තවත් එක කතාවක්…

පිටතින් බලන කෙනෙකුට ශාන්ත කියන්නේ මහ විශේෂ මනුස්සයෙක් නෙවෙයි, අපි හැමෝටම එදිනෙදා ජීවිතේ හම්බවෙන, දකින සාමාන්‍ය මනුස්සයෙක්. කඩයකට ගිහින් ප්ලෙන්ටී එකක් බොද්දි එහා පැත්තෙන් ඉන්නෙ ශාන්ත වගේ කෙනෙක්, බස් එකේ, කෝච්චියේ එහා පැත්තෙන් වාඩි වෙන්නෙ ශාන්ත කෙනෙක්, ස්වීප් ටිකට් විකුණන තැනක ඉන්නෙ ශාන්ත කෙනෙක් වෙන්නත් පුළුවන්. මැච් එකක් යනදාට ටීවි කඩයක් ලඟට වෙලා මැච් එක බලන්නෙත් ශාන්ත කෙනෙක්, පේමන්ට් එකේ බඩු හෙට්ටු කරන්නෙත් ශාන්ත කෙනෙක්, හවස පොඩි බඩු මල්ලක් අරං කෝච්චියට දුවන්නෙත් ශාන්ත. ශාන්ත ඒ තරං සාමාන්‍යයි. හැබැයි එකෝම එක අසාමාන්‍ය දෙයක් ශාන්තගේ තිබුණා, හැමෝම දකින්නේ නැති වුණාට ශාන්තගේ පිට මැද්දෑවේ තිබුණා අසාමාන්‍ය උපන් ලපයක්, උපන් ලපයක් කිව්වට එසේ මෙසේ එකක් නෙවෙයි ශාන්තගේ පිටෙන් භාගයක් විතර වහගත්ත, නිවී හැනහිල්ලේ බැලුවොත් අස්සයෙක්ගේ හැඩයක් පේන ලොකු උපන් ලපයක්.

මේ උපන් ලපේ මහා ලොකු දුක්බර කතාවක එක සටහනක්, ඉඳලා හිටලා දවසක බෝඩිං කාමරේට අලුතින් එකතු වෙන හාදයෙක් උපන් ලපේ ගැන අහද්දි ඒ ගැන මතක් වුණාට, වෙන කිසිම වෙලාවක ඔය ගැන වගේ වගක් ශාන්තට තිබුණේ නෑ. ඉස්සර නං ඔය ගැන අහන වාරයක් වාරයක් ගානේ ඇඬුම් ආවට කාලයත් එක්ක ඔක්කොම අකා මකා වෙලා ශාන්තගේ හිතෙනුත්. ඉඳලා හිටලා සීතල රෑක බෝඩිමට වෙලා ඉන්න පුළුවන් වෙච්ච දවසක නින්දේ නොනින්දේ ඉන්දැද්දිත් ඒ පරණ කතාව මතක් නොවෙනවා ම නෙවෙයි. ජීවිතේ එක කාලෙක, වතුරේ ඔබන රබර් බෝලයක් වගේ ඒ කතාව ආයාසෙන් අමතක කරන්න හදපු හැටි ශාන්තට තවම මතකයි. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙන හැටි හරි පුදුමයි.

මහා ලොකු පෝසත්තු නොවුණත් එදා වේල අඩුවක් පාඩුවක් නැතිව කාලා බීලා ඉන්න තරමට වත්කමක් තිබුණු පවුලක එකම එකා වෙන්න ශාන්තට වාසනාව හෝ අවාසනාව තිබුණා. අම්මාගෙයි හොඳ පාරම්පරික ගොවි මහත්තයෙක් වෙච්ච අප්පොච්චිගෙයි ආදරය රැකවරණේ මැද හිටිය ශාන්ත අද මෙහෙම ගෙන්දගම් පොළොවේ තනිවෙච්චි එක මනුස්සයෙක් වෙයි කියලා නිකමටවත් කාටවත් හිතුනේ නැති වෙන්න ඇති. ඒත් මං කලියෙන් කිව්වා වගේ අපි නොහිතන නොපතන දේවල් සිද්ධ වෙනවා මේ ලෝකේ. කාට කාටත් කියන්න පුළුවන් ඒක ලෝක සොබාවේ කියලා.

ශාන්ත ඉගෙන ගන්න මහා දක්ෂයෙක් වුණේ නෑ, ශාන්තට වඩා සෑහෙන්න දක්ෂ ළමයි ශාන්තගේ පළලේ හිටියා. හැබැයි කාටත් වඩා ගහ කොළ සතා සිව්පාවා ගැන හොඳ ඉවක් ශාන්තට තිබුණා,ඒ පැටියා කාලේ ඉඳන් අප්පොච්චිත් එක්ක වැඩ කල නිසා වෙන්න ඇති. ශාන්තගේ අප්පොච්චි ශාන්තව “බබා වගේ” හැදුවේ නැති නිසා වෙන්න ඇති. අප්පොච්චි ශාන්තව කැත්තට උදැල්ලට හුරු කරද්දි ශාන්තගේ අම්මා මීක් කිවේ නෑ. ඒ, කරකාර බැඳපු දා ඉඳන් මේ වෙනකං සිරිදාස ඒ කියන්නේ ශාන්තගෙ තාත්තා කරපු කියපු දේකින් වරදක් වෙලා නැති නිසා, ඒ අත්දැකීම විමලාවතීව අහේතුකව සිරිදාස කියන තමන්ගේ කසාද මිනිහව සෑහෙන්න විශ්වාස කරන්න පෙළඹුවා. ඒ වගේම හිතේ කොනක තාමත් හැංඟිලා තියෙන වරදකාරී හැඟීමත් එක හේතුවක් කියලා දැනං හිටියේ මේ ලෝකෙන්ම විමලාවතී යි තව එක මනුස්සයෙකුයි විතරයි, හැබැයි ඒ මනුස්සයා සිරිදාස නෙවෙයි. ශාන්තගේ නාම මාත්‍රයක්වත් මේ ලෝකේ නොතිබිච්ච කාලෙක විමලාවතී අතින් සිරිදාසට වැරද්දක් වෙලා තිබුණා. සිරිදාස මේ ගැන හාංකවිසියක් දන්නේ නෑ කියලා විමලාවතී දැනන් හිටියා.

වක්කඩවල් බඳින්න, කඩන්න, ගල් අමුණ සුද්ද කරන්න, වී දියේ දාන්න, පෝරු ගාන්න, වී ඉහින්න, නෙලන්න, පැළ ගොයමට වින කටින පුංචි ඈයෝ එලවන්න, ගොයම් කපන්න, බැත පාහින්න ඔය එකී මෙකී නොකී හැම දේම ගැන අප්පොච්චිගෙන් ශාන්තට ඉගෙන ගන්න ලැබුණා. අප්පොච්චිත් කිසිම ගුරු මුෂ්ටියක් නැතිව හැමදේම කියලා දුන්නා, ගොවි කම කියන්නෙත් හරි අපූරු දෙයක්. සුරුවමට උදැල්ල දෑකැත්ත අල්ලන ශාන්ත දිහා බලන අප්පොච්චි හරිම ආඩම්බර වුණා, තමන් නැති දාක මේ හැමදේම බලා කියා ගන්න තමන්ගෙම ලෙයින් උපන් නියම මිනිහෙක් ශාන්තගෙන් මතු වෙන හැටි ඒ හැම ඉරියව්වකින්ම පෙන්නුව නිසා.

මේ හැම දෙයක්ම වෙනස් වුණේ බක් මහේ එක හැන්දෑවක, හරියටම කිව්වොත් හිස තෙල් ගාලා දවස් තුනකින්. අලුත් අවුරුද්දේ කිරිබත් උයාපු මුට්ටියේ තැනින් තැන තාමත් අඟුරු කළු පාටින් අතවරේට ලක් නොවුණු පඬු පාට එහෙමම තියෙද්දි. වෙනදාටත් වඩා ලකේට මුළු ගමම අවුරුදු සමරලා සතුටින් ඉන්න වෙලාවක තමා මේ වින්නැහිය ශාන්තලගේ ජීවිත කඩා ඉහිරුවේ. ශාන්තලා විතරක් නෙවෙයි ඉහලගම හැමෝමවත් හිරිවට්ටපු ඒ දවස පටන් ගත්තේ වෙන සාමාන්‍ය දවසක් වගේම තමයි.

ඉස්කෝලේ නිවාඩුත් නිසා වැඩිපුර ටිකක් නිදා ගත්ත ශාන්ත, අම්මා වක්කරලා දුන්නු කහට එකත් උගුරට දෙකට බීලා දැනටමත් වෙල පැත්තේ ගිහින් උන්නු අප්පොච්චිට එකතු වෙන්න දිව්වේ කලිං දා රෑ වැස්සට ඇලේ වතුර වැඩි වෙලා පොල් කඳන් පාලම ගහගෙන ගිහින්ද කියලා බලන්නත් එක්කමයි. රෑ අනෝරා වැස්සත් එක්ක බක් මහ අකුණු ගහන අස්සේ අප්පොච්චි “මේ වැස්සටනං විමලාවතියො පාලම ඉතිරි වෙන්නේ නෑ” කියපු හැටි ශාන්තට තාම මතකයි. ශාන්ත යනකොටත් අප්පොච්චි කුයියා සීයත් එක්ක පාලම තිබුණු තැනට වෙලා කතාව. ශාන්තට අප්පොච්චි ගැන නොසෑහෙන්න ආඩම්බර හිතුනා, පාලම ගහගෙන යන විත්තිය ඊයෙ රෑම කියපු අප්පොච්චි ගැන. අප්පොච්චියි කුයියා සීයයි හිටපු තැනට කිට්ටු කරපු ගමංම කුයියා සීයා හොඳ හිනාවක් දාලා “ආ සිරිදාස පුතේ, මෙන්න ඉලංදාරියා ඇවිත්, දැන් අපිට බය නැතුව වැඩේ පටං ගත්ත හැකි”. අප්පොච්චියි කුයියා සීයයි පාලම හදන්න යන විත්තිය ශාන්තට තේරුම් යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

හීලත් අරගෙන ආම්පන්න ආයුධ ටිකත් ගේන්න පොරොන්දු වෙලා කුයියා සීයා සිරිදාසටයි ශාන්තටයි සමු දුන්නා. සිරිදාසයි ශාන්තයි දෙන්නත් ආපහු ගෙදර දිහාට ඇදුනේ උණුවෙන්ම මුං ඇට කිරිබත් ටිකක් කාලා ආපහු එන්න හිතාගෙන, කුයියා සීයා කියපු වචනේ නිසා ශාන්තටත් සෑහෙන වගකීමක් හිතට දැනිලා හිටියේ, අප්පොච්චිටත් වඩා කලබලේ ශාන්තට. අප්පොච්චියි, කුයියා සීයයි පාලම හදන වැඩේ පටන් ගත්තට පස්සේ ගමේ පිරිමි එකා දෙන්නා ඒ වැඩේට එකතු පහදු වුණේ කාගෙවත් අණ කිරීමකට බල කිරීමකට නෙවෙයි. ලඟම ටවුම වෙච්චි කෑගල්ලෙන් එන ඕනි කෙනෙක් ඉහලගම ගමට ඇතුළු වෙන්න ඕනි පාලම හරහා, ඉතිං එහෙව් පාලම හදාගන්න එක ගමේම යුතුකමක් හැටියට තමයි ඔක්කොම සැලකුවේ. මද්දහන වෙද්දි පාලමේ වැඩ කටයුතු ගොඩක් අහවර වෙලා තිබුණේ, හැබැයි කාටවත් ගෙවල් වල යන්නවත් කන්නවත් සිහිය නෑ. කුයියා සීයගේ කතා අහ අහ වැඩ කරපු ගොඩක් අයට ඇඟේ පතේ මහන්සියක් තිබුණේ නෑ. හිත යටින් ශාන්ත ඊයේ රෑ වැස්සට ස්තූති කලා, වෙනදට වක්කඩට, පැල ඉනි වැටට, වතුර ටිකට රණ්ඩු වුණු ගොඩක් ඈයො අද එක කුස උපන් සහෝදරයෝ වගේ හරි හරියට වැඩ.

පිරිමි ගොල්ල එක හැල්මේ වැඩ කරන කොට ගෙවල් වල හිටිය ගැහැණුත් කර බාගෙන හිටියේ නෑ, ශාන්තලගේ ගෙදර එකතු වුණු කට්ටිය ඇඹුල ලෑස්ති කරා. අවුරුද්දට අලුතින්ම කොටපු හාල් ගෝනිය එළියට ගන්න විමලාවතී දෙපාරක් හිතුවේ නෑ. කුයියා ආච්චි හොඳවයින් මයියොක්කා අල දෙකක් අරං ඇවිත් තිබුණා. ඇලිසා කිසි ලෝභ කමක් නැතුව මඩකලපුවේ අක්කලා අවුරුද්දට අරං ආපු කරවල කූරියෙක් ගෙනත් විමලාවතී අතට දුන්නා, “පංකාදු පහයි” කියලා නිකංම විමලවතීට කියවුණා. කුයියා ආච්චි කිව්වේ හොඳ සම්බෝලයක් හදලා ගත්තොත් මේ කලමණාත් එක්ක හරියට ගැලපෙයි කියලා. මේ වගේ වැඩ වලට කවදත් සුරුවම් කුයියා ආච්චිගේ කීමට පිටිං යන්න කාටවත් උවමනා වුණේ නෑ. තුනට තුන හමාරට වැස්ස පටං ගන්න නිසා ඉක්මනටම ඇඹුලත් අරං යන එක හොඳයි කියලා කුයියා ආච්චි කියද්දිත් කවුරුත් මොකුත් කිව්වේ නෑ. අන්තිමේදි නිල නොලත් නායිකාවගේ සුරුවම් කම හින්ඳා කොයි කවුරුත් එකතු වෙලා සුවඳත් එක්ක විතරක් වුණත් බත් මුට්ටියක් කන්න පුළුවන් විදිහේ ඇඹුලක් ලෑස්ති කරං පාලමේ වැඩ කරන පැත්තට සේන්දු වුණා.

කුයියා ආච්චි උණ පඳුර ගාවට වෙලා මඩකපු කරවල මාළුව වහලා තිබිච්ච මැටි කෝප්පේ අයින් කරද්දි මෙච්චර වෙලා නොතිබිච්ච බඩගින්නක් පාලමේ වැඩ කරපු හැමෝටම දැනුණා කියලා කුයියා සීයාට තේරුණා, ඒකම ශාන්තගේ අප්පොච්ච්ටත් තේරුණාද බලන්න කුයියා සීයා හැරෙද්දිම ටවුම පැත්තේ ඉඳං පාලම දිහාට එන පිරිමි රූපේ දැක්කා. “එහෙනං බත් ටිකක් කාලම වැඩේ පටන් ගමු” කියලා විධානයක් දීපු කුයියා සීයා “සිරිදාස පුතේ අර කවුද එන්නේ කියලා බලාපං” කිව්වේ සිරිදාස ගමේ අනික් එවුන්ට වඩා යමක් කමක් තේරෙන මිනිහෙක් වෙච්ච නිසා. ඇළට බැහැලා හිටිය සිරිදාස ටික ටික ලඟට එන මේ පිරිමි රූපේ අඳුන ගන්න බැලුවත් හරි හමං නිච්චියක් තිබුණේ නෑ. මූණ පුරා අකීකරුව වැවිච්ච රැවුල නිසා කොහොමත් ඉතිං මේ මනුස්සයා අඳුරගන්න බෑ කියලා හිත යටින් සිරිදාස හිතුවා. කෑම ගැන පැත්තකින් තියපු ශාන්තත් පොඩ්ඩක් අප්පොච්චිගේ පැත්තට ඇදුණේ හිච්චි කාලේ අහපු බිල්ලෙක්වත් ඇත්තටම එනවද බලන්න.

අළුතෙන්ම ගත්තු පලයාකාට් සරමකින් හැරහිලා හිටියට මේ මිනිහගේ කිසි ලකයක් නෑ නෙද කියලා ආයෙමත් සිරිදාස හිතුවා. මොනා වුණත් මේ මනුස්සයත් මොනා හරි හොයාගෙන හරි නැත්තං ඉහලගම කාව හරි හම්බෙන්න හරි එන්නේ කියලා සිරිදාසගේ හිත කිව්වා, කිහිල්ලේ ගහගත්තු තරමක සිලි සිලි බෑග් එකේ මොනාද තියෙන්නේ කියලා බලන්න සෑහෙන ආසාවක් ශාන්තගේ හිතටත් ආවා. පාලම ගාව එකදු පහදු වෙලා ඉන්න සෙනඟ දැක්කම මේ මනුස්සයාගේ වේගේ එහෙම්මම අඩු වුණාද නැත්තං මේ මනුස්සයා කාගේ කවුද කියලා දැන ගන්න තිබුණු තමන්ගේ නොඉවසිල්ලද කියලා දන්නේ නෑ හරියට, හැබැයි පාලම ගාවට එන්න මේ මනුස්සයා නොසෑහෙන වෙලාවක් ගත්තා කියලා සිරිදාසට තේරුණා.

පාලම ගාවට ආපු මේ මනුස්සයා නැවතිලා මෙගොඩට එන්න දෙලෙහුණා.මෙච්චර වෙලා ඇඹුල අඹර අඹර හිටිය ගමේ ඈයොත් එක පාරටම කෑම නවත්තලා මේ මනුස්සයා කවුද කියලා මතක් කරා. හැබැයි එක එකා තම තමන්ගේ හිත් ඇතුළෙන්. මොහොතකට හැමදේම නිස්සද්ද වෙලා ඇළේ මුරණ්ඩු වතුර පාර විතරක් කතා කරන්න ගත්තා. “මුන්නැහේ බෑරැක්ද?” හැමෝගෙම හිත් ඇතුලේ පැහැවපු පුරස්නේ සිරිදාස වචන වලට පෙරළුවා. “හ්ම් මං මේ ඉහලගමට යන්න කියලා”, ගල් බමුණාගේ සද්දේ ගොරෝසු ශාන්ත තනියම හිතුවා. “ආ, ඊයේ රෑ මහ වැස්සට පාලමනං කැඩිලා ගොයියෝ, වතුරේ බැහැලා තමයි එන්න වෙන්නේ මේ පැත්තට, හැබැයි මෙතන ඉන්නවා ඉහලගම මුළු ගමම. කාවද දන්නේ නෑ හොයන්නේ මුන්නැහේ”. ආයෙමත් සිරිදාස කතා කලා. ඒකට උත්තරයක් නොදුන්නු මේ මනුස්සයා පලයාකාට් සරම කැහැපොට ගහගෙන වතුරට බැස්සා. සිරිදාස කුයියා සීයා දිහා බැලුවේ උන්දැවත් මේ මනුස්සයා අඳුර ගත්තද බලන්න. මොන, කුයියා සීයත් පඹගාලක පැටලිලා කියලා සිරිදාසට තේරුණා.

මහ පුරුදු කාරයෙක් වගේ මෙගොඩට ආපු මේ මනුස්සයා සිරිදාස ට විතරක් පොඩි හිනාවක් දැම්මා, ඊට පස්සේ “මේ වතුර පාරට පොල් කොට පාලම ගහගෙන ගියේ නැත්තං තමා පුදුමේ” කියලා සිරිදාසට කිව්වේ සිරිදාසයි ගමේ හැමෝමවයි ආයෙමත් පුදුමෙන් පුදුමෙට පත් කරලා. බැරිම තැන කුයියා සීයා කතා කලා, මට නං නිච්චියක් නෑ මුන්නැහේ ගැන, මුන්නැහේ කාගේ කවුද? ඒකටත් පොඩි හිනාවක් දැම්ම මේ මනුස්සයා “තරහා ආයුබොවන්ඩ, හොඳ මඩකලපු කරවල හොද්දක සුවඳක් දැනෙනවා, මාත් ඇඳි ගන්නද?” කියලා කුයියා සීයගෙන් ඇහුවා, ආයෙමත් තක්කු මුක්කු වෙච්චි කුයියා සීයා “හා එහෙනං ඔය හත් අට පොලකින් වාඩි වුණා නං” කියලා කිව්වා, ඇත්තටම කුයියා සීයාත් දැනං හිටියේ නෑ ඒක තමං කිව්වද කියවුණාද කියලා. විමලාවතී අරං ආපු කෙහෙල් කොලේ ඉල්ල ගත්තු සිරිදාස ඒක මේ අමුත්තට දීලා ඇඹුල අමුත්තට බෙදන වැඩෙත් භාර ගත්තා.

අමුත්තාත් කිසි වගේ වගක් නැතිව බෙදපු බත් ඔක්කොමත් කාලා ඇළෙන්ම වතුර ටිකකුත් බීලා කුයියා සීයගෙන් බුලත් විටක් ගැන ඇහුවා. කුයියා සීයත් කරබාගෙන බුලත් විටක් හදන්න ගත්තා උපන්තේකට මෙහෙව් යකෙක් හම්බෙලා නෑ කියලා තනියම හිතන ගමං. සිරිදාසගේ පොකැට් ඉන පටියේ තිබිච්ච හොඳ දුන් කොල ටිකක් කුයියා සීයාගේ අතේ තියපු සිරිදාස, “මලේ දැන්වත් කිව්වනං උඹ කාගේ කවුද කියලා”, ආයෙමත් මේ මනුස්සයගෙන් ඇහුවා.

කුයියා සීයා දුන්නු බුලත් විටක් කටේ දාගත්ත මේ මනුස්සයා හවස් කොරේ වහින්න කලියෙං වැඩේ ඉවර කලා නං කියන ගමං කමිසේ ගලවලා ලඟ තිබිච්ච ගොඩපර අත්තට දාලා සරම කැහැ පොට ගහ ගත්තා. ඒ පාර මේ මිනිහා මොකාටද එන්නේ කියලා ගමේ මිනිස්සු ආයෙමත් කල්පනා කලා, වැඩි වෙලාවක් කල්පනා කරන්න හම්බුණේ නෑ, කුයියා “හත්වලාමේ” කියලා මොර දුන්නා. තම තමන්ගේ ආයුධ අරං ආයෙමත් වැඩට බහින්න ලෑස්ති වුණු මිනිස්සුත් ඇඹුල අස් කර කර හිටපු ගෑණුත් එක පාරටම කුයියා සීයා දිහා බැලුවා, හැබැයි කුයියා සීයා බලං හිටියේ අමුත්තගේ පිට දිහා. හරියටම කිව්වොත් පිටේ භාගයක් වැහෙන්නම තිබුණු අස්සයෙක්ගේ හැඩයක් තිබිච්ච ලපේ දිහා.

ශාන්ත අප්පොච්චි ගාවට දුවං ගියේ ගමේ මිනිස්සු එක පාරටම තමුං දිහායි ගල් බමුණා දිහයි බලන්න ගත්ත නිසා. අප්පොච්චි ශාන්තගේ අත තදට අල්ලගත්තෙයි ශාන්තගේ අම්මා විමලාවතී අතේ තිබුණු හට්ටිය බිම අතෑරියෙයි එකම වෙලාවට, හරියට කතා වෙලා කලා වගේ. හට්ටිය බිම වැටිලා බිඳෙන සද්දෙට අමුත්තා පලවෙනි වතාවට විමලාවතී දිහා බැලුවා. ශාන්තටවත්, සිරිදාසටවත් ගමේ අනික් කිසි කෙනෙකුටත් නොතේරෙන බාසාවකින් අමුත්තයි විමලාවතීයි කතා කලා. ඒ, ඇස් වලින්. අමුත්තගේ ඇස් සතුටින් දිලිහෙන්න ගත්ත කියලා කාටත් කියන්න පුළුවන් වුණාට විමලාවතීගේ ඇස් වල තිබුණු කතාව කාටවත් හිතා ගන්න බැරි වුණා.

හැමෝම දිහා බලපු අමුත්තා “මේ ඉන්නේ මගෙ ගෑණි, මේකිව හොයාන තමයි මං ඉහලගමට ආවේ” කිව්වේ විමලාවතීව පෙන්නන ගමන්, වටේ හිටි ගමේ එවුන්ගේ ඇස් ගෙඩි නළලට යවලා. කිසිම දේක අගක් මුලක් නොතේරුණත් මෙච්චර කලක් ලඟම තිබිච්ච දෙයක් නැති වෙන කොට දැනෙන මුස්පේන්තු ගතිය ශාන්තට දැනුණා. ශාන්තගේ අතින් අල්ලගෙන හිටියත් අප්පොච්චිගේ අත වෙව්ලනවා.

“උඹලා මට ඔරවන්න එපා බොලව්, මේකි පුස්පනේදි පවුල් කෑවේ මාත් එක්ක, මං බෝගම්බර ඉඳං එනකං මේකිට ඉස්පාසු නැති වුණා. ඊයේ ගමට ගියාම තමයි උන් කිව්වේ මීට දහ අවුරුද්දකට විතර කලියෙන් මේකි ඉහලගමට බැඳලා ආවා කියලා”. මෙච්චර වෙලා කතාවක් නැතිව හිටි සිරිදාස කතා කලා, “දැන් මේකි මගෙ ගෑණි, උඹ ආපු අතක් බලාගෙන ආපහු යමං”, එතකොටම වගේ කුයියා ආච්චි කාරලා කෙල පාරක් ගැහුවේ බිමට වුණාට ඒක විමලාවතීට වගේම සිරිදාසටත් දැනුණේ තමංගේ මූණට ගැහුවා කියලා, මෙච්චර දවසක් තමන් හදාපු මුළු ජීවිතේම එක පාරට කඩා වැටුණු විත්තිය සිරිදාසට තේරුණා, නැතිවෙන්න දෙයක් නොතිබුණු සිරිදාස දැක්කේ ලඟ තිබුණු උදැල්ල විතරයි. අමුත්තා දිහාත් උදැල්ල දිහාත් එක පාර ගානේ බලපු සිරිදාස ශාන්තගේ අත ඇතෑරියේ ආයෙ කවදාවත් ඒ දෑත් පොඩි අල්ලන්න වෙන්නේ නෑ කියලා දැනගෙන.

ජීවිතේ කිසිම දාක කුරා කූඹියෙකුට හිතා මතාවත් අන්තරාවක් නොකරපු සිරිදාස එක තප්පරේක දැනුණු අනියත දුක බය වේදනාව එකතු වෙලා හැදුණු අමුතුම හැඟීම තමන්ට කියපු වැඩේ කලා, තමන්ගේ ජීවිතේ කඩා ඉහිරවන්න ආපු මේ මනුස්සයගේ මොළ කටු පොඩි වෙන්න උදළු පාරක් ගැහුවෙත් සිහිය නැතිව වැටුණු විමලාවතීගේ ඔළු ගෙඩිය, මෙච්චර වෙලා ගෑණු වාඩි වෙලා හිටි ගල් පොත්තේ වැදිලා දෙබෑ වුණෙත් එක වෙලාවේ. ශාන්ත අම්මා ගාවට දුවන් යද්දි අප්පොච්චි උදැල්ල පැත්තකට දාලා බිම හැපුණා, ඔළුවේ අත ගහගත්ත අප්පොච්චි “කුයියා මාමේ මාව පොලීසියට එක්ක පලයන්” කිව්වේ අම්මා දිහාවත් නොබලා. ඒ තමයි ශාන්ත අම්මාව, අප්පොච්චිව වගේම අමුත්තවත් අන්තිමට දැක්ක දවස.

පොලිසියෙන් පරිවාසෙට, පරිවාසෙන් කල වයස පහු වුණාම කොළඹ සිකුරිටි රස්සාවට ශාන්තව ගෙනාවේ ලොකු කතාවක් හංගගෙන ඉන්න මේ උපන් ලපේ. අප්පොච්චිගේ ලෙයින් ඉපදෙන්න වාසනාව නොතිබුණත් අප්පොච්චි වගේ මනුස්සයෙක්ගෙන් ජීවිතේ කෙටි කාලයක් හරි ඉගෙන ගන්න ලැබුණු එක ගැන ශාන්ත අදටත් සතුටු වෙනවා, හරි අහිංසක මිනිහෙක් වෙච්චි අප්පොච්චි ගහලයෙක් වුණේ අම්මටයි තමුන්ටයි තිබුණු ආදරේටයි කියලා ශාන්ත දන්නවා. කිසිම දෙයක් කියන්න වෙලාව නැති වුණත් අම්මටත් කියන්න මොකක් හරි කතාවක් තියෙන්න ඇති, ශාන්ත සමහර දාක හිතනවා, ඒත් තමුන්ගේ මුළු ජීවිතේම උඩු යටිකුරු කරපු අමුත්තටනං කිසිදාක සමාව දෙන්න ශාන්තට බැරි වුණා…

One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.