මේ ඉර හඳ යට — පස්වන දිගහැරුම

“ආ… මේ බණ්ඩාර මැණිකෙනේ… මම බැලුවා උදේ පාන්දරින් ම කවුද කියලා” වාහනයේ හඬ අසා ඉස්තෝප්පුවට පැමිණි අන්දිරිස් ගුරුන්නාන්සේ පැවසුවේය. හෙතෙම අවුරුදු හැට ඉක්මවූවෙකි. සුදු වූ කොණ්ඩය සහ ඇහි බැමි ඊටත් වඩා වයසක් මවා පෑවත්, දෙනෙතේ දක්නට වූයේ තරුණයෙකුගේ වැනි තීක්ෂණ බවකි.

“එන්න එන්න මැණිකේ. මොකට මේ හැමදාම එනකොට තෑගි බෝග කාරිය උස්සගෙන එනවද? හරියට පිට කෙනෙකුගේ ගෙදරට එනවා වගේ.” අන්දිරිස් ගුරුන්නාන්සේ විමසුවේ සේවකයා සහ අජන්තා විසින් ඔසවාගෙන ආ තෑගි පාර්සල් දෙස බලමිනි.

“එහෙම කියලා හරියන්නේ නෑනේ ගුරුන්නාන්සේ.. අපි හිතේ සන්තෝසෙන් ගේන එකනේ. අනිත් එක ගුරුන්නාන්සේ කවදාවත් අපි දෙන පඩුරක්වත් පිළිගන්න එකක්යැ?”

“බණ්ඩාර මැණිකේ, අපේ පවුල් දෙක අතර තියෙන සම්බන්ධය මේ වගේ කාසි ටිකකට ලඝු කරන්න බැහැ. පරම්පරා ගාණක ඉඳලයි අපේ පවුල් දෙක අතර ඇයි හොදයිකම් පවත්තන්නේ… “

“ඒක මම නොදන්නවායෑ ගරුන්නාන්සේ… ඒකනේ මෙච්චර දුරක් ගෙවාගෙන ගුරුන්නාන්සේවම හොයාගෙන එන්නේ…” අජන්තා පිළිතුරු දුන්නාය.

“හම් හම්…. මැණිකේ වාඩි වුනානම්… ආ කාරණය කතා බහ කරන්න කලින් අපි තේ වතුර ටිකක් බීලා ඉමු.” යැයි පැවසූ අන්දිරිස් සිය දියණියට කතා කොට අමුත්තන් සියලු දෙනා හට තේ රැගෙන එන ලෙස පැවසුවේය.

සියලු දෙනාම තේ බී අවසන් වූ පසු අජන්තා සිය කතාව පටන් ගත්තේ ගුරුන්නාන්සේ අත බුලත් හුරුල්ලක්ද තබමිනි.

“ගුරුන්නාන්සේ… අපේ මහත්තයා ලොකු දුවට කටයුත්තක් බලලා තියෙනවා. මේක ඇත්තටම අපේ උවමනාවකට සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. මහත්තයාගේ යාලුවෙක් තමයි යෝජනාව ගෙනාවේ.. ඉතින් මේ කටයුත්ත සම්බන්ධයෙන් මගේ හිතේ තියෙන්නේ දෙගිඩියාවක්. මොකද ඒ ළමයා අපි දැකලත් නැහැ සෑහෙන්න කාලයකින්. ඒත් අපේ මහත්තයට ලොකු උවමනාවක් තියෙන බව පේනවා මේ කටයුත්ත සිද්ධ කරන්න. මොකද ඒ කට්ටිය සෑහෙන්න දේපල ඉඩ කඩම්, වතුපිටි තියෙන අය. ඒත් දුවගේ කැමැත්ත ගැන අපි බලන්නත් ඕනෙනේ…”

“මැණිකේ… විවාහයක් කියන දේ අපේ ජීවිතේ ට කරගන්නේ එකපාරයි. ඒ වෙලාවේ හොඳට හොයලා බලලා වැඩකටයුතු කරේ නැත්තම් අන්තිමට ජීවිත කාලෙම පසුතැවෙන්නයි වෙන්නේ. මොකද හිතෙන හිතෙන වෙලාවට ගලවලා දාන්න පුලුවන් දෙයක් නෙවේනේ මේක.”

“ඒකම තමයි ගුරුන්නාන්සේ මාත් මේ කල්පනා කලේ. අපේ උවමනාවට ඔය කටයුතු කරලා දීලා අන්තිමට දරුවා දුක් විඳීවිද කියලා මට බයයි. ඒ හින්දමයි මේ ගැන පොඩ්ඩක් බලවගන්න කියලා ගුරුන්නාන්සේ ව හොයාගෙන උදේ පාන්දරින්ම ආවේ.”

තරමක් වේලා අජන්තා දෙස බැරෑරුම් මුහුණකින් බලා සිටි අන්දිරිස් සිය පුටුවෙන් නැගිටුනේ ගේ තුළට යාමට ය.

“මැණිකෙගේ දූලා දෙන්නගෙම කේන්දර කොපි මං ගාව ඇති. පොඩ්ඩක් හිටියනම් මම ඒවා ඇරන් එනකම්.”

ගෙතුලට ගිය අන්දිරිස් සුලු වේලාවකින් පැමිණියේ විශාල ප්‍රමාණයේ ෆයිල් කවරයක්ද රැගෙනය. අජන්තා ඉදිරියේ වූ මේසය මත එය තබා ගත් ඔහු, සෑහෙන වේලාවක් ඊට ඔලුව නැඹුරු කරගෙන තවත් කොළයක මොන මොනවාදෝ ලියන්නට විය. ඔහුට ඉදිරිපසින් වාඩි වී සිටි අජන්තා හට අන්දිරිස්ගේ මුහුණේ ඇතිවන විවිධ වෙනස්කම් නිරීක්ෂණය කිරීමට හොඳින් හැකිවුවත්, ඔහුගේ මුහුණින් පහළ වන කිසිම ඉරියවුවකින් යමක් වටහා ගත නොහැකි විය. පැය භාගයකට ආසන්න කාලයක් ලිවීමේ නිරත වුන අන්දිරිස් අවසානයේ ඔලුව ඔසවා පුටුවට බරවී අජන්තා දෙස සැනසිලි සහගත සිනාවක් පෑවේය.

“මොකුත් ප්‍රශ්නයක් නෑ නේද ගුරුන්නාන්සේ? “අජන්තා විමසුවේ නොසන්වූ සිතකිනි.

“ප්‍රශ්නයක් නෑ කියන්නත් බෑ බණ්ඩාර මැණිකේ. ඒත් හිත කරදර කර ගන්ට කාරි නෑ. මේ දරුවා බොහොම පින්වන්ත දරුවෙක් කියලා මම කලින් කියලා ඇතිනේ. ඉතින් ඒ වගේ අයට කරදර සිද්ධ වෙන්න තියෙනවා හුඟක් අඩුයි. ඒත් ඉස්සරහට එන කාලය ටිකක් ප්‍රශ්නකාරී කාලයක්. මම මේ කියන දේ තේරෙනවනේ? ඒ කියන්නේ ලොකු දුවගේ අනාගතය සම්බන්ධ හුඟක් වැදගත් තීරණ කිහිපයක්ම ගන්න වෙන කාලයක්. හැබැයි ඒ හැම දෙයක්ම හුඟක් හොඳට සිද්ධ වේවි. ඒ වගේම…” යැයි කියූ අන්දිරිස් අජන්තාගේ මුහුණ දෙස පරීක්ෂාකාරී බැල්මක් හෙළීය.

“ඒ වගේම ඒ ළමයගේ විවාහය සම්බන්ධයෙන් වෙන අනෙක් පාර්වයයේ දැන ඇඳුනුම්කමත් ඉතාම ඉක්මණින් සිද්ධ වෙන බවක් පෙන්නනවා. මැණිකේ… සතුටු වෙන්න ඕනේ කාරණයක්. ලොකු දුවට හම්බවෙන සහකාරයා බොහෝම ගුණ යහපත් කෙනෙක් වේවි. ඒක නම් මට ඉරහඳ වගේ විස්වාසයි.”

අජන්තාට සිය සිත තුළ තිබූ මහා බරක් සැහැල්ලු වන්නා සේ දැනුණි.

“එතකොට ගුරුන්නාන්සේ මම අර කිවුව කටයුත්ත ගැන…?”

“ඒක සම්බන්ධව නම් මට දැන්ම යමක් කියන්න බැහැ මැණිකේ. ඒ ඉළන්දාරියගේත් කේන්දර කොපිය මං ගාව තිබුණා නම් කිරි ගහට ඇන්නා වගේ මට විස්තරේ කියන්න තිබුණා. හැබැයි…. මේ මම කියන කෙනානම් ලොකු දුවව පතාගෙනම ආපු කෙනෙක්. ඒක ගැන කිසිම සැකයක් නැහැ. ආත්ම ගාණක ඉඳලා එන ඇඟෑලුම් කමක් කිවුවොත් මං ඔන්න වැරදි නෑ. කොහොමත් වෙන්න තියෙන හොඳම විදිහට වැඩ කටයුතු සිද්ධ වේවි. ඒත්, මම කලින් කිවුවා වගේ ඉස්සරහට එන කාලේ ටිකක් පරිස්සමින් හිතලා මතලා කටයුතු කරන එක කාට කාටත් හොඳයි.”

“මොනවත් ආරක්ෂාවක් එහෙම කරන්න වෙයිද ගුරුන්නාන්සේ?”

“නෑ… නෑ… මේ ළමයි එහෙම පවු කරලා නෑ මැණිකේ. මොකටවත් කලබල වෙන්න එපා. කෝකටත් පුලු පුලුවන් වෙලාවට පන්සල පැත්තේ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙලා එන්න. ඒක හිතටත් හොඳයි නොවැ..”

අන්දිරිස් ගුරුන්නාන්සේ සමග පැවැත් වූ සාකච්ඡාවෙන් පසුව අජන්තාගේ සිතෙහි ඇතිවූයේ මිශ්‍රවූ සිතුවිලි සමූහයකි. බිය වීමට කරුණක් නැති වුවත් මේ කටයුත්තේදී තම සැමියාගේ ඉක්මන්කාරී තීරණ ගැනීම සීමා කිරීමට හැකිතරම් උත්සාහ කළ යුතු බව ඈ සිතට ගත්තේ සියල්ල අවසානයේ යම් කිසි නොහොඳක් සිදුවුවහොත් ඉන් දුක්විඳිනුයේ තම දියණිය බව වටහා ගත් නිසාය. එසේම අන්දිරිස් පැවසූ පරිදි ඉක්මණින්ම දළදා මාළිගාව වෙත ගොස් බාරයක් වීමටද ඈ සිතින් සිතාගත්තාය. හැකිවුවහොත් හෙටම ඒ සඳහා යායුතු යැයි ද ඈ ඉන්පසුව සිතුවාය.