Dakshina Wijesuriya
මේ ඉර හඳ යට
3 min readJan 24, 2017

--

උදේ පාන්දරින්ම ඇඳ පැළඳගත් අජන්තා ඉදිරි ආලින්දයේ වූ පුටුවක අසුන් ගත්තේ ලොකු දියණිය ලැහැස්ති වී පැමි‍‍ණෙන තුරුය. සාමාන්‍යයෙන් ගමනක් යෑමට ලෑස්ති වීමට පොඩි දුව මෙන් රුක්ෂලා එතරම් වේලාවක් ගන්නේ නැත. එහෙත් පෙර දින රාත්‍රී බොහෝ වේලාවක් යන තුරු ඈ පොත් පත් කිහිපයක වැඩ කටයුතු කළාය. එබැවින් අද දින උදෑසන ඈ අවදි වූයේ වෙනදා වෙලාවට වැඩියෙන් ප්‍රමාද විය.

පෙරදින අන්දිරිස් ගුරුන්නාන්සේ හමුවීමට ගොස් පැමිණි වහාම අජන්තා තම ලොකු දියණියද සමග දළදා මාළිගාව වෙත ගොස් බාරයක් වීමට ඉටා ගත්තාය. සාමාන්‍යයෙන් පවුලේ ප්‍රශ්න වලට කලබල නොවනා අජන්තා තුළ මේ සිද්ධිය සම්බන්ධයෙන් නම් වූයේ වෙනස්ම මතයකි. නොබෝ දිනකදී මේ සිදුවීම නිසා ප්‍රශ්න රාශියක ඇතිවන බවට ඇගේ සියුම් ඉවට දැණුනි. ඈ කිසි විටෙකත් තමාගේ සිතේ ඇතිවූ එවැනි සිතුවිලි සුලු කොට තැකුවේ නැත. මන්ද යත් එලෙස ඉවකින් දැණුනු බොහෝ දේවල් මීට පෙර සත්‍ය වී තිබුණු බව ඈ දැන සිටියාය. ඇගේ මේ ඉව නිසා සැමියාද කිහිප වරක්ම විවිධාකාරයේ අතුරු ආබධ වලින් ආරක්ෂා වී ඇති බව ඇයට සිහිපත් විය.

සිය සැමියා හෝ අන්දිරිස් ගුරුන්නන්සේ පැවසූ කිසිම දෙයක් රුක්ෂලා වෙත නොපැවසීමට අජන්තා තීරණය කලාය. මේ සියල්ල දියණිය වෙත පවසා අනවශ්‍ය බරක් ඈ වෙත පැවරීමට අජන්තාට සිත් නොවීය. රුක්ෂලාද තමා මෙන්ම මෙවැනි දෑ වලදී කලබල නොවුනත් මෙහිදී ඒ සම්බන්ධව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සුදුසු යැයි ඈගේ සිතට දැණුනි.

“අම්මා, අපි යමු නේද?” නිවස තුළ සිට පැමිණි රුක්ෂලා පැවසුවාය.

සුදු පැහැති දිගු ගවුමක් ඇඳ සිටි ඈ තුළින් වෙනදාටත් වඩා ශෝබා සම්පන්න බවක් දිස් විය. අජන්තාගේ දියණියන් දෙදෙනාම මවගේ ආරට යන්නෝය. දෙදෙනාම ඉතාමත් රූමත් ය. එහෙත් බාල දියණිය අමාලිට වැඩියෙන් රුක්ෂලාගේ රූමත් බව කැපී පෙනුනේ ඈ තුළ වූ තැන්පත් බව නිසාය.

“ඹ්නේ කරන මල් ටික ගත්තද දුව? කෝ නංගි?”

“ඔව් අම්මා. ඕනේ කරන ඔක්කොම ගත්තා. නංගි නම් අර කාමරේට වෙලා ඉන්නේ. මං ඇහුවා යන්න එනවද කියලා. ඒත් ඔලුව රිදෙනවා කියලා කීවා.”

“අනේ මන්දා… මේ ළමයානම් මොන විදිහකට හැදෙනවද කියලා. යාලුවෙක් ඇවිල්ලා කතා කළා නම් උඩ පැන ගෙන යයි. පන්සලකට ගිහින් මලක් පහනක් පූජා කරන්න තමා එන්න බැරි.”

තම නැගණීයගේ හැටි දන්නා රුක්ෂලාගේ මුවගට සිනහවක් නැගුනේ නිතැනිනි. අමාලි කොහොමත් පොඩි කාලයේ සිට හුරතලයට හැදුනු බැවින් තරමක් දඟකාරය. අප්පච්චිගේ සුරතලිය ඈය. එනිසා දඟකාරකමට එක්වුනු මුරණ්ඩු කමක්ද ඈ වෙත විය.

රියදුරා මෝටර් රථය පෝටිකෝව වෙත ගෙන ආවෙන් අජන්තාත්, රුක්ෂලාත් පසු පස අසුන වෙත නැගුනෝය.

“ජයසේන, අපි දෙන්නව කෙලින්ම දළදා මාළිගාව ගාවින් බස්සලා කාර් එක ආපහු ගේන්න. ටවුන් එකේ වැඩ වගයක් තියෙනවා කරන්න. ඒ නිසා අපි එන්න පරක්කු වෙයි. ජයසේන අපි එනකම් ඉන්න එකේ තේරුමක් නෑ. වැඩ ටික ඉවර කරගෙන මායි ලොකු බේබියි බස් එකේ එන්නම්.” අජන්තා රියදුරා වෙත පැවසුවා ය.

දළදා මාළිගාව ඉදිරිපස වූ මල් කඩයකින් අවශ්‍ය මල් මිළදී ගත් ලෝචනත්, අමන්දාත්, චින්තනත් මාළිගාව වෙත පියවර නැගුවෝය. සතියේ දිනයක් වූ බැවින් තේවාව වේලාව වුවද එතරම් සෙනගක් මාළිගා පර්‍රශ්‍රයේ දක්නට නොවීය. ඉතා පැහැබර කාළගුණයක් තිබුණ එදින බොහෝ දෙනෙක් සිටියේ තම තමන්ගේ වෙනත් වැඩ කටයුතු වල නිරත වෙන අදහසකිනි. එබැවින් මාළිගාවේ වෙනදා දක්නට නැති නිස්කලංක බවක් දක්නට තිබුණි.

සපත්තු ගලවා ඒවා තබාගන්නා කුටිය වෙත බාරදුන් තිදෙනා වාහල්කඩ වෙත පැමිණියෝය. හදිසියේම අමන්දා හට තමාගේ දුරකථනය තමා සතුව නැති බව පසක් විය. ඇය කලබල වී එය සෑම තැනම සොයන්නට විය. ඇගේ හැසිරීම දුටු අනෙක් දෙදෙනාද ඈ වෙත පැමිණියේ හදිසියේ ඈ හට සිදුවූයේ කුමක්දැයි වටහාගත නොහැකිවය.

“මොකද නංගී වෙලා තියෙන්නේ? මොකක් හරි නැති වෙලාද?”

“අනේ අයියා…මගේ ෆෝන් එක නැති වෙලා වගේ…” අමන්දා හැඬුම්බරව කීවාය.

“අන්තිමේදී මොන හරියෙදිද තිබුණා මතක?”

“මල් ගන්නකොට මම අතේ තිබුණ එක කලබලෙන් සාක්කුවට දා ගත්තා. එතනදී තමයි වැටෙන්න ඇත්තේ. අනේ අයියා… හොයාගන්න බැරි වෙයිද?”

“පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. අපි ඒකට කෝල් එකක් දීලා බලමු. කවුරු හරි අහුලගෙනනම් කතා කරයි නේ” යැයි පැවසූ චින්තන තම දුරකතනයෙන් අමන්දාගේ දුරකතනය වෙත ඇමතුමක් ගත්තේය. කිහිප වරක් ඇමතුම ලබාගත්තද එහා අන්තයෙන් කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත.

“කාටවත් ෆෝන් එක හම්බවෙලා නෑ වගේ. හොරකම් කරන කෙනෙක් වුනත් මුලින්ම කරන්නේ සිම් එක ගලවන එකනේ. ඒත් තාම රින්ග්ස් යනවා. ඒ කියන්නේ තාම කාටවත් හම්බවෙලා නෑ කියන එක” තම උත්සාහය ව්‍යාර්ත වූ තැන චින්තන පැවසුවේය.

“මට ෆෝන් එකනම් නැතිවුනත් කමක් නෑ මල්ලී. ඒත් ඒකේ තිබුණ මගේ යාලුවන්ගේ කන්ටෑක්ට් ඩීටේල්ස් තමා හුඟක් වටින්නේ” අමන්දා පැවසුවේ බලාපොරොත්තු කඩවූ ස්වභාවයෙනි.

“මං කියන්නද මල්ලී? මම ආයෙත් අපි ආපු පාර දිගේම ගිහින් බලන්නම්. ඔයයි නංගියි දෙන්නා මෙතනටම වෙලා ඉන්න. වැටිලා තියෙන තැනකින් හොයාගන්න පුලුවන් වෙයිනේ.” අවසානයේ ලෝචන පැවසුවේය.

අමන්දාත් චින්තනත් හිස වැනුවේ ඔහුගේ කීමට එකඟ වීමටය.

--

--