ලංකාවට කිසිදා සිංගප්පුරුවක් විය නොහැකිය

“අපි ලංකාව සිංගප්පුරුවක් කරනවා!” යන දේශපාලන වහසි දෙඩුම දැන් තුන්-තිත්ත වී ඇත. සිංගප්පුරුවේ තියා ඉන්දියාවේවත් පස් පාගපු නැති මිනිස්සු “අපේ රටට සිංගප්පුරුව වගේ වෙන්න බැරි ඇයි?” කටට ආ පලියට අසති. සිංගප්පුරුව යනු යහපාලනය දොරේ ගලන, චුවින්ගම් සැපීම තහනම්, රට වැස්සන් සතුටින් කමින්-බොමින් දිවිගෙවන, යස-ඉසුරින් සපිරි සුර-පුරයක් ලෙස සිතීමට අපි පුරුදුව ඇත්තෙමු.

1950 ගණන් වල කොළඹ නගරය වරක් දුටු සිංගප්පුරුවේ පියා, ලී කුවාන් යූ “සිංගප්පුරුව කොළඹ වගේ හදමි” යැයි ප්‍රතිඥා කළ බවට ජනප්‍රවාදයක් ඇත. නමුත් එතුමා එවැනි ප්‍රකාශයක් කළ බවට කිසිදු සාක්‍ෂියක් නොමැත. ඒ සඳහා ආසන්නතම ප්‍රකාශය ලෙස සැලකිය හැක්කේ ඔහු වරක් කියූ “බ්‍රිතාන්‍යයන් විසින් (සිලෝන් හී) ඉතා හොඳ සමාජ-ආර්ථික පසුබිමක් ඉතිරි කර ගොස් තිබිණි.” යන ප්‍රකාශය වුවත් එකම එක වරක් කොළඹ නගරය පමණක් දුටු ඔහුගේ එම ප්‍රකාශය තරමක දුර්වල ලඝු කිරීමකි. වසර 30 කට අධික කාලයක් එක දිගට සිංගප්පුරුව පාලනය කළ එම දේශප්‍රේමී-ආඥාදායකයා (සිලෝන් සහ පසුව) ලංකාව ගැන දරා ඇත්තේ පටු විවේචනයන් පමණී. නිදහසෙන් පසු ලංකාවේ සිදුවූ අත්වැරදීම් වලින් ඔහු අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නට ඇති මුත්, සිංගප්පුරුව නිර්මාණය කිරීමට ලංකාව අනුකරණය කළා යැයි කීම අතිශයෝක්තයකි.

අතීතය ගැන පේන කීමට ප්‍රාඥයන් අවැසි නැත. බණ්ඩාරනායක දෙපලගේ හෝ ජයවර්ධනගේ හෝ ප්‍රේමදාසගේ හෝ තීරණත්, ලී කුවාන්ගේ තීරණත් අතර අවදානමේ වෙනසක් තිබිය නොහැක. වෙනස් තත්වයන් යටතේ, වෙනස් ප්‍රතිඵල ලැබේ. අපට කළ හැකි එකම දෙය අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමයි. එලෙස උගත හැකි එක වැදගත් පාඩමක් නම් ‘කිසිදු රටකට තවත් රටක් අනුකරණය කිරීමට නොහැකි’ බවයි. සිංගප්පුරුවක් වීම හෝ, ඇමරිකාවක් වීම හෝ චීනයක් වීම හෝ පසෙක තබා, අපේ අනන්‍යතාවයට ගැලපෙන සංවර්ධන දැක්මක් නිර්මාණය කිරීමට මෙම ලිපිය ආරම්භයක් වේවා!

1. ලංකාව හඳුනාගැනීම

ඔබ කැමති වුවත් නැතත්, වෙනත් බොහෝ රටවලට නැති, දීර්ඝ ඉතිහාසයක් අපට උරුම වී තිබේ. වසර 2,600 ක ලිඛිත ඉතිහාසයක් යනු සෙල්ලමක් නොවේ. එම අපූරු සහ විශ්මයජනක ඉතිහාස කථාව තහවුරු කරන අතීත ඉංජිනේරු ආශ්චර්යයන් සහ මහානර්ඝ කලා නිර්මාණ අදටත් ජීවමානව පවතී. රාජ්‍ය කෙනෙහෙලිකම් මැද වුවද එකී දන්නා සහ නොදන්නා ඉතිහාසය පස් තට්ටු යටින් මතු වී, මතු වී අඩුම තරමින් වසර 6,000 කට එහා දිවෙන මහා දියුණු සංස්කෘතියක කථාව ලියවයි. අපේ ඉතිහාසය වැනි ඉතිහාසයක් රෝමයට තිබුනේ නම්, ඔවුන් එය ලෝකයාට ප්‍රචාරණය කරන දක්ෂතාවය අපට දැකගත හැකි වනු ඇත. ඉතිහාසයක් නැති ලාබාල රටවල් ඉතිහාස කථා ගොතන්නට අර අදිද්දී, අපේ ඉතිහාසය ගැන අපේම මිනිස්සු ලැජ්ජා වීම හෝ නොසලකා හැරීම මහා අභාග්‍යයකි.

එවැනි දීර්ඝ ඉතිහාසයක් ඇති රටක ඊටම අනන්‍ය වූ සංස්කෘතියක් සහ සම්ප්‍රදායයන් පිහිටා තිබීම පුදුමයට කරුණක් නොවේ. බිම් කැබැල්ලක් රටක් වන්නේත්, රටක් ජාතියක් වන්නේත් එලෙසිනි. රටක ඉතිහාසය, සංස්කෘතිය සහ සම්ප්‍රදායයන් පිලිබඳ ගැඹුරු අවබෝධයක් නැතිව, එම රට දියුණු කිරීමට යෑම නිෂ්ඵල ක්‍රියාවකි. වසර දහස් ගණනක ඇවෑමෙන් , යුද්ධ සහ සාමකාමී යුග හරහා, සශ්‍රීක සහ නියං කාල ඔස්සේ මේ දිවයිනේ මිනිස්සු සුවිශේෂ සංස්කෘතියක් ගොඩනගා ගත්තාහුය. හින්දු-දෙවියන්, බෞද්ධ-විහාරස්ථාන තුල සියවස් ගණනාවක් ඇවෑමෙන් අදටත් සාමකාමිව වැඩ සිටී නම්, සිංහල-බෞද්ධ සහ දෙමළ-හින්දු මිනිස්සුන්ට එක රටක සාමකාමිව ජීවත් වීමට නොහැක්කේ මන්ද?

මගුල් ගෙදර සිට අවමගුල් ගෙදර දක්වා මෙරටේ සංස්කෘතික අංගයන් සහ සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් විවිධ ජාතීන් සහ ආගම්වල සුන්දර සම්මිශ්‍රණයකි. සහජීවනය යනු එයයි. අපේ රටේ ඉතිහාසය ගැඹුරින් හැදෑරීමට අවශ්‍ය වන්නේ ඒ නිසයි. සංස්කෘතිය කබල් ගෑම හෝ කඩා දැමීම හෝ නොව, අප කළ යුත්තේ එම සංස්කෘතිය තව තවත් ඔප නැංවීමයි. “අපිට පස්සේ නිදහස ලැබිලත්, සිංගප්පුරුව අද අපිට වඩා ඉස්සරහට ගිහිල්ලා” බොහෝ අය හූල්ලති. නමුත් අප රටේ 1971න් පටන් ගත් භීෂණය ඔඩු දුවා ගොස් වසර 30 කට අධික කාලයක් තිස්සේ දරුණු ත්‍රස්තවාදී යුද්ධයක් පැවති බව ඔවුන්ට අමතකව ගොසිනි. එම යුද්ධය සැබෑවකි. එය ඇත්තටම සිදු විය. එය අමතක කිරීම තමා විසින් තමාවම රවටා ගැනීමකි. “ලංකාවට ජපානය වගේ වෙන්න බැරි ඇයි?” පසුගිය දිනෙක උගත් මහාචාර්යවරයෙක් මගෙන් ඇසීය. “ජපානයේ යුද්ධය ඉවර වුනේ මීට අවුරුදු 70 කට පෙර, ලංකාවේ යුද්ධය ඉවර වෙලා තම අවුරුදු හතයි” මගේ පිළිතුර විය.

රටක් ගොඩනගන්නේ ඒ රටේ මිනිසුන් විසිනි. තම රටට ආදරය කරන, තම රට දියුණු වෙනවා දකින්නට කැමති මිනිසුන් විසිනි. ලී කුවාන්ට තිබුනේ අන්න ඒ දේශප්‍රේමයයි. නමුත් අපේ රටේ බොහෝ මිනිසුන්ට රට ගැන එවැනි ආදරයක් නොමැත. සැම වැරද්දකටම පළමුවෙන්ම දොස් කියන්නේ රටටයි. රටට ආදරයක් නැති මිනිස්සු, රට ගැන විශ්වාසයක් නැති මිනිස්සු, රට ගැන ආඩම්බරයක්, රට ගැන අනුප්‍රාණයක් නැති මිනිස්සු එම රට දියුණු කරන්නේ කුමටද?

2. කෘෂිකර්මය ප්‍රමුඛ ආර්ථිකයක්

ලංකාවේ ඉතිහාසය ගැන මතුපිටින් හෝ කියවන ඕනෑම කෙනෙකුට අප රටේ ප්‍රධානතම බලය කෘෂිකර්මාන්තය බව අවබෝධ වනු ඇත. අපේ මිනිස්සු වසර 6,000 ක් තිස්සේ එම කර්මාන්තය පරිපූර්ණ කර ඇත. මහා වැව් අමුණු දහස් ගණනින් ඉදිකරන්නට හෝ සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් ගොඩනගන්නට හෝ අපේ මුතුන් මිත්තන්ට තිබූ අවශ්‍යතාවය කුමක්ද? ඒවායින් තහවුරු වන්නේ එකල පැවති දැවැන්ත කෘෂිකර්මාන්තය නොවේද? ඒ සා විශාල කෙත්වතු අස්වද්දා ලබන අස්වැන්නෙන් කොපමණ විශාල ජනගහනයක් එකල සිටින්නට ඇති දැයි අපට අනුමාන කළ හැකිය.

වෙනකක් තබා අධිරාජ්‍යවාදීන් පවා අප රටේ සාරය උරා බීමට තෝරාගත්තේ කෘෂිකර්මාන්තයයි. නමුත් අප උත්සාහ කරන්නේ සිංගප්පුරුව වැනි වෙළඳ මධ්‍යස්ථානයක් මෙහි ඉදිකිරීමටයි. ඒ සඳහා වරාය හා ගුවන් තොටුපළවල් ඉදිකිරීමට දස අතේ ණය වී ඇත. කර්මාන්තශාලා ඉදිකරන ලෙස ඉල්ලා ලෝකයාට පින්සෙන්ඩු වෙති. යුද්ධය නිමා කළ පසුගිය රජය ඉස්පාසුවක් නැතිව බටහිර-චීන කලවම් සංවර්ධනයක් ආරම්භ කළෝ, සුන්දර වෙල්යායවල් දෙබෑ කරමින් අධිවේගී මාර්ග තැනූහ. රට වටේට ඇති සුන්දර වෙරළ තීරය සංරක්ෂණය කරනවා වෙනුවට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙන් මුහුද ගොඩ කර දූපත් තනන්නට පටන් ගත්තෝය. ලක්ෂ ගණනාවක් ජනතාව හරිහමන් ගෙයක්-දොරක් නැතිව හූල්ලද්දි, කොළඹ නගරයේ කොන්ක්‍රිට් අතුරා ඇවිදින මංතීරු සෑදුහ. අවසානයේ අර අධිවේගී මාර්ගවල සුඛෝපභෝගී වාහන පදවන, ඇවිදින මංතීරුවල ඇවිදින බඩ මහත නෝනාවරු-මහත්වරුම එම රජය පරාජය කළෝය. මෙතෙක් පැවති සෑම රජයක්ම, රටට ගැලපෙන සංවර්ධන ආකෘතියක් නිර්මාණය කිරීමට අපොහොසත් විය. ලංකාව යනු චීනය නොවේ. ලංකාවට කිසිදා චීනය වීමට නොහැකිය. චීනයේ ඉතිහාසය, සංස්කෘතිය, සම්පත්, චින්නුන්ගේ සිතුම්-පැතුම් අපට ඉඳුරා වෙනස්ය. වෙනස් වීමේ කිසිදු වරදක්ද නැත.

මා කියන්නේ සියළු දෙනාම අමුඩ ඇඳගෙන කුඹුරට බසින්නට නොවේ. අවශ්‍ය වන්නේ කෘෂිකර්මාන්තයේ පරිවර්තනයකි. මැදපෙරදිග ගිනියම් කාන්තාරය මැද අක්කර දහස් ගණනක විසිරී ඇති සශ්‍රීක වගාවන් මම සියැසින් දැක ඇත්තෙමි. වැස්ස නැති වීම ගොවිතැන් නොකර සිටීමට තවදුරටත් හේතුවක් නොවේ. එම රටවල සංචාරය කරන රජයේ නිලධාරීන් ඉගෙන ගන්නේ මොනවාද? ගොවිතැන යනු ලැජ්ජා විය යුතු දෙයක් නොවන බව රටේ කාලගුණය නොහඳුනන, ගිනිමද්දහනේ ටයි-කෝට් පළඳින මහජන සේවකයන් ප්‍රථමයෙන්ම අවබෝධ කරගත යුතුය. අපට අවශ්‍ය වන්නේ රටේ ඉතිහාසය, සංස්කෘතිය, සම්පත්, භුවිෂමතාවය, දේශගුණය සහ රටේ මිනිස්සු ගැන ගැඹුරු අවබෝධයක් ඇති නායකයින් පිරිසකි. “අලුත්” ලංකාවක් හදනවා වෙනුවට, “සැබෑ” ලංකාව මතුකරගත යුතුය.

අපට අලුත්-එඩිතර දැක්මක් අවශ්‍ය වී ඇත. රට ආහාරවලින් ස්වයංපෝෂිත කරනවා පමණක් නොව දකුණු-ආසියාවේ නවීනතම කෘෂිකාර්මික මධ්‍යස්ථානය බවටද පත් කිරීමට අපට හැකිය. අතීත පෙරදිග ධාන්‍යාගාරය, නූතන පෙරදිග කෘෂි-මධ්‍යස්ථානය බවට පත්කළ හැකිය. අපට අවශ්‍ය වන්නේ බාල ප්ලාස්ටික් බඩු හදන චීන කර්මාන්තශාලා නොව, නවීන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කරන, සැපයුම්-දාමය (Supply Chain) වඩාත් කාර්යක්ෂම කරවන සහ අලුතින් අගයක්-එකතුකළ (Value-added) කෘෂි-නිෂ්පාදන සිදුකරන කර්මාන්තශාලා වේ. ඒ භාණ්ඩ හා සේවා අපනයනය කිරීම සඳහා අපට දක්ෂ, එඩිතර දේශීය ව්‍යවසායකයන් පිරිසක් අවශ්‍ය වේ. රාජ්‍ය අනුග්‍රහය සහ ආයෝජනය ප්‍රධාන වශයෙන් ඉලක්ක කළ යුත්තේ එම කෘෂිකාර්මික පරිවර්තනයටයි. කිසිදා බිඳ නොවැටෙන කර්මාන්තය ආහාර කර්මාන්තයයි. රැකියා දසලක්ෂය ඇත්තේ එතැනයි. මෙම සරල කාරණය තේරුම් ගැනීමට අපේ රටේ නායකයින්ට නොහැකි ඇයි?

3. අනාගතය සඳහා ආර්ථිකයක්

අධිවේගී මාර්ග සහ මහා-නගර (megacities හෙවත් megapolis) අපට අලුත් වුනාට ඒවා ලෝකයේ පරණ තාක්ෂණ බව අප දැනගත යුතුය. අධිවේගී මාර්ග යනු යල්පැනගිය පොසිල-ඉන්ධන ආර්ථිකයේ නිර්මාණයකි. ඇමරිකානු ජනපද අද වනවිට සිය අධිවේගී මාර්ග නඩත්තු කරගැනීමට නොහැකිව දඟලති. අප තරඟයට අවතීර්ණ වනවිටම අවුරුදු 30 ක් 40 ක් ප්‍රමාද වී ඇත. ඊටත් අවුරුදු 100 ක් පමණ පැරණි, අසාර්ථක, සහ අනාගත ලෝකයට නොගැලපෙන සංවර්ධන සංකේත සහ ආකෘතීන් හඹා යෑම නිරර්ථක ක්‍රියාවකි.

ඊළඟ අවුරුදු 100 තුල ලෝකයේ ඇතිවන අභියෝග සහ ප්‍රස්ථා වලට මුහුණ දිය හැකි සංවර්ධන දැක්මක් අපට අවශ්‍ය වී ඇත.

අතපසු වූ සංවර්ධන ඉලක්ක හඹා යනවා වෙනුවට, අනාගතයට ගැලපෙන සංවර්ධන ඉලක්ක අප විසින් නිර්මාණය කළ යුතුව ඇත. අනාගත නගර, “තිරසාර නගර” මිසක් මහා-නගර නොවේ. අනාගත මාර්ග, සුර්ය කෝෂ ඇතිරූ, පාපැදි වලට වැඩි ඉඩක් වෙන් කෙරුණු මාර්ග විනා අධිවේගී මාර්ග නොවේ. අනාගත පාරිභෝගිකයා යනු දැනුවත් තීරණ ගන්නා, වස-විස නැති ආහාර පමණක් මිලදී ගන්නා කණ්ඩායමකි. ඔවුන් ඉලක්ක කර ගනිමින් ලංකාවේ කෘෂිනිෂ්පාදන සඳහා “කාබනික, සාධාරණ සහ තිරසාර” වෙළඳ සන්නාමයක් නිර්මාණය කිරීමට අපට අවස්ථාවක් උදා වී ඇත.

සම්ප්‍රදායික සංවර්ධන නිර්නායකයන් එක්කෝ අප අත්හළ යුතුය, නැතිනම් අන්ධයන් සේ ඒවා පසුපස හඹා යෑම නැවැත්විය යුතුය. දළ දේශීය නිෂ්පාදිතය හෝ ඒක පුද්ගල ආදායම හෝ කෙසේ හෝ වැඩි කරන්නට යෑමෙන් අපේ රටට වඩාත් සුදුසු සහ වඩාත් ගැලපෙන දේ කිරීමට අපට අමතක වෙයි. ඇඩම් ස්මිත්ගේ යල්පැනගිය ආර්ථික ක්‍රමයම පමණක් දකින පණ්ඩිතයන්ට නම් මේ අලුත් දැක්ම දකින්නට ඉතා අපහසු බව මම දනිමි. නමුත් යථාර්තය නම් එම ආර්ථික ක්‍රමය මත ලංකාවට ගැලපෙන සංවර්ධන ආකෘතියක් ගෙන ඒමට ඔවුන් නැවත නැවතත් අසමත් වීමයි. ලෝකයේ සහ ලංකාවේ සැබෑ ප්‍රශ්න, ගැටළු, අභියෝග පිලිබඳ විවෘත අවබෝධයක් ඇති නූතන නායකයන් කලඑළි බැසීමට දැන් කාලයයි. එම ප්‍රශ්න විසඳීම සඳහා පවතින සම්මත අසාර්ථක ක්‍රමවේදයන් ඉක්මවා ගිය නවීන විසඳුම් සෙවීමට ඔවුන් එඩිතර විය යුතුය. ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ අරක්ගෙන සිටින කල් ඉකුත් වූ චින්තකයෝ, ඔවුන්ගේ පුස් කාපු මොළ, සහ අංශභාගය හැඳුනු අතපය වහාම විශ්‍රාම ගත යුතුය.

ගෝලීයකරණය පණ අදිමින් සිටියි. පොරොන්දු වූ ගෝලීය සංවර්ධනය අද නැත. ඒ වෙනුවට ඇත්තේ අතිශය පළල් දුප්පත්-පොහොසත් භේදයකි, සම්පත් බෙදීයාමේ අසාමාන්‍ය විෂමතාවයකි, ඇදහිය නොහැකි සමාජ අසාධාරණයකි, සමූහ දුෂණයට ලක්වන පරිසරයකි. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන්වන්නේත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජාතිකවාදය සමග නැගී සිටින්නේත් ගෝලීයකරණයේ අසාර්ථකභාවය පසක් කරමිනි. ගෝලීයකරණයේ පෙරගමන්කරු ලෙස කාලයක් සිතු තොරතුරු තාක්ෂණයම අද එයට හරස් වී ඇත. අතත්‍යව සම්ප්‍රයුක්ත වූ ලෝකයට ගොලියකරණයක් අවශ්‍ය නැත. ඒ සඳහා හොඳම උදාහරණය භාෂාවයි. ගෝලීයකරණයේ පොදු භාෂාව ලෙස සිතු ඉංග්‍රීසි භාෂාව, තාක්ෂනය නිසා දැන් අනිවාර්ය නොවේ. ඕනෑම භාෂාවකින් මුද්‍රිත වෙබ් පිටුවක් ක්ෂණයකින් සිංහලට හෝ දෙමළට හෝ වෙනත් ඕනෑම භාෂාවකට හැරවීමට දැන් අපට හැකිය. දැනටමත් තත්‍ය-කාල සන්නිවේදනය පවා පොදු භාෂාවකින් තොරව කළ හැකි තාක්ෂණික මෙවලම් ලෝකයේ ඇත. ලොව පුරා ජාතික පුනරුද ඇතිවීමට පටන්ගෙන ඇත. අපට දැන්ම පටන් ගත හැකිය. නැතිනම් තවත් අවුරුදු 20 ක් 30 ක් ඉබාගාතේ ඇවිදිමින් කල් මැරිය හැකිය.

ලංකාවට සිංගප්පුරුවක් වීමට අවශ්‍ය නැත, ඇමරිකාවක් හෝ චීනයක් හෝ වීමටද අවශ්‍ය නැත. ලංකාව, ලංකාව විය යුතුය. අප, අප විය යුතුය. අපි අපේ රටට ආදරය කරමු. අපේ සංස්කෘතියට, අපේ මිනිස්සුන්ට, අපේ කමට අපි ආදරය කරමු. අපිට ගැලපෙන සංවර්ධන දැක්මක් නිර්මාණය කරමු. ඒ දැක්ම හෙට දිනමු.

2 පෙබරවාරි 2017