මේ ඉර හඳ යට — දෙවන දිගහැරුම

Dakshina Wijesuriya
මේ ඉර හඳ යට
4 min readJan 3, 2017

“මෙහෙ ගියපාර එනකොට තිබුණාට වඩා සෑහෙන්න වෙනස් වෙලා මාමා..” ලෝචන පැවසුවේ වාහනයේ වීදුරුවෙන් කොළඹ නුවර පාර නිරීක්ෂණය කරමිනි.

“ඒකනම් ඇත්ත. පහුගිය කාලේ රටේ පාරවල් ටිකනම් සෑහෙන්න හැදුනා. කොළඹ නුවර පාර සෑහෙන්න පළල් කරලා හොඳට කාපට් කරලා තියෙන්නේ. එච්චර මහන්සියක් නැතුව දැන් ගමනක් යන්න පුලුවන්”

“අපි ගෙදර යනකොට කීය විතර වේවිද මාමා? “අමන්දා ඇසුවේ පසුපස අසුනේ සිටය.

“මගදී බ්ලොක් එකක් අහුවුනේ නැත්තම් නවය විතර වෙනකොට යන්න පුලුවන්. ඇයි දුව මහන්සි ද?”

“අනේ නෑ මාමා. මහන්සියක් නම් නෑ. නැන්දා මග බලාගෙන ඉන්න හින්දා ඇහුවේ. නැන්දා තනියම නේද ගෙදර?” අමන්දා ගේ මීළඟ පැනය යොමු වූයේ චින්තනට ය.

“නෑ. මේරි අම්මා ගෙදර ඉන්නවා. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ.“

“කවුද මේරි අම්මා කියන්නේ?”

“මේරි කියන්නේ දුව, අපේ ගෙදර වැඩට ඉන්න මනුස්සයා. හරි හොඳයි. නැන්දල ගේ ගමේ කෙනෙක්. දැන් අවුරුදු තුනක් විතර වෙනවා ඇවිල්ලා. දැන් ඉතින් පවුලේ කෙනෙක් වගේම තමයි”

කතාවෙන් කතාව ඔවුන් කොළඹ නුවර පාරේ සෑහෙන දුරක් ගමන් කළෝය. අවුරුදු පහකට පමණ පසුව සිදුවූ හමුවූ නිසා සියලු දෙනාටම කතා කරන්නට බොහෝ දේවල් තිබුණි. වැඩිමනත් චින්තනට උවමනාව වී තිබුණේ තම උසස් පෙළ ප්‍රථිපල සමග ඇතුළත් විය හැකි පිටරට විශ්ව විද්‍යාලයක් පිළිබඳව දැන ගැනීමටය.

“ඇයි මල්ලී ෆොරීන් යුනිවසිටි එකකට එන්රෝල් වෙන්න හදන්නේ? මෙහෙ එකකට යන්න පාස් වෙන එකක් නැති වේවි කියලා බයද?”

“එහෙම එකක් නෙවෙයි අයියා. ඒත් මට හිතෙනවා ලංකාවේ ඉගෙන ගන්නවාට වඩා පිටරට ගිහින් ඉගෙන ගත්තොත් මම කරන ෆීල්ඩ් එකේ සැහෙන දුරකට යන්න පුලුවන් වේවි කියලා. “

“ඉතින් මාමයි නැන්දයි කැමති ද?” ලෝචන ඇසුවේ රියදුරු අසුනේ උන් ජයන්ත දෙස බලමිනි.

“මගෙයි නැන්දගෙයි නම් ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්න නම් කිවුවේ ඉගෙන ගන්න දේ කොහෙන් වුනත් කමක් නෑ හරියට ඉගෙන ගන්න කියලා. ඒකට වියදම් කරන එකත් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි දෙන්නම චින්තනට එක කොන්දේසියක් දැම්මා.”

“ඒ මොකක්ද ඒ?”

“කවදා හරි ඉගෙන ගන්න එක ඉවර කරලා ලංකාවට එන්න ඕනේ. ආයේ පිටරට ජොබ් එකක් කරන්න හරි වෙන කන්ට්‍රි එකකට මයිග්‍රේට් වෙන්න හරි අයිඩියා එකක් තියෙනවා නම් ඇට් ලීස්ට් ටෙන් ඉයර්ස් වත් මෙහෙ ජොබ් එකක් කරන්න ඕනේ කියලා.”

එය ඇසූ ලෝචනත් අමන්දාත් මුහුණෙන් මුහුණ බලාගත්තෝ ය. ඔවුන්ට මේ කොන්දේසියේ අගක් මුලක් තේරුණේ නැත.

“ඇයි මාමා එහෙම දෙයක් කීවේ? චින්තන ට පුලුවන් නේ ඩිග්‍රි එක ගන්න කන්ට්‍රි එකේම ජොබ් එකකට සෙට් වෙන්න. සැලරි එකත් හොඳ ගානක් හම්බ වේවි නේ?”

“පුතාටත් ඒ කතාව තේරුණේ නෑ නේද?” ජයන්ත කීවේ සිහින් සිනාවක් ද මුවගට නගා ගනිමිනි.

“චින්තන එක වසරේ ඉඳලා ඒ ලෙවල් වෙනකන් ගියේ ලංකාවේ ඉස්කෝලෙකට. එයා ඉගෙන ගත්තේ ලංකාවේ මිනිස්සු ගෙවන බදු මුදල් වලින්. ඉතින් එහෙම කරලා ලංකාවට සේවයක් කරන්නේ නැතුව වෙන රටකට සේවය කරලා කොච්චර ලොකු සැලරියක් ගත්තත් වැඩක් තියෙනවද පුතා? “ ජයන්ත කීවේ ලෝචනටත් අමන්දාටත් හිතන්නට බොහෝ දේවල් ඉතිරි කරමිනි.

“පුතා..දුව… යන ගමන් මොනවා හරි බීලා යනවද? නැත්තම් ගෙදර ගිහිල්ලා කෙලින්ම කෑම කනවද?” ජයන්ත පැවසුවේ මාවනැල්ල නගරයට ආසන්න වන විටය.

“බඩගින්න නම් තියෙනවා මාමා. ඒ වුනාට ගෙදර ගිහිල්ලම කමු. දැන් මොනවා හරි කෑවොත් නැන්දගේ කෑම එකට වගකියන්න බැරි වෙනවා.” ලෝචන කීවේ සියලු දෙනාම සිනහ ගස්වමිනි.

රාත්‍රී නවය වන විට ඔවුන් පේරාදෙණිය පාලම පසුකරමින් නුවර නගර සීමාවට ඇතුල් වුනි. ගලහ හන්දියෙන් දකුණට හැරවූ රථය දොලුව පාරේ ගමන් කරන්නට විය.

“අයියා.. මේ අපි යන්නේ කැම්පස් එක මැදින්. ලෝකයේ මම හිතන විදිහට ලස්සනම කැම්පස් වලින් එකක්. අපරාදේ.. දැන් රෑ වෙලානේ. නැත්තම් ඔයාට ලස්සන බලාගන්න තිබුණා.”

“පුතා කියන එක හරි. මම මේකේ වැඩකරනවාට කියනවා නෙවෙයි. මමත් ලොකේ පුරාම කැම්පස් දහයකට විතර විසිට් කරලා තියෙනවා. ඒත් මේ තරම් ලස්සන තැනක් මගෙ ජීවිතේට දැකලා නැහැ. මම හිතන්නේ මම හුඟක් පින් කරලා තියෙනවා මේ වගේ තැනක වැඩ කරන්නත් ඊට හුඟක් ආසන්න තැනකම ජීවත් වෙන්නත්” ජයන්ත පැවසුවේ මහත් වූ හැඟීමකිනි.

“ඒ වගේම තමයි මේක උදේට බලන්න ඕනේ.. අයියට දැක්කම පිස්සු හැදෙයි. පාට පාට මල්. ඇඟ නිකන් සලිත වෙලා යනවා”

චින්තන ලෝචන ට කීවේ ඇසක් ගසාය. එහි සැඟවුන අරුත තේරුම් ගැනීමට සියල්ලන්ටම මද වේලාවක් ගතවිය. ලෝචන මහ හඬින් සිනහ වූ අතර පසු පස අසුනේ වුන් අමන්දා සෙමෙන් පහරක් චින්තන ගේ උරයට ගැසුවාය. ජයන්තට ද සිනහ ආ නමුත් ආයාසයෙන් එය පාලනය කරගගනිමින් “කොල්ලෝ…” යැයි තමාටම මුමුණා ගත්තේ ය.

“ඕන් අපි ආවා…” යැයි කියූ ජයන්ත පාරේ වම් පස් තිබූ ගේට්ටුවකින් වාහනය ඇතුල් කළේය. මද දුරක් ඉහළට විහිදී තිබූ පාරේ ගමන් කළ රථය නවීන පන්නයේ දෙමහල් නිවසක පෝටිකෝවේ නතර විය.

වාහනය නවත්වන්නටත් පෙර ඉදිරි දොර ඇරගෙන නිවසින් එළියට ආවේ ජයන්තගේ බිරිඳ වූ අනෝමා ය.

වාහනයෙන් බට ලෝචනත් අමන්දාත් දණ ගසා ඇයට වැන්දෝය.

“නැගිටින්න පුතාලා. කොච්චර කාලෙකට පස්සෙද? අයියයි අක්කයි කතා කරලා කිවුවම ඔයාලා දෙන්නා වැකේෂන් වලට මෙහෙ එනවා කියලා මම හරියට සන්තෝස වුනා. ලෝචන නම් උස ගිහිල්ලා, ලස්සන වෙලා. අමන්දා නම් මට තනියම හම්බවුනා නම් අඳුනගන්නත් බෑ. අක්ක වගේම තමයි. ලස්සනයි. එන්න අපි ඇතුළට යමු දරුවනේ. බෑග් ඔක්කොම කාර් එකේ තියන්න. මම ජේමිස්ට කියන්නම් ඇතුළට ඇරන් එන්න කියලා.”

අනෝමා ගෙන් ලැබුණු උණුසුම් පිළිගැනීම හමුවේ ලෝචනටත් අමන්දාටත් මේ නිවස පිට නිවසක් ලෙස දැණුනේ නැත.

“අනෝමා. ඔයා ඩිනර් එක රෙඩි කරලද තියෙන්නේ? “ජයන්ත ඇසුවේ නිවසට ඇතුල් වෙමිනි.

“ඔවු ඔවු. මේසෙට අරින්න විතරයි තියෙන්නේ. තව විනාඩි පහයි යන්නේ. මම කියන්නම් මේරි ට”

“එහෙනම් පුතාලා කාමර වලට ගිහින් ඇඳුම් මාරු කරගෙන එන්න. ජේමිස් බෑග්ස් උඩට ගෙනත් දේවි. අමන්දාට නම් මම උඩ සෙපරේට් රූම් එකක් රෙඩි කළා. ලෝචනට මල්ලි ගේ රෑම් එකටම බෙඩ් එකක් දාලා ඇරේන්ජ් කළා. ඔයා කැමතිනම් වෙන රූම් එකක් ඇරේන්ජ් කරලා දෙන්න පුලුවන්.“

“ඔනේ නෑ මාමා. මල්ලිගේ කාමරේ හොඳයි.”

“රයිට්. එහෙනම් පුතාලා ගිහිල්ලා වොෂ් එකක් දා ගෙන චේන්ජ් එකක් දාගෙන එන්න. ඩිනර් එක මේසෙට ඇරලා තියෙන්නේ. චින්තන, අක්කටයි අයියටයි එයාලගේ රූම්ස් පෙන්නන්න.”

ලෝචන සහ අමන්දා චින්තන සමග ඉහළ මාලයට නැගුනේ ඇඳුම් මරු කර තමා ගෙනා බඩු බාහිරාදිය කාමරවල තැන්පත් කිරීමටය.

“අක්ක ගේ රූම් එක මගෙ රූම් එකට අල්ලපු එක. බාත්රූම් එක කොනේම. අයියා, එන්න බෑග් එක අරගෙන රූම් එකට. දෙන්නම වොෂ් එකක් දාගෙන එන්න. මම යනවා පහළට. දෙන්නටම ටවල්ස් එහෙම ඇති රූම් එකේම. මොනවා හරි ඕනේ නම් මට කතා කරන්න.”

චින්තන ඔවුන්ට කාමර සහ නාන කාමරය තිබෙන තැන් පෙන්වා දුන්නේය.

--

--