විල්පත්තු අර්බුදයට විසඳුම් 3ක්

Eranda Ginige
5 min readJan 7, 2017

--

රටක ආණ්ඩුවක් කළ යුත්තේ සමාජ-පාරිසරික-ආර්ථික ගැටළු විසඳීම මිසක්, අලුතෙන් ප්‍රශ්ණ ඇති කිරීම නොවේ. විලපත්තු කථාව හුදු වන විනාශයකට එහා ගිය මානුෂීය ඛේදවාචකයකි. තමන් උපන් රට තුලම අවතැන් වී සිටීම තරම් අවාසනාවක් තිබිය නොහැක. උතුරු-නැගෙනහිර පළාත්වල ජිවත් වූ සියලුම මුස්ලිම් ජාතිකයන් එක රැයින් එළවා දැමූ, දෙමළ භාෂාව කතා කරන සියලු ජනතාවගේ මහා විමුක්තිකාමියා යැයි කියාගත් එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත රැලේ නායක වේලුපිල්ලේ පිරපාහරන්ට ඒ මුස්ලිම් ජාතිකයන් කතා කරන්නෙත් දෙමළෙන් බව අමතක වන්නට ඇත. පුත්තලම හා ඒ අවට ජිවත් වන බොහෝ මුස්ලිම් පවුල් එලෙස අවතැන් “කරවූ” ජනතාවයි.

උන්ගේ සමාජය එකම මඩ ගොහොරුවකි. පුරුෂාධිපත්‍යය ඔඩු දුවා ගිය ඒ සමාජයේ, කාන්තාවන් සහ ළමුන් ලක්වන අහස-පොළොව නුහුලන අසාධාරණකම් මම දැක ඇත්තෙමි. දුප්පත්කමින් මිරිකී මිරිකී ජිවත් වන ඒ මිනිසුන්ගේ දරුවන්ට ඉගෙනගන්නට ජනප්‍රිය පාසල් නොමැත. දෙවියන්ට හූල්ලමින් කල් ගෙවන ඒ මිනිසුන්ගේ ලෙඩකට බෙහෙතක්-හේතක් ගන්න හොඳ රෝහලක් නොමැත. තරුණ-තරුණියන්ට රැකියා අවස්ථා නොමැත. එදා මෙදා තුර බලයට පත් වූ කිසිදු නායකයෙක් හෝ, අඩුම තරමින් කිසිදු මුස්ලිම් නායකයෙක් හෝ, ඒ මිනිසුන්ට උදව් කිරීමට ක්‍රියා කර නොමැත.

ඒ වෙනුවට අද සිදුවී ඇත්තේ, එක වරක් අවතැන් වූ මිනිසුන් නැවත වරක් මහා ඝන කැලෑවක් මැද අවතැන් කිරීමයි. සැබෑ පරමාර්ථය අවතැන් වූ පිරිස් නැවත පදිංචි කිරීම නම්, ඒ සඳහා වඩාත් සාර්ථක ක්‍රම තිබිය යුතුය. විලපත්තු වන විනාශයට එරෙහිව සටන් වදින මා ඇතුළු සියළු දෙනා, ඒ සඳහා අලුතින් විසඳුම් සෙවිය යුතුය. මේ සටහන ඒ සඳහා ආරම්භයක් වේවා!

1. ලෝකයේ හොඳම පරිසර-ගම්මානය ඉදිකිරිම

විලපත්තු රක්ෂිතය තුළ හෝ, රක්ෂිතය අවට සංරක්ෂිත කලාපය තුළ හෝ, මොන දීපංකරයක හෝ එළිකරමින් පවතින භූමිය සැබැවින්ම ඒ මිනිසුන්ගේ පාරම්පරික ඉඩම් යැයි අපි මොහොතකට සිතමු. නමුත් ඒ භුමියේ සියලු ගස්-කොළන් එකවර කපා දමා බුල්ඩෝසර් කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද? ඉඩම් නැවත ලබා දීම සැබෑ අරමුණ නම්, ඒ ඉඩම් වල ගස් ටික කපා විකුණා දැමීම ගැන සැකයක් මතුවීම සාධාරණය. එය මහා අමන ක්‍රියාවක් නොවේද?

මේ 21 වන ශතවර්ෂයයි. අලුත් ගම්මාන හෝ නගර ඉදිකිරිම සඳහා විද්‍යාත්මක සහ වඩාත් කාර්යක්ෂම ක්‍රම අප සතුව තිබේ. බොහෝ රටවල් උත්සාහ ගන්නේ තම ස්වභාවික සම්පත් උපරිමයෙන් ආරක්ෂා කරමින්, අලුතින් ගස් හිටවමින් සිය නගර ඉදිකිරීමටයි. එහෙත් අපේ බකපණ්ඩිතයෝ මුලින්ම සිදු කර ඇත්තේ, ලක්ෂ ගානක් ගස් කපා දමා හුන්ඩු නිවාස කිහිපයක් ඉදිකිරීමයි. ලංකාවේ වියළි කලාපයේත් වඩාත්ම වියළි ප්‍රදේශයක ගස් සියල්ල කපා දමා ගෙවල් සෑදීමට ක්‍රියාකළ සහ ඊට අවසර දුන් සියලු තක්කඩියන්ට සිරිසේනගේ මඩු වලිගයෙන් එක පාරක් හෝ තැලිය යුතුමය.

වනාන්තර තුල සිදුකරන අතිශය සාර්ථක බිම්මල් වගාවක්

අප සැබැවින්ම සිදු කළ යුත්තේ නවීන විද්‍යාත්මක දැනුම සහ ක්‍රමෝපායන් භාවිතා කරමින් භූමියට ගැලපෙන ආර්ථික මොඩලයක් සැලසුම් කිරීමයි. භුවිෂමතාවය, භූගෝලීය ලක්ෂණ, කාලගුණය, දේශගුණය, ස්වභාවික සම්පත්, එහි පදිංචි කරන ජනතාවගේ සමාජ-සංස්කෘතික හැසිරීම වැනි කරුණු සැලකිල්ලට ගනිමින් නිර්මාණශීලි පරිසර-ගම්මානයක් ඉදිකිරීමට අපට හැකි නොවේද? උදාහරණයක් ලෙස, මහා ගස් වලට හානියක් නොකර සිදුකරන නවීන වනාශ්‍රිත කෘෂිකර්මාන්ත ක්‍රම (forest-farming/ agro-forestry) හඳුන්වාදීමට අපට හැකි නොවේද? එවැනි තිරසාර ගම්මාන හා බැඳුණු පාරිසරික-සංචාරක කළාපයක් පවා බිහිකිරීමට අපට හැකි නොවේද? එවැනි ආදර්ශමත් ගම්මානයක් බිහිකිරීමෙන් සැබැවින්ම එහි ජනතාවට තිරසාර ආදායම් මාර්ග බිහිවෙනවා පමණක් නොව, ඔවුන් යැපෙන සුන්දර වනපෙත සහ එහි සතුන් දිවිහිමියෙන් ආරක්ෂා කිරීමටද ඔවුන් පෙළඹෙනු ඇත.

2. ඒකාබද්ධ ප්‍රජා නිවාස ඉදිකිරිම

නමුත්, පුත්තලම හා ඒ අවට ජිවත් වන මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම තුලින්, ඔවුන්ගේ සැබෑ ප්‍රශ්ණ විසඳෙන්නේ නැත. තරමක් හෝ දියුණු පුත්තලමෙන් ඔවුන් ඉවත් කර හද්ද දුෂ්කර කැලෑවක් මැද ඔවුන් තනිකිරීම, කබලෙන් ලිපට දැමීමකි. අර හුන්ඩු නිවාස සාදා ඇත්තේ එකිනෙකට ඉතා ඈතිනි. පුත්තලමේ අසල්වැසියන් ආසන්නයේ සිටියදීත් එම කාන්තාවන් සහ ළමුන් හිංසනයට ලක් වෙනවා නම්, “ජාසිම් සිටී” එකේ ඔවුන්ගේ විලාප කිසිවෙකුටත් නොඇසෙනු ඇත. සිසු-සිසුවියන්ට පාසැල වෙත යාමට සහ නිවෙස් වෙත නැවත ඒමට වැඩි දුරක් ඇවිද යා යුතුය. රෝගීන්ට රෝහල වෙත පුත්තලමේදී වඩා වැඩි දුරක් යා යුතුව ඇත. නැවත පදිංචි කිරීම සඳහා ඇති වඩාත්ම මෝඩ ක්‍රමය සොයාගත්තාට අර ඇමතියාට “යුගයේ මෝඩයා” සම්මානය පිරිනැමිය යුතුය.

ඒ වෙනුවට අප කළ යුතුව ඇත්තේ, පුත්තලම ප්‍රදේශයෙන්ම නවීන ප්‍රජා නිවාස පද්ධතියක් සැලසුම් කර ඉදිකිරීමයි. ඒ සඳහා පුත්තලමේ ඕනෑ තරම් ඉඩම් තිබේ. නවීන පන්නයේ මහල් නිවාස සංකීර්ණයක් සාදා සියලු පහසුකම් සපිරි විශාල පාසලක් සහ රෝහලක් ඊට යාබදව ඉදිකළ හැකි නොවේද? කටාර් වල ආයෝජනය සිදුකල යුත්තේ තරුණ-තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන උසස් තාක්ෂණ පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට නොවේද? එවැනි ක්‍රමයකින් ඒ මිනිසුන්ට වඩාත් ගෞරවනීය හා ආරක්‍ෂිත පිවිතයක් ලැබෙනු ඇත. කැලෑවක් මැද අසරණ වනවාට වඩා ඔවුන් බොහෝ සතුටු වෙනු ඇත.

මිනිසුන්ගේ ජිවිත, හැසිරීම් රටා, සිතුම්-පැතුම්, ආකල්ප සැබෑ ලෙස හොඳ අතට වෙනස් කළ හැක්කේ එලෙසිනි. වඩාත්ම වැදගත් දෙය නම්, එම සංවර්ධන ව්‍යාපෘතිය මුළුමහත් පුත්තලම සංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩසටහනක කොටසක් කිරීමට අපට හැකියාවක් තිබීමයි.

3. මෝඩ දේශපාලකයන්ට ඡන්දය නොදී සිටීම

මේ සම්පුර්ණ අර්බුදයට හේතුව නූගත්, අහංකාර, අවස්ථාවාදී, වෘත්තීය-දේශපාලකයන්ගේ මෝඩ චූන් සහ ගොබ්බ ආතල් ගැනීමයි. තමන්ගේ ජාතිය ගැන අබමල් රේණුවක හැඟීමක් තිබේ නම්, ඒ අහිංසක මිනිසුන් කුදලාගෙන ගොස්, ඝන වනාන්තරයක් මැද, ගස් ටිකත් කපා, විකුණා දමා, අතරමං කරන්නේ නැත. කටාර් වලින් බැරිනම් දෙයියන්නාන්සේ පහළ වෙලා සල්ලි දුන්නත්, තමන්ගේ මිනිසුන්ට හොඳ නැත්තන් ඒ වැඩේ කරන්නේ නැත. ඒ මුස්ලිම් ජනතාව සංහිඳියාව ඇතිකරගතයුත්තේ දෙමළ මිනිස්සු සමග මිසක් අලි-කොටි-වලස්සු සමග නොවේ.

උපතින් ඔවුන් මුස්ලිම් විය හැකි නමුත් ඔවුන් පළමුව ඔබත් මාත් වැනිම ලෙයින්-මසින් සැදුනු, දුක-සැප දැනෙන, අඬන-හිනැහෙන මිනිසුන් වේ. ඒ මිනිසුන් දශක ගණනාවක් තිස්සේ පීඩනයට, අසාධාරණයට ලක්වූ ජනතාවකි, ඔවුන්ගේ කාන්තාවන් සහ ළමුන්ගේ අනාගතය අවිනිශ්චිතය. ඔවුන්ට කැලෑවක් මැද හුන්ඩු නිවාසයකට වැඩි දෙයක් ලබා දිය යුතුමය.

සාමාන්‍ය මුස්ලිම් සහ දෙමළ වැසියන් වඩාත් ප්‍රවේශම් විය යුත්තේ තම ජාතියේම කුහක දේශපාලකයන්ගෙනි. ඉතිහාසය පුරාවටම තම ජනතාව දුප්පත්කමේ රඳවා, ඔවුන් හුදකලා කරමින්, අනෙක් ජාතින්ට විරුද්ධව උසි ගන්වමින්, තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා තම ජනතාව අවභාවිතා කරමින් කල් අරින මූසල හාල්පාරුවන්ට ඡන්දය දීම මහා අපරාධයකි. උතුරේ දේශපාලනය කරන කල් ඉකුත් වූ අංකල්ලා-ඇන්ටිලා යුද්ධය අවසන් වී මෙතෙක් කල් කිසිදු වැදගත් සමාජ-පාරිසරික-ආර්ථික සංවර්ධනයක් කර නොමැත්තේ ඒ නිසාවෙනි, වතුකරයේ දෙමළ ප්‍රජාව නොමරා-මරන, නූතන වහල් සේවයේ තවමත් යෙදෙන්නේ ඒ නිසාවෙනි, පුත්තලමේ මුස්ලිම් ප්‍රජාව නැවත පදිංචි කරන මුවාවෙන් ඔවුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් 90 ගණන් වල සිටි දුප්පත්කමටම නැවත ඇද දමන්නේද එම නිසාවෙනි.

මේ සියලු දෙයටම උඩින් ඇත්තේ එහි සිදුවන දැවැන්ත වන විනාශයයි. පරිසර දුෂණයයි. ස්වභාවික සම්පත් මංකොල්ලයයි. අහිංසක සතා-සීපාවා මරා දැමීමයි. සුද්දගේ කාලේ පටන් මෙතෙක් එලි කළ කොතෙකුත් ඉඩම් තිබියදී, අනේ අර ඉතුරුවෙලා තියෙන අතිශය සීමිත වනගහනය කපා ඉවත් කිරීම නම් කිසිදු දෙවියෙක් අනුමත නොකරන බව අවසන් වශයෙන් ලියමි.

(Read the English Version: https://www.linkedin.com/pulse/3-solutions-wilpattu-crisis-eranda-ginige)

--

--

Eranda Ginige

Ambassador for Democracy Earth, Founder of Social Enterprise Lanka, Social Innovator, Writer, Time Traveler, Vegan. All opinions are my own.