කුස, පබා, කෝච්චිය සහ මම

ඇය…

පබාටත් වඩා හැඩය,

ඔහු…

කුසටත් වඩා අන්තය,


මන්නාරම් තොටින් ඇරඹි රාත්‍රී තැපැල් දුම්රිය හිමි හිමින් කොළොම් තොටට එමින්…


පබාට නින්ද ගොස්ය,

හොඳටෝම නින්ද ගොස්ය…

කුසට නම් කොහොමත් නින්දක් නැතිය,

පබා දෙස බලයි…

නිහඬවම ඇයව විඳියි…

“ඇහැරෙන්න පබා ඇහැරෙන්න…” මගේ හිත කෑගසයි…

කුස විටෙක මා දෙසද බලයි

“වනචරයා”

කුස කිටි කිටියේ පබාට තදවෙයි…

මගේ දත් මිටිත් හිමිහිට හැපෙයි…

කොළොම්තොට වැඩි ඈතකද නොවෙයි..

හිටි අඩියේ කුස පබාගේ අත්ල සිප ගති…

“අම්මපා මූව මරන්න එපෑයැ” මගේ හිත කෑගසයි..

දෙවැනුව කාටත් හොරෙන් පොඩි හාද්දක් ගෙලට,

පබාගෙන් හීන් කෙඳිරියක්…

“ගෑණිත් ඒකටම හරි වගේ” ආයෙමත් මගේ හිත…

හිමින් සීරුවේ අතක් ඇයගේ කලවයට..

ඇති යන්තං, අන්තිමේ පබා ඇස් ඇරියා…

එක්වරම පබාගේ කුසගේ අත අල්ලා ගනී..

පාරක් දෙන්නවත්ද?

මොන…

පබා කුසගේ අත්ල සිප ගනී…

“දහදුරාවේ යන ගෑණියෙක්ද කොහෙද?”

“මේ විගඩං බලන්න මාත් වාඩි වුණානේ මුං දෙන්නගේ ඉස්සරහින්”

“දැන් දෙමටගොඩ, තව ටිකයිනේ කමක් නෑ”

මම…

එකවරම කුස පහතට නැවෙයි

පබාගේ සාය කෙටිය ඔසවයි..

පබාත් සහය දෙයි..

දැන් නම් ඇස් වහගන්න වෙලාව හරි වගේ…


“මේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයයි… පස්වන වේදිකාවට දැන් පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය කොළඹ කොටුවට පමණයි..”


මම දෑස් හරිමි…

“පබාට බොරු කකුල් දෙක පළඳවන කුසව දුටුවෙමි…
නැඟිටින්නට පබාට වාරු දෙන කුසව දුටුවෙමි…
හිමින් සැරේ කෝච්චියෙන් බැස යන කුස හා පබා දුටුවෙමි…”

මගේ දෑස් හැරුණි…

Like what you read? Give Milani B. a round of applause.

From a quick cheer to a standing ovation, clap to show how much you enjoyed this story.