. අමන්දා ඈ වෙත මුව නොසෑහෙන සේ ස්තූති කරන්නට ලෑස්ති වුවද, රුක්ෂලා ඒ සියල්ල නිහතමානීව ප්‍රතික්ෂේප කලාය.

“අයියේ…. අපි යමු නේද? නැත්තම් පූජාවට ඉන්න බැරි වෙනවා” තම ඔරලෝසුව දෙස බැලූ චින්තන මතක් කර දුන්නේය. නැවතත් රුක්ෂලාටත් අජන්තාටත් මුව නොසෑහෙන සේ ස්තූති කළ අමන්දා පෙරටු කරගත් තිදෙනා දළදා මාළිගාව වෙත යාමට ප්‍රධාන දොරටුව වෙත ගමන් කළෝය. මද දුරක් පිටුපසින් පැමිණි ලෝචන හදිසියේම ආපසු හැරුණේ කිසිවෙකු තමා දෙස බලා ඉන්නේ යැයි ඉවකින් දැණුන හැඟීම නිසාය. ආපසු හැරී බැලූ ලෝචනට දැකගත හැකි වූයේ විසල් කරගත් දෙනෙතින් යුතුව තමන් දෙස බලා සිටිනා රුක්ෂලාවය. ඇගේ දෙනෙතේ තවමත් වූයේ කිසිවක් තේරුම් ගත නොහැකි, විස්මයට පත්වූ ස්වභාවයකි. ඊළඟ මොහොතේ ඇගේ රූපය සෙනග අතරේ මුසුවී අතුරුදහන් වී ගියේය.