මේ ඉර හඳ යට — දහහතරවැනි දිගහැරුම

ශ්‍රීනාත්ගේ ප්‍රශ්න කිරීම විනාඩි තිහකට අධික කාලයක් පුරා පැවතුණි. රුක්ෂලා විසින් පවසන සෑම කුඩා දෙයක් පිළිබඳවම අවධානය යොමු කරමින් හෙතෙම සියලු දේවල් තම අත වූ කුඩා පොතක සටහන් කරගත්තේය. රුක්ෂලාට විස්තර කරන්නට නොතේරුණු යම් යම් දේවල් අමාලි ගෙන් මෙන්ම අජන්තාගෙන්ද විමසා දැන ගත්තේය. රුක්ෂලාගේ කුඩා කාලය පිළිබඳව විශේෂයෙන් ප්‍රශ්න කිරීමට ඔහු අමතක නොකළේය.

ප්‍රශ්න කිරීම් අවසානයේ වෛද්‍යවරයා විනාඩි පහක් පමණ සියලු දේවල් සංසන්දනය කරමින් කල්පනා කළේය. මෙහි ප්‍රශ්නය ඇත්තේ කොතනද යන්න පිළිබඳව අදහසක් ගැනීමට අත්දැකීම් පරිපූර්ණ වෛද්‍යවරයෙක් වූ ඔහුට ඒ සුලු වෙලාව ප්‍රමාණවත් විය. එහෙත් ඒ ප්‍රතිකාර ක්‍රමය වෙත යාමට රෝගියා මෙන්ම ඇගේ මවද කැමති විය යුතුය. නැතිනම් ඒ ක්‍රමය කළ හැකි විදිහක් නැත.

මද වේලාවක් කල්පනා කල හෙතෙම තම සිතෙහි වූ ප්‍රශ්නය කෙලින්ම අජන්තා වෙතත්, රුක්ෂලා වෙතත් යොමු කළේය.

“මිස් රුක්ෂලා, මිසිස් බණ්ඩාර…. මට හිතෙන විදිහට මේ ප්‍රශ්නෙට ලේසියෙන්ම උත්තරයක් හොයන්න තියෙන්නේ එකම ක්‍රමයයි. හැබැයි ඒ ක්‍රමය උත්සාහ කරලා බලන්න මට ඔය දෙන්නගෙම අවසරයත්, කැමැත්තත් ඕනේ. නැතුව මට ඒ දේ කරන්න බෑ….”

“මොකක්ද ඩොක්ටර් ඒ?”

“මිස් රුක්ෂලා කැමතිද හිප්නොටයිස් වෙලා, එහෙම නැත්තම් මෝහනය වෙලා මේ ප්‍රශ්නෙට හේතුව මොකක්ද කියලා හොයලා බලන්න?”

එම ප්‍රශ්නයත් සමග අජන්තා පමණක් නොව, රුක්ෂලා ද, අමාලි ද ගැස්සී ගියෝය. තිදෙනාම එකිනෙකාගේ මුහුණු බලන්නට වූයේ කුමක් පවසන්නදැයි වටහාගැනීමට නොහැකිවය.

ශ්‍රීනාත් තිදෙනාගේම මූණෙහි වූ වෙනස්වීම් දෙස බලා සිටියේය. මෝහනය පිළිබඳව හරිහැටි නොදැනීම නිසා සිදුවන්නාවූ තැතිගැන්මක් තිදෙනා තුළ ඇතිවී තිබෙන සෙයක් ඔහුට හැඟූනි. මෙම ප්‍රතිචාරය ඔහු වෙත අමුත්තක් නොවුනේ, තමා වෙත පැමිණෙන රෝගීන්ගෙන් බහුතරයකගේ තත්වය මෙය වූ බැවිනි. එමනිසා සියල්ලටම ප්‍රථමයෙන් මෝහනය පිළිබඳව කරුණු කාරණා වටහා දී රෝගියාගේ සිත සැහැල්ලු කළ යුතු යැයි ඔහුට සිතුණි.

“මිස් රුක්ෂලා හිප්නොටයිස් කරනවා කිවුවම බය වුනා නේද?” ශ්‍රීනාත් තම මුහුණට මද සිනහවක් නංවා ගනිමින් ඇසුවේය.

“ඔව්” කියන්නට මෙන් රුක්ෂලා තම හිස ඉහළ පහළ වැනුවාය.

“ඇයි ඩොක්ටර් ඒ වගේ ට්‍රීට්මන්ට් එකකට යමු කියලා කිවුවේ? දුවට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වත් තියෙනවද?”

ශ්‍රීනාත් මද වේලාවක් තිදෙනා දෙස බලා සිටියේය. මෙම කරුණූ කාරණෘ පිළිබඳව තම රෝගියා වෙත නිවැරදි අවබෝධයක් ලබාදීම ඔහුගේ සිරිත විය. වෛද්‍යවරයා අතරත් රෝගියා අතරත් රහස් තිබිය යුතු නැති බවට හෙතෙම විශ්වාස කලේය. එසේම තම පැහැදිලි කිරීම් ඉතා සියුම් වත්, නිවැරදිවත්, රොගියාට මනාව තේරුම් යන පරිදිත් සිදු කිරීමට හෙතෙම සෑම විටම වග බලා ගත්තේය. අනවබෝධය නිසා ඇතිවන විශ්වාසය පලුදු වීම් නිසා රෝගියා සහ වෛද්‍යවරයා අතර ඇතිවන ප්‍රශ්න වලට මුහුණ දීමට ඔහු කැමති නොවීය.

“එහෙම ලොකු ප්‍රශ්නයක් ගැන මට තාම හරියටම කියන්න විදිහක් නෑ මිසිස් බණ්ඩාර. මට ඒ ගැන හරියටම තීරණයක් දෙන්න පැහැදිලි දත්ත නැහැ. ඒත්, මගේ වෘත්තීය ජීවිතයේ අත්දැකීම් එක්ක, මිස් රුක්ෂලාගේ මේ සිද්ධීය ඇනලයිස් කරලා බැලුවම මට හුඟක් වෙලාවට හිතෙනවා මේ දකින හීන වලට හේතුව මොකක්ද කියලා හිප්නොටයිස් කරලා හොයාගන්න පුලුවන් වේවි කියලා. මම විශ්වාස කරනවා මේ සිදුවීම් වලට හේතුව බොහෝවිට මිස් රුක්ෂලාගේ ළමා කාලයේදී හිතේ තැන්පත් වුන දෙයක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්තම් ඊටත් පිටිපස්සට ගියපු කාලයක මතකයක් නැවත අවධි වීමක් වෙන්න පුලුවන්. මට අන්න ඒකයි හරියටම දැනගන්න ඕනේ. එතකොටයි මට නිවැරදිව ප්‍රතිකාර කරන්න පුලුවන්”

පිරිස අතර මද නිහැඬියාවක් පැතිර ගියේය. රුක්ෂලා තවමත් බිම බලාගත් වනම කල්පනා කරමින් සිටියාය. වෛද්‍යවරයා කියන දෙය ඇත්තක් විය හැකිද? මේ සා සිතුවිල්ලක් තම සිතෙහි තැන්පත් වීමට තරම් කුඩා කළ සිදුවූ යමක් ගැන ඇයට මතයක් නොවීය. එසේනම් මෙය පෙර ආත්මයක සිදුවූ යමක් නැවත සිහිපත් වීමක්ද? පොත්පත්වල කියවා තිබුණාට, රූපවාහිනියේ අසා තිබුණාය එවැනි දේ ඇත්ත ලෝකයේ සත්‍ය වශයෙන්ම සිදුවෙනවාද?

“ඩොක්ටර් කියන්නේ මම පෙර ආත්මයක මතකයක් ගැන කියවනවා කියලද?” රුක්ෂලා සිහින් හඬකින් වෛද්‍යවරයාගෙන් විමසා සිටියාය.

“මෙහෙමයි… මට ඒක ගැන සියයට සීයක්ම ගැරන්ට් කරන්න බැහැ. නමුත් මට සාධාරණ සැකයක් තියෙනවා එහෙම දෙයක් වෙන්න පුලුවන් කියලා. මට ඒ සැකය දුරු කරගන්නත් එක්ක තමයි මම කිවුවේ අපි හිප්නොටයිස් කරලා බලමු කියලා…”

“ඒත් ඩොක්ටර්… ඇත්ත ලෝකේ එහෙම දේවල් වෙන්න පුලුවන්ද?” තිදෙනා වෙතම සිතෙහි වූ කැකෑරෙන ප්‍රශ්නය අමාලි ඇසුවාය.

“මිස් හිතුවේ මේ වගේ දේවල් තියෙනනේ ෆිල්ම් වල, එහෙමත් නැත්තම් පොත් වල විතරක් කියලද?” ශ්‍රීනාත් ඇසුවේ මුහුණට නගාගත් මද සිනහවක්ද ඇතුවය.

“ඇත්ත… පෙර ආත්මයක් තියෙනවද නැද්ද කියන එක විද්‍යාවෙන් තාම හරියට ඔප්පු කරලා නැති විවාදාත්මක මාතෘකාවක්. මොකද අපි මේ දන්න විද්‍යාව කියන්න ඇහැට ගෝචර වෙන්නේ නැති, එකේ සිමාවලින් එපිටට ගියපු දෙයක් තමයි මේ කියන සංකල්පය. විද්‍යාව කියන දේ තාමත් අත දරුවෙක්. ඒකේ තියෙන නිර්ණායක වලින් ඔප්පු කරන්න පුලුවන් දේවල් තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. කොහොම වුනත්, අතීතයේ හිටපු පරණ ආගම් වල ශාස්තෘවර මේ ගැන හුඟක් දේවල් කියලා තියෙනවා. වැඩිදුර යන්න ඕනේ නෑ… අපේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනකොට කොච්චර වතාවක් පෙර ආත්ම වල දේවල් ආපහු සැරයක් මතක් කරලා තියෙනවද? ඒ වගේම අපි කියවන පන්සිය පනස් ජාතක පොත කියන දේත් තනිකරම නිර්මාණය වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පෙර භවයන් ගැන සළකලා බලලා නේද?”

නැවතත් සෑම දෙන අතර නිහඩතාවයක් පැතිර ගියේය. ශ්‍රීනාත් විසින් පැවසු දෙයෙහි වූ සත්‍යතාව තේරුම් ගැනීමට තිදෙනාට මද වෙලාවක් ගත විය.

“එතකොට ඩොක්ටර් කියන්නේ හිප්නොටියිස් කලොත් මගේ ලෙඩේට හේතුව හොයාගන්න පුළුවන් වේවි කියලද?” අවසානයේ රුක්ෂලා ඇසුවාය.

“මට ඒ ගැන සියයට සීයක් වගකියන්න බැ. එත් මන් හිතනවා එකෙන් අපිට හොද ප්‍රතිපලයක් ගන්න පුලුවන් වේවි කියල. හැබැයි, එක කරන්න පුළුවන් මිස් රුක්ෂලා ගේ කැමැත්ත ඇතුව විතරි. බල කිරීමක් කරලා හිප්නොටයිස් කරන එකෙන් ගන්න බෑ. එකට රෝගියාගේ සම්පූර්ණ කැමැත්ත තියෙන්න ඕනේ.”