මේ ඉර හඳ යට — දහසය වන දිගහැරුම

“මට මාමා එක්ක ටිකක් කතා කරන්න ඕනේ ” දිනක උදෑසන ලෝචන පැවසුවේ ජයන්ත ගේ කාර්යාල කාමරයට ඇතුල් වෙමිණි.
තමාගේ දේශනයකට අවශ්‍ය වූ තොරතුරු පොතකින් බලමින් සටහන් යොදමින් සිටි ජයන්ත උපැස් යුවළට උඩින් ලෝචන දෙස බැලුවේ ගැටලුව කුමක්දැයි වටහා ගන්නට මෙනි. ලෝචනගේ මුහුණෙහි වූ අසාමාන්‍ය ස්වභාවය ජයන්ත ගේ සිතෙහිද නොසන්සුන් බවක් ඇති කළේය. කුමක් හෝ කොතැනක හෝ වැරදී ඇති බවක් ඔහුට වැටහුණි. ඔහු නිහඬවම පසෙකවූ පුටුවක් දෙසට අත පෑවේ ලෝචනට වාඩිවෙන්නට යැයි කියමිනි.
“පුතාට මොකක් හරි අසනීපයක්ද? ” ලෝචන කිසිම දෙයක් පවසන්නට පෙර ජයනාත් ඇසුවේ හරියටම ඔහුගේ හිත වටහා ගත්තාක් මෙනි.
තරමක් වේලා කවුලුවෙන් එපිට බලාසිටි ලෝචන සුසුමක් හෙලා ජයන්ත දෙසට හැරුණි.
“අසනීපයක්ද කියන්න දන්නේ නෑ මාමා. ඒත් මට කවදාවත් මුහුණ දීල නැති සිටුවේෂන් එකකට මම මේ දවස් වල ෆේස් කරලා ඉන්නේ. ඒක ඇත්තටම මට හරිම කරදරයක් වෙලා මට. උත්තර නැති ප්‍රශ්න ගොඩක් එක පිට එක ඇවිල්ලා වගේ. කොටින්ම මේ කේස් එක නිසා මට පහුගිය දවස් ටිකේ හරියට නින්දක්වත් ලැබුණේ නෑ. ඒ තරමට මේක මට වදයක් වෙලා. ඒකයි කල්පනා කරලා කරලා මම අන්තිමට මාමාව හම්බවෙන්න ආවේ.”
“හම්…. ඒකත් එහෙමද? හොඳයි…. පුතා වෙලාව ඇරගෙන හෙමීට කතාව කියන්න බලන්න. මම එච්චර ලොකු වැඩක නෙවෙයි හිටියේ…”
ලෝචන විසින් දළදා මාළිගාව අභියසදී රුක්ෂලා ව මුණගැසුණ මොහොතේ සිට අමුතු හීනය දකින තෙක් සිදුවීම් සියල්ලම එකිනෙක ජයන්ත වෙත පැවසුවේය. ඉන්පසුවත් තමා සෑම රැයකම මෙම හීනය නිසා පීඩා විඳින බවත්, එබැවින් තමාගේ මානසික නිදහස පවා අහිමි වී ඇති බවත් ඔහු කියා සිටියේය.
පැය භාගයක පමණ කාලයක් තිස්සේ කිසිම බාධා කිරීමකින් තොරව ලෝචනගේ කතාවට සවන් දෙමින් සිටි ජයන්ත තම නළල පිරිමදින්නට වූයේ මෙම සිදුවීමට කෙළෙස පිලිතුරු දෙන්නේදැ යි සිතමිනි.
“පුතා මේක සිද්ධ වුන දවස් වලම මට මේක කිවුවනම් තමා හොඳ. මමනම් හිතන්නේ දැනටමත් මේකට මොනවත් කරන්න කල් ගිහින් වැඩියි. මේ දේ එකපාරක්, දෙපාරක් වුනානම් අපිට හිත හදාගන්න තිබුණා අහඹු සිදුවීමක් කියලා. නමුත් මේ දේ හැමදාම, එකම විදිහට, ඔයා කියන විදිහට අකුරක්වත් වෙනස් වෙන්නේ නැතුව සිද්ධ වෙනවනේ. අනික ඔයා කියන විදිහට මේක දැන් ඔයාට වදයක් වෙලානේ තියෙන්නේ….”
“අපි මොකද මාමා මේකට දැන් කරන්නේ?”
“ඔයා මේක ගැන අම්මලා ට කිවුවද?”
“නැහැ. මම නංගිටත් කිවුවා කිසිම දෙයක් මේ ගැන කියන්න එපා කියලා. එයාලා ඊළඟට නිකරුනේ කලබල වෙලා මෙහේ දුවගෙන එන්න දඟළයි.”
“ඒක හොඳයි. අපි පොඩ්ඩක් බලමු මේකට මොකක්ද කරන්න පුලුවන් කියලා එයාලව කලබල කරන්නේ නැතුව. පුතාට අර ගෑණු ළමයා ඉන්නේ කොහේද කියලා අදහසක් තියෙනවද? අපිට අඩුම ගානේ ගිහින් මේ ගැන පොඩ්ඩක් කතා කරන්න?”
“නෑ මාමා. මට ඒක අහගන්න වෙලාවක් තිබුණේ නෑ.”
“හොඳයි. අපි ඒක පැත්තකින් තියමු. මම අඳුනන යාලුවෙක් ඉන්නවා. එයා ඩොක්ටර් කෙනෙක්. ඇත්තම කිවුවොත් සයිකියැට්‍රිස්ට් කෙනෙක්. මනුස්සයා මේ වගේ දේවල් වලට ස්පෙෂලයිස්ඩ්. අපි බලමු එයාව මුණගැහෙන්න පුලුවන්ද කියලා. හොඳම දේ මේ වෙලාවේ ඒ වගේ ස්පෙෂලිස්ට් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න එක. නැත්තම් අපි හිතුන හිතුන දේවල් කරලා වැඩේ අනාගනීවි. මේ වගේ දේවල් අපි බොහොම සියුම්ව විසඳන්න ඕනේ දේවල්. අපි නිකන් මනුස්සයව හම්බවෙලා වෙලාවක කැෂුවලි කතා කරලා බලමු”
ජයන්ත පැවසූ දේට එකඟතාව පළ කරමින් ලෝචන තම හිස වැනුවේ වෙන කරන්නට යමක් ඔහුටද සිතාගත නොහැකි වූ බැවිනි.
රුක්ෂලාගේ නිදන කාමරයේ රුක්ෂලා සහ මධූ සිටියේ කිසිදු කතාබහකින් තොරව ය. පසුගිය දිනයේ වෛද්‍යවරයා සහ තමා අතර සිදුවූ සියලු කතාබහ පමණක් නොව, සිය සිහිනයේ නියම විස්තර පවා රුක්ෂලා මධූ වෙත පවසා සිටියාය. ඇය කිසිදු වදනක් නොදොඩා සියල්ල සවන් දීගෙන සිටියේ අදහාගත නොහැකි විශ්මයකිනි.
“උඹව එල්ලන්න වටිනවා රුක්ෂලා මේ කරපු දේට…. කිසිම දෙයක් මටවත් කිවුවේ නෑ නේ? “
“උඹට කියන්න තියා බං මම මේ දේවල් ඩොක්ටර්ටවත් කිවුවේ නෑ. අම්මලා ඉස්සරහ අර ළමයා ගැනත් මම විස්තර කිවුවනම් හිතාගන්න පුලුවන්නේ වෙන දේ? අනිත් එක මට හිතෙනවා මේ දේවල් මගේ හිතලුවක් වත්ද කියලා…”
“හිතලුවක් තියා මොකක් උනත් මේක එක දවසක්, දෙකක් උන දෙයක් නෙවේනේෙ…උඹ දැන් සති දෙකක් තිස්සේ මේ කෙහෙල්මල් හීනයක් නිසා බයවෙනවා. ඒ මදිවට කොහෙන්දෝ කඩාපාත් වෙච්ච කොල්ලෙකුත් ඒකේ ඉන්නවා. මට කියපන් උඹ ඒ හීනේ දැකපු එක වෙලාවකවත් ඒ කොල්ලා හිටියේ නැති වෙලාවක් තිබුණද කියලා?”
“නෑ මධූ… හැම වෙලේම එකම හීනේ මම දැක්කේ. ඒ හැම වෙලේම ඒ හීනේ හිටියේ එකම ළමයා. ඇඳුම් පැළඳුම්, කොණ්ඩේ වෙනස් උනාට මට සියයට සීයක් ෂුවර් ඒ හැම වෙලාවකම හිටියේ එයා කියලා…”
“ඒකනේ කියන්නේ… උඹ අහලා තියෙනවද ඩොක්ටර් ටයි, ලෝයර්ටයි කරුණු කාරණා හංගන්න එපා, ඒකෙන් පාඩුව වෙන්නේ අපිටමයි කියලා?”
“මං දන්නවා මධූ.. ඒ වෙලාවේ ඒක ඩොක්ටර් ට කියන්න විදිහක් තිබුණේ නෑ. අම්මයි නංගියි දෙන්නම එතන හිටියා. හැබැයි ඩොක්ටර් ටත් තේරෙන්න ඇති මං මොනවා හරි කියන්නේ නැතුව මග ඇරියා කියලා.”
“මොනවා උනත් කමක් නෑ. ඩොක්ටර් ට ඇත්ත කියපං. මොන ප්‍රශ්නයක් නිසා මෙහෙම වෙනවද අපි දන්නේ නෑ නේ… ඒක නෙවේ…ඇත්තටම බං උඹට ඩොක්ටර් කියපු දේවල් පිළිගන්න පුලුවන්ද?”
“මට නම් ඒ දේවල් වල සැක කරන්න දෙයක් නෑ මධූ. අපි කොච්චරවත් මේ වගේ දේවල් අපි ඉන්ටර්නෙට් එකේ, පත්තර වල අහලා තියෙනවද? ඉතින් මේ දේත් ඇත්ත වෙන්න බැරි නෑ නේ….”
“ඒ කියන්නේ මේ සිද්ධිය ගිය ආත්මේ උන දෙයක් වෙන්න ඇති කියලද ඩොක්ටර් කියන්නේ?”
“එහෙම එකක්ම කීවේ නෑ. ඒත් ඩොක්ටර් කියන්නේ එහෙම දෙයක් වෙන්න පුලුවන් කියලා. එහෙම නොවෙන්නත් පුලුවන්. හරියටම දැනගන්න පුලුවන් නිසා තමයි හිප්නොටයිස් වෙන්න කැමතිද කියලා ඇහුවේ…”
“පුදුමයි අන්කල් කැමැත්ත දුන්නා…”
“අප්පච්චි කැමති උනේම නෑ. අම්මා තේරුම් කරලා දීලම තමා අන්තිමට කැමති උනේ. මටත් මේක හරි වදයක් වෙලා මධූ. ඇත්තටම කිවුවොත් හිසරදයක්.”
“මේ පාර ගිහින් ඩොක්ටර්ව හම්බෙන්නකෝ. එතකොට එයා හොයලා බලලා මොකද කරන්න ඕනේ කියලා කියයි නේ” මධූ රුක්ෂලාව අස්වැසුවාය.

