යායේ කතාවක්

2017 අවුරුද්දත් ගෙවී ගෙන යනවා, නත්තලුත් ඇවිත් ගියා (ප.ලි: ඔහොම පටන් ගත්තට 2018 අවුරුද්ද ලබලා ඉස්සෙල්ල ම ලියන්නෙත් මේක), ඒ අස්සේ පොඩි එව්වො අලුත් අවුරුද්දේ ඉස්කෝලෙ යන්න තකහනියක් ලෑස්ති වෙනවා. ඔපීසිය අලුත් තැනකට ගෙනිහිල්ල නිසා ඉස්සර විනාඩි පහලවේ ගමනට දැන් අඩුම තරමේ පැයක් වත් යනවා. දවසක් දෙකක් කට්ට කාලා අන්තිමේ පොඩි පහේ අස්වැසිල්ලක් හම්බ වුණා, ඒ බස් ගමන ලේසි වෙන පාරක් ඔපීසියේ ම යාළුවෙක් කියා දුන්න නිසා. ඒකට පින්සිද්ධ වෙන්න දැන් බස් එකේ ඉඳගෙන යනවා එනවා. ඔය ගමන ඉතින් ට්‍රැෆික් අස්සේ එනකොට මං කරන්නේ එක්කෝ ජංගම දුකේ පොතක් පත්තරයක් බලන එක, කිරිස්තිනා නෝනා ගැන එහෙම තියෙන ඕප දූප ටිකක් හොයන එක. හැබැයි වැඩිමනත් කරන්නේ දකින මිනිස්සු ගැන කතා මවන්න උත්සහ කරන එක. ෂර්ලොක් මහත්තයා වගේ මං බලනවා මට ඒ මනුස්සයාගේ විදිහ බලලා මොනා හරි අනුමාන කරන්න පුළුවන් ද බලන එක. මේ දවස් ටිකට කතා ගොඩක් ඔළුවේ තියා ගෙන හිටියත් ඕක ගෙදර ඇවිත් තව කාට හරි කියවන්න පුළුවන් වෙන විදිහට ලියන එක කරන්න බැරි වැඩක් නෙවෙයි, මං කරන්න කම්මැලි ම වැඩක්. හැබැයි අද උදේ දැක්ක පින්තූරයක් නිසා සුරනිමලගෙ කතාව ලියලා මිසක් නවතින්නේ නෑ කියලා මට ම පොරොන්දු වුණා.

රැහැයියන්ගේ කීස් කීස් සද්දේ මැදින් එන, මල පොතේ අකුරක් නොදන්න මිනිහෙක් වුණු තමන්ගේ ලෙයින් උපන් කොළුවා හරි අපූරුවට පාඩම් පොත් කියවන සද්දේ අහගෙන කුස්සි කෑල්ලේ තමන්ගේ ඇඹේනිය වෙච්චි කාන්ති දවසේ වැඩ අහවර කරන දිහා බලාන කර ගැට පිරිච්ච තමන්ගේ අත් දෙක පොල් තෙල් පානට අල්ලන ගමන් සුරනිමලට තනියම හිනාවක් ගියා, හිනාවක් කිව්වට ඒක පොඩි පහේ ආඩම්බරයකුත් එක්කාසු වෙච්චි හිනාවක්, පහු ගිය අවුරුදු දා හතරක් පහළොවක් කර ගැට එන කං ඉස්පාසුවක් නැතුව වැඩ කලාට ලැබෙන්න තියෙන ප්‍රතිලාභ ඉහටත් උඩින් තමන්ට ලැබෙන කාලෙ වෙච්චි. තමන් හීනෙකින්වත් නොහිතපු නොපතපු තැනකට තමන්ගේ ජීවිතේ ආපු හැටි සුරනිමලට පෙනුණේ නිකං මීට දෙ මාසෙකට කලියෙන් හන්දියේ පෙන්නපු චිත්තර පටිය වගේ. මීට අවුරුදු දහ පහළොවකට කලියෙන් දවසක එක ඇහිල්ලක වෙනසකින් තමන් මේ විඳින සතුට නැතිවෙන්න තිබුණා නේද කියලා හිතෙද්දි පොඩි පහේ හීතලක් කොන්ද මැද්දෑවෙන් ගියා වගේ දැනුණා.

1977 පාර්ලිමේන්තු මැතිවරණේ ජේ ආර් මහත්තයා දිනද්දි සුරනිමල යන්තං අවුරුදු දහ අට පහු කරපු කොළු ගැටයෙක්. සුරනිමල දන්න කාලෙක ඉඳන් හිටිය රත්නායක වලව්වේ උදවිය හොඳ ශ්‍රී ලංකා කාරයෝ. කොටින් ම කියතොත් ඇන් ඇම් මහත්තයා රුවන්වැල්ලේ ඡන්ද වැඩ වලට එද්දි කෑවේ බීවේ රත්නායක වලව්වෙන්, රැස්වීම් තිබ්බෙත් රත්නායක වලව්වේ මහ මිදුලේ. කවදාවත් දෑහැට දැකලා නොතිබුණු මී දෙණිය වලව්වේ මොලමුරේ කුමාරිහාමිට වඩා ඇන් ඇම් මහත්තයා කොච්චර කරුණාවන්ත ද කියලා සුරනිමල තනියම කී වතාවක් හිතෙන් හිතන්න ඇද්ද. ඒකට ප්‍රධානම හේතුව රත්නායක වලව්වේ මිනිස්සු සළකන්නේ නැති තරමට ම ඇන් ඇම් මහත්තයා තමන්ට කරුණාවන්ත වෙන නිසා. මූණ කට හෝද ගන්න වතුර ටික ලං කලත් “ස්තූතියි” වචනේ කියලා හිනා වෙලා පිටට තට්ටුවකුත් දාන්න අමතක නොකරන, වලව්වේ තියෙන රැස්වීම් වලදි මහ සද්දෙට සිංහයෙක් වගෙ කතා කරන, ඔක්කෝම වැඩ අහවර වෙලා යන්න කලින් වලව්වේ වැඩ කරන හැමෝටම ස්තූති කරලා යන මේ අපූරු මිනිහා රත්නායක වලව්වේ උදවිය ලඟින්වත් තියන්න බැරි තරං රත්තරං මනුස්සයෙක් නේද කියලා සුරනිමල කල්පනා කලා. සුරනිමල හිතුවෙම ඇන් ඇම් මහත්තයා උඩින්ම දිනාවි කියලා. හැබැයි සුරනිමල විතරක් නෙවෙයි, රත්නායක වලව්වේ ඔක්කොමත් නොහිතපු විදිහට ඇන් ඇම් මහත්තෙලා පැරදුනා, ආයෙම ගොඩ ඒමක් නැති වෙන්නම. එදා රත්නායක මහත්තයා හැසිරුණේ වෙඩි කාපු ඌරා වගේ, “මේකෙ උන්ට තව කන්න දෙකක් තුනක් ඉවසන්න බැරි වුණා ඇන් ඇම් ලා කරපු වැඩ වල ප්‍රතිපල බුක්ති විඳින්න” ඔන්න ඔය වාක්‍යය මන්තරයක් වගේ කියව කියව අඩි හප්ප හප්ප හිටි රත්නායක මහත්තයා ඉන්න දිහාවකට කතා කරතොත් මිසක් සුරනිමල එදා ගියේ නෑ.

යූ ඇන් පී ද ශ්‍රී ලංකා ද කියලා වගක් සුරනිමලට තිබුණේ නෑ, සුරනිමලට තේරුණු එකම දේ ඇන් ඇම් මහත්තයා පැරදිලා කියලා විතරයි. රත්නායක වලව්ව උඩින් කුරුල්ලෙක්වත් පියාඹන්නේ නෑ කිව්වට එදා රෑ වලව්වේ වහලෙට බොරළු විහික් කරන්නත් වලව්වේ උදවියට හූ කියන්නත් තරං ගමේ පෙලක් එව්වො බය නැති වුණු දවසක්. කලබගෑනිය අස්සේ නිදා ගෙන හිටි තැන ම විනාඩියක් විතර වෙන්නේ මොනවද කියලා තේරුම්ගන්න සුරනිමල වලි කද්දි රත්නායක නිළමේ මහත්තයා ලයිසන් තුවක්කුවත් අරං එළියට බහින වගත් මැණිකේ කෑහන සද්දෙත් සුරනිමලට ඇහුණා. පැදුරු කෑල්ලෙන් දණි පණි ගාගෙන නැඟිටලා ඒ දිහාවට දිව්ව සුරනිමල දැක්කේ පපුව අල්ලගෙන බිම වැටිලා ඉන්න රත්නායක නිළමේ මහත්තයා, කවදාවත් අඬනවා දැකලා නැති මැණිකේ, නිළමේ මහත්තයාව බදා ගෙන මර හඬින් කෑගහන හැටියි. සුරනිමලත් එක්ක ම හරියට කතා වුණා වගේ රන්මැණිකා නැන්දා ඒ කියන්නේ වලව්වේ කුස්සි අම්මා, කාන්තිව ඇද ගෙන මිදුලට දුවගෙන ආවා. කුස්සි අම්මා කිව්වට රන්මැණිකා පාරම්පරික කෙම් ක්‍රම එහෙම දන්න කෙනෙක්, ගමේ එකාලට වෙන පොඩි පහේ ඇබැද්දි වලට දෙන්න පොඩි බෙහෙත් හේත් රන්මැණිකා දන්නවා. විස වෙදකම තමා ඔයින් වඩාත් ම ප්‍රයෝජනවත්. කහත් එක්ක බෙහෙත් ගලේ උරච්චි කරලා දෙන කල්කේ ගමේ එව්වෝ ඉසේ කෙස් ගාණට බේරලා දීලා ඇති. කාන්ති කියන්නේ වලව්වේ වැඩ වලදි රන්මැණිකට උදව් පදව් කරන්න ඉන්න එකී, සුරනිමල වගේ ම අක් මුල් හොයා ගන්න බැරි අතීතයක් තියෙන එකියක්. හැබැයි ගමේ එව්වොන්ගේ කතා වල හැටියට කාන්ති කියන්නේ රත්නායක නිලමෙට දාව ගමේ හිටි කුල හීන ගෑණියෙක් වදා පු තවත් දරුවෙක්. කොහොමින් කොහොම හරි එදා තමයි රත්නායක නිලමේ තනියම ඇවිදගෙන ගිය දවස, මොකද එදා රෑ පපුවේ අමාරුවත් එක්ක ආපු අංශභාගේ නිසා එක තැන් වුණු රත්නායක නිලමේ කාමරේට කොටු වුණා, මල මූත්‍ර පිටවෙන හැටියක් ගැනවත් හාංකවිසියක තේරුමක් නැතුව රට උළු වහලේ දිහා බලාන ඉන්න රත්නායක නිලමේ දිහා බලලා සුරනිමලට හිතුණු දේවල් බොහොමයි. අවුරුදු විසි තිස් ගාණකට කලියෙන් වලව්වට දීග ආවත් නිලමේගේ ලෙයින් වලව්වට උරුමකං කියන්න පුළුවන් පොඩි එකෙක් වදන්න මැණිකෙට බැරි වුණා, ඒ හිංදම සුරනිමල, රන්මැණිකා, කාන්ති හැර වෙන පරාණ පුළුටක් මැණිකෙගේ හයියට හිටියේ නෑ.

එදා ඉඳන් වලව්වේ, ගමේ විතරක් නෙවෙයි රටෙත් ලොකු ලොකු පෙරළි සිද්ධ වුණා. ගමේ “මහ ගෙදර” වෙච්චි රත්නායක වලව්ව තවත් එක ගෙදරක් වෙච්චි, වලව්වට අයිති වෙලා තිබුණු කුඹුරු අක්කර හතලිහ ටිකෙන් ටික අඩු වෙන්න ගත්තා, ඒ වෙන මොකුත් නිසා නෙවෙයි, රත්නායක නිලමෙට බෙහෙත් අහන්න රට වටේ වෙද්දු හොයන්න ගිහින්, රත්නායක නිලමේ ගොඩ ගන්න මැණිකේ නොගිය තැනක් ගැන සුරනිමල දැනං හිටියේ නෑ. රන්මැණිකත් දන්න සූත්තර දාලා නිලමේව ගොඩ ගන්න උත්සහ කලත් ඔය හැමදේම ගඟට කපාපු ඉනි වගේ වුණා. අන්තිමේ වලව්වට අයිති වෙලා තිබුණු වත්ත වලව්ව මායිමට ම ඒමත් කුඹුරු වපසරිය ලාස් දහයකටත් අඩු වුණේ කලින් හිතා ගෙන හිටි දෙයක් වගේ. ගමට අළුතෙන් ආපු ගාළු මුදලාලිට උගස් කරලා තිබුණු කුඹුරු කොටහත් සින්න වුණු ආරංචිය අරං සුරනිමලත් එක්කම ආපු මැණිකේ රන්මැණිකෙටත් කාන්තිටත් කතා කලා. පඬු පාටට හැරිලා තිබුණු ලකයක් නැති සාරි පොටෙන් නලලේ තිබුණු දාඩිය පිහි දාගන්න ගමන් මැණිකේ කතා කලා.

“උඹලා ඔක්කොටම වැටහෙනවනේ වලව්වට වෙලා තියෙන වින්නැහිය, උඹලට පිං බත් දෙන්න තරං වත් කමක් අපට නෑ. මේ මට උඹලගේ හයිය ඕනි ම වෙලාව වුණත් මට කියන්න තියෙන්නේ උඹලා තම තමංට උරුම ජීවිතයක් හොයා ගෙන යන්න කාලේ හරි කියලා, මං මේ නිලමෙගේ අන්තිම හුස්ම වටෙන කං නිලමේව බලාගෙන ඉන්නවා, හදිස්සියකට එහා වත්තේ අදිරියෙන්ව ගෙන්න ගන්න පුළුවන්.”

මේ කතාව අහං හිටි රන් මැණිකා මහ සද්දෙන් අඬපු හැටියි අඬන ගමන් ම රන් මැණිකා කියපු මේ වචන ටිකයි සුරනිමලගේ මතකේ අදටත් තියෙනවා, විශේෂයෙන් ම ඒ මොහොත සුරනිමලගේ මුළු ජීවිතේ ම වෙනස් කල නිසා.

“අනේ මැණිකේ, මං මේ නහින දෙහින කාලේ ජීවිතේ ගැට ගහ ගන්න ගෑණි වෙච්චි, මට උරුම මේ වලව්වේ කුස්සි කෑල්ල මිසක් වෙන කිසි දෙයක් නෙවෙයි. මගේ පණ කෙන්ද හයිය තියෙන කං මට මේ වලව්වේ වැටිලා ඉන්න දෙන්න මැණිකේ. මට මේ ගහක කොළේක වැවෙන දෙයක් කාල ඉන්න පුළුවන්. මේ මගේ ඇස් දෙක වගේ ඉන්න කාන්ති කෙලීවයි සුරනිමල කොලුවවයි එකලාසයක් කරලා උන්ට අළුත් ජීවිතයක් පටන් ගන්න කියන්න මගේ මැණිකේ.”

තුන් හිතකවත් නොතිබුණු දෙයක් සුරනිමලගේ ජීවිතේට සිද්ධ වුණේ ඔය විදිහට. ඒ මෙච්චර කල් තමන්ගේ සහෝදරියක් ය කියන තත්වයේ හිටි මනුස්සයාව එක පාරටම තමන්ගේ ඇඹේණි වෙච්චි එක. වැඩි ලස්සනත් නැතත් ලාවට බොල්ලෑ දත් පෙන්නලා හිනා වෙද්දි කාන්ති ලස්සනයි නේද කියලා ඒ වෙලාවෙම සුරනිමලට හිතුණා. එදා ම රෑ, මෙච්චර කල් තනියම නිදා ගෙන හිටි පැදුරු කෙටිය කාන්ති එක්ක බෙදා ගත්ත එකත් , ජීවිතේ මෙතෙක් අත් නොවිඳපු මිහිරියාවක් කාන්ති එක්කම විඳපු එකත් එක හීනයක් වගේ දැනුණත් පාන්දර ජාමේ දි තමන්ගේ ගාවට වෙලා මොකුත් නොදන්න අත දරුවෙක් තරං සනීපෙට නිදා ගෙන ඉන්න මේ මනුස්සයා තමන්ගේ වගකීමක් නේද කියලා සුරනිමලට තදින් ම දැණුනා. “මමත් ගෑණියෙක් ඉන්න මිනිහෙක්”, අද වගේම ආඩම්බර හිනාවක් ඒ පාන්දර ජාමේ තමන්ගේ මූණේ ඇඳෙන්න ඇති කියලා සුරනිමල දන්නවා.

පහුවදා උදේ සුරනිමල නැඟිට්ටේ කලින් දා මැණිකේ කියපු කතාව හිතේ දරාන, අද හෙටම වලව්වේ හෙවණින් තමන්ටත් කාන්තිටත් යන්න වෙන වග සුරනිමලගේ ඔළුවේ හොල්මන් කලා. ඒත් එක්කම යන්නේ කොහෙද කියන ප්‍රශ්නේ තවදුරටත් සුරනිමලගේ හිත මහා දුරකට ගෙනිච්චා, මේකා ගෑණියෙක් හිටියට තාම අවුරුදු විස්සක් නොවෙච්චි හිච්චි එකා වෙච්චි. දවස් දෙකක් යනකං කිසිම උත්තරයක් හම්බුණේ නැති ප්‍රශ්නේ තුන් වැනි දවසේ උදේ ගාලු මහත්තයාගේ කඩේ දි විසඳුණා. උදේ කහට කෝප්පෙන් පස්සේ කඩේ දිහා යනකොටත් කඩේ මිනිස්සු ලොකු කතාවක. පොළොන්නරුවේ අලුත් ගොවි ජනපදේට මිනිස්සු මේ ගමෙනුත් ගෙනියනව ලු, පොළොන්නරුව වන්දනා ගමං වලට කදිම වුණාට මෙලෝ යකෙකුට ජීවත් වෙන්න පුළුවන් තැනක් නෙවේ ලු, සතා සී පාව එක්ක භව බෝග කිසි දෙයක් ඉතිරි වෙන්නේ නෑ ලු, ඔය කියන පළාතේ හොයා ගන්න බැරි ලෙඩ ලු, කැලෑ උණ හැම තැනම ලු. ඔක්කොම ‘ලු’ කතා අහගෙන කඩේ ඇතුලට කොහොම හරි සුරනිමල ඇතුළු වුණා. ආණ්ඩුවේ මහතැන් කෙනෙක් පොඩි කරදහියක් ඉස්කෝතු ටින් තියෙන තට්ටුව යටින් අලවනවා. මළ පොතක අකුරක් නොදන්න සුරනිමල ඒ දිහා බලන් හිටියේ කවුරු හරි ඕක කියවන කං. හරියටම සුරනිමලගේ හිත කියෙව්වා වගේ ගාලු මහත්තයා කරදහියේ තියෙන දේ කියෙව්වා. ඒකෙ තිබුණේ ඒ වෙලාවේ ගමේ අනික් එකාලා කිසි එකෙක් උනන්දු වුණු කාරණයක් නෙවෙයි, පොළොන්නරුව යාය හය ගොවි ජනපදයට මිනිස්සු එක්කාසු කරන දැන්වීම ගැන උනන්දුවක් තිබුණු ගමේ එව්වොත් කඩේ ඉස්සරහ අහපු ලු කතා නිසා පස්ස ගහලා හිටියේ. හැබැයි එල්ලෙන්න පිදුරු ගහක් හරි හොය හොයා හිටි සුරනිමලට මේක මහ අනර්ඝ මොහොතක් වුණා. සෙනඟ අතරින් ආණ්ඩුවේ මහතැන්ට ලං වුණු සුරනිමල “මහත්තයෝ, ඕකට අපටත් එකතු වෙන්න පුළුවන් ද” කියලා ඇහුවා.

ඊලඟට ආවේ සුරනිමල ජීවිතේ විඳපු නරකම අත්දැකීම විඳින මොහොත, සුරනිමලගේ ප්‍රශ්නේ අහගෙන හිටි සියාතු,

“මේං බොල මේ ශ්‍රී ලංකා කාරයටත් අන්තිමට අපේ ලොක්ක ඕනි වෙලා, මුන් ඇන් ඇම් කාරයාගේ බත් බැලයෝ මහත්තයෝ, දෙන්න එපා මුන්ට එක බිං අඟලක්”

සියාතු ගේ ගෝරනාඩුව අහපු ගමේ අනික් එව්වොත් සුරනිමලට හිනා වෙන්න ගත්තා.

“මේ හාදයා දන්න ගොවි කම”

“වලව්වේ පිංබතා”

“මූත් මැරිලා අර රත්නායක නිලමෙගේ හොර ගෑණිගේ ලමයා කාන්තිවත් මරා ගන්න යන්නේ”

“ලැජ්ජා නැති ශ්‍රී ලංකා කාරයෝ, මුන්ට ඔහොම වෙලා මදි”

මේ හැම දේම අහපු සුරනිමල භයටම වෙව්ලන්න ගත්තා. ඒත් එක්කම ආණ්ඩුවේ මහතැන් ගමේ එව්වොන්ට කියපු කතාවක් සුරනිමලගේ ලපටි හිත හැදුවා.

“මේ වගේ ගොවි ජනපද ව්‍යාපාර තියෙන්නේ යූ ඇන් පී, ශ්‍රී ලංකා කියලා බෙදිලා දියුණු කරන්න නෙවෙයි, අතේ පයේ හයිය තියෙන ඕනැම එකෙකුට ගොඩින් අක්කර තුනයි මඩින් දෙකයි දෙනවා. පවුල පිටින් ගොහින් තමන්ගේ කටයුතු කර ගන්න තියෙන්නේ. එහෙ ඉන්නවා වගා මහත්තුරු, හැබයි ගොයියෝ ලැබෙන ඉඩං මායිං කරලා විතරයි තියෙන්නේ, හැබැයි කුඹුරු වල නියර මායිං ලෑස්ති කරලා තියෙන්නේ. වැඩේට කැමති එව්වො ගෙවල් වල ගොහින් මේ ගැන කතා කොරලා හෙට මට නං ගං විස්තර දීපල්ලා. මං හෙටත් මෙතනට මේ වෙලාවටම එනවා’

කඩේ ඉඳල ආපහු රත්නායක වලව්ව දිහාට කොහොම ගියාද කියලා සුරනිමලට මතක තිබුණේ නෑ, දැන් වුණත් මතක වලව්වේ කුස්සි කෑල්ලේ රන් මැණිකත් එක්ක හාතාවාරිය අත්තක් සුද්ද කර කර හිටි කාන්තිට පොළොන්නරුවේ යාය හය ගැන විස්තර කරපු හැටි විතරයි. කතාව අහගෙන හිටි රන් මැණිකා “ඔය කෙලීව මරා ගන්නද යන්නේ” කියලා ඇහුවත් කවදාවත් නැතුව ඔප වැටුණු කාන්තිගේ ඇස් දෙක සුරනිමල ඊලඟ දවසේ ආණ්ඩුවේ මහතැන්ට කියන්න ඕනි මොනවද කියලා කිව්වා.

ඊළඟ දවසේ උදේ වෙනකං කිසි ඉස්පාසුවක් නොතිබුණේ සුරනිමලට විතරක් නෙවෙයි, කාන්තිත් නොසෑහෙන බලාපොරොත්තුවකින් හිටියේ, සමහර විට කාටවත් අත නොපා තමන්ගෙම අලුත් ජීවිතයක් අලුත් ම තැනක පටන් ගන්න පුළුවන් නිසා වෙන්න ඇති. කලින් දා කිසි එකෙක් ලොකු උනන්දුවක් නොපෙන්නුවට මෙන්න බොලේ ගාලු මහත්තයාගේ කඩේ ගාව මහ පෝළිම. ගමේ හිටියට ගමේ එක බිම් අඟලකට හරි හමන් අයිතිවාසිකමක් නොතිබුණු ඈයො ඔක්කොමලාම වගේ අලුත් බලාපොරොත්තුත් එක්ක ආණ්ඩුවේ නියෝජිතයව මුණ ගහෙන්න ඇවිත් තිබුණා.

කොහොමින් කොහොම හරි ජීවිතේ උරුම වෙච්චි පළවෙනි බිම් කඩ හොයාන ඉල් මාසේ දවසක මහ පාන්දර ම සුරනිමල කාන්තිවත් එක්කාසු කරගෙන පොළොන්නරුවේ ගියා. යන්න කලියෙන් මැණිකේටත් ලොකු කල්පනාවක් දැන් නැතත් නිළමේ මහත්තයාටත් වැඳපු සුරනිමල රන්මැණිකේ නැන්දා අතේ මිට මොලවපු කැලෑ උණට රන්මැණිකගේ අතින් ම හදාපු සින්කෝනා කල්කෙ සුරුවමට අර ගත්තා. පොළොන්නරු යන හැමෝටම කැලෑ උණ බෙහෙත් පෙත්තක් දීලා තිබුණත් රන්මැණිකා මේ කල්කේ ගැන ලොකු විස්වාසයක් තියාගෙන හිටියේ, මීට අවුරුදු තිහ හතලිහකට කලින් කැලෑ උණ තදින් ම පැතිරිලා තිබුණු කාලේ, ඒ කියන්නේ රන්මැණිකා රන් තැඹිලි ගෙඩිය වගේ හිටි කාලේ ගමට ආපු වෙදෙක් කියා දුන්නු කල්කේ තමා ඔය. අදටත් සුරනිමල දන්න කියන හැමදෙනාටම කියන්නේ ඔය කල්කේ නොතිබෙන්න සුරනිමලයි කාන්තියි විතරක් නෙවෙයි යාය හය බකමූණ ගමේ කිසි කෙනෙක් ඉතිරි වෙන්නේ නෑ කියල.

යාය හය බකමූණ ගමට ලංගම බස් එකෙන් ආපු සුරනිමල එක පාරටම කාන්තිගේ මූණ දිහා බැලුවා. තාමත් ඒ ඇස් එදා දිලිසුණා වගේ ම තමයි. කාෂ්ටක අව්වත් එක්ක ගුරු පාර දිගේ ඩී ආර් ඕ බංගලාවට අනික් ඈයොත් එක්ක සුරනිමලත් ඇදුණා. එතනදි තමන්ට අයිති ගොඩ ඉඩමත් මඩ ඉඩමත් පෙන්නන්න ආණ්ඩුවේ නියොජිතයෙක් සුරනිමලටත් ලැබුණා. ඒ මිනිහා සුරනිමලගේ ඉඩමට ඇවිත් “උඹටනං මලේ මහ ගල අහු වුණේ” කිව්වට සුරනිමල නෙවෙයි පරල වුණේ. මේ වෙච්ච හැමදේම එක්ක මේ කඩ ඉමත් ජය ගන්න පුළුවන් කියලා සුරනිමලගේ හිතට දැනුණා.

අනික් මිනිස්සු වගේ දහ ගුණයක් මහන්සි වෙන්න සිද්ධ වුණත් සුරනිමලවත් කාන්තිවත් නෙවෙයි දුක් වුණේ. එක අතකින් සුරනිමල රන්මැණිකා නැන්දට පිං දුන්නා මේ වගේ යකඩ ගෑණියෙක් තමන්ගේ ඇඹේණිය කරලා දුන්නට. මහ දවල් නයි පොළොංගු ගේ ඇතුලෙන් වහලෙන් මතු වෙන මේ පොළොවේ තමන්ට හැපෙන්න උදව් කරන මේ ගෑණි ගැන සුරනිමලට ඇති වුණේ එසේ මෙසේ ආදරයක් නෙවෙයි. පළවෙනි කන්න දෙකේ තුනේ අනික් ඈයෝ වී බුසල් දහය පහලොව ගෙට ගද්දි තමන්ට පුළුවන් වුණු වී ගෝනි දෙක තුන ගෙදර ගේද්දි කාන්ති නෙවෙයි ආඩ පාළි කිව්වේ. යායට හිටි වෙල් විදානේ වුණත් හරිම සන්තෝස වුණා මේ දෙන්නාගේ මහන්සිය ගැන. කුඹුරු කෙරිල්ල ගැන මහ දෙයක් නොදැන හිටි සුරනිමලට තාත්තා කෙනෙක් වගේ පිහිට වුණේ මේ වෙල් විදානේ. එකින් එක කන්නේ සුරනිමල තමන්ගේ දෑතේ මහන්සියෙන් ජීවිතේ ගොඩ ගද්දි ඒක ඇහේ කටු අනින්නා වගේ වුණු පිරිසකුත් නොහිටියාම නෙවෙයි. ගොඩක් වෙලාවට අල්ලපු වත්තේ හිටි ගුණදාස මේ අතර මුලින් ම හිටියා. කහගොල්ලෙන් බකමූණ ගමට ඇවිත් හිටි ගුණදාස හැමදේම ගැන කනිපින්දං කියනවා මිසක් ලොකුවට මහන්සි වුණු මනුස්සයෙක් නෙවෙයි. අර කලින් කියපු මහ ගලෙන් පොඩි කොටහක් ගුණදාසගේ වත්ත පැත්තටත් තිබුණා. ගුණදාසට ලැබුණු මඩ ඉඩම යාය හය බකමූණ ගමේ තිබුණු හොඳම කොටහ වුණාට ගුණදාස කිව්වෙම අර ගොඩ ඉඩමේ තිබුණු පරහ ගැන. ගලෙන් ලොකුම කොටහ තිබුණු සුරනිමල ඒ ඉඩමේ ප්‍රාතිහාර්‍ය පෙන්නද්දි ගුණදාසට ඉවසන්න ටිකක් අමාරු වුණා. ඒකට හරියන්න ගුණදාසගේ ඇඹේණිත් හිටියා. ටික දොහක් යද්දි වත්ත මායිමේ ඉනි ඇවිදින්නත්, භව බෝග අතුරුදන් වෙන්නත් ගත්තා. ඒ මදිවට සුරනිමලගේ කුඹුරු කෑල්ලේ හවසට බඳින වක්කඩ උදේ යද්දි කඩලා දාලා නැත්තං හවසට අරින වක්කඩට උදේට වහලා. කරල් පීදෙන කාලේට කරල් කපලා, හරක් දක්කලා. මේ හැමදේම මැදහත් හිතින් ඉවසන්න සුරනිමල ටිකින් ටික පුරුදු වුණා. ගුණදාස නාහෙට නාහන එකා වෙච්චි.

යාය හය බකමූණ ගමෙන් වී බුසල් ගණන් මතු වෙද්දි සුරනිමලලා නොදන්න බොහෝ මිනිස්සු ගමට ආව ගියා, රට තෙල් බෙහෙත් ගැන ආණ්ඩුවේ මහත්තුරු එක්ක ආපු කලිසං ඇඳපු ඈයො සුරනිමලලාව දැනුවත් කොරා. කඩේ වෑර්ලැස් එකෙත් එව්වා ගැනම විස්තර කලේ. අල්ලක් වවා මල්ලක් ගන්න එකම ක්‍රමේ මේ තෙල් බෙහෙත් කියලයි ආපු උදවිය කිව්වේ. කූඩිත්තො, කීඩෑවෝ, මැස්සෝ එකී මෙකී ඔක්කොම ගොයමට වින කටින පොඩි ලොකු සත්තු නැත්තටම නැති වෙනවා කිව්වම යායේ ගොඩක් දෙනා ඒ බෙහෙත් වලට ඇදුණා. ගුණදාස වගේ ඈයෝ හරිම කැමැත්තෙන් මේ ක්‍රමේට පුරුදු වුණේ ඉස්සර වගේ වැඩි මහන්සියක් ගන්න ඕනි නැති නිසා. හැබැයි වෙල් විදානේගේ ලොකු කැමත්තක් තිබුණේ නෑ මේ විපර්යාසෙට. සුරනිමලත් තනියම හිතුවේ පොඩි සත්තු ඔය කියන විදිහට මැරෙනවා නං එව්වට තමං වගේ පොඩි මිනිස්සු මරන්නත් පුළුවන්නේ කියලා. හැබෑවටම ඒ කන්නේ අස්වැන්න දෙගුණ වුණා, කැලෑ උණ ආයෙමත් ඔළුව උස්සන කාලේ වුණත් මිනිස්සුන්ගේ සතුට දෙගුණ වෙලා තිබුණේ අස්වැන්න නිසා. ගුණදාස වගේ මිනිස්සු කඩපිලේ කිව්වෙම රට තෙල් බෙහෙත් වල වරුණේ.

රට තෙල් වලට ඉල්ලුම වැඩි වෙද්දි ඒවයේ ගානත් ඒ හැටියෙන් ම වැඩි වුණා. ගුණදාස නං හන්දියේ මුදලාලිගෙන් ණයට ඔක්කොම තෙල් බෙහෙත් ගත්තා ඊලඟ කන්නේ කරන්න. මොකද ගුණදාසට අනුව අස්වැන්න දෙගුණ වෙලා හම්බෙද්දි ණය වල පොළියත් එක්කම එක පාර ගෙවන්න පුළුවන්. කලින් කන්නේ වෙල් විදානෙයි සුරනිමලයි රට තෙල් බෙහෙත් පාවිච්චි නොකරයින් වුණේ මෙච්චර කල් කෙම් ක්‍රම වලින් ආං බාං කරන් හිටිය මැස්සො කීඩෑවො බුරුතු පිටින් වෙල් විදානේගෙයි සුරනිමලගෙයි කුඹුරු වලට ආපු එක. ඒ නිසා මේ කන්නේ රට තෙල් වඩියක් වෑයං කරන්න දෙන්න ම කතා වෙලා හිටියේ. ඔය කාලේ වෙද්දි කාන්ති හිටියේ ලොකු එකා ලැබෙන්න බඩින්. දරු පටියාගේ මූණ බලන්න ඇඟිලි ගැන ගැන හිටි සුරනිමලත් කාන්තිත් මේ කන්නේ කුඹුරු සරු කරගන්න කොහොමත් ලොකු බලාපොරොත්තුවෙන් හිටියේ.

මේ ඔක්කොම වෙද්දි යාය හය බකමූණ ගමට පෙරේත බැල්මක් වැටුණා වගේ කැලෑ උණ වසංගතයක් වගේ ආවා. මෙච්චර කල් මහ බලාපොරොත්තු වලින් වැඩ කරගෙන හිටි උදවිය එකා දෙන්නා ලෙඩ ඇඳට වැටුණා. කුණු ඉන්ස්පැට්ටර් මහත්තුරු පුටු පුටු ගගා මෝටර් බයිසිකල් වලින් ගම පුරා කරක් ගහන්න ගත්ත කාලේ. එක පාරටම වෙච්චි මේ සංතෑසිය නිසා කුණු ඉන්ස්පැට්ටර් මහත්තුරුන්ටත් කරන කියන දේ අමාරු වුණු කාලේ. කොහොමින් කොහොම හරි ඩිස්පැන්සරියේ කැළෑ උණ බෙහෙත් අඩු වුණා, කොටින්ම ඩිස්පැන්සරියට අළුතෙන් ආපු දොස්තර මහත්තයත් කැලෑ උණේට අහු වුණා. ඩිස්පන්සරියේ බෙහෙත් නෑ කියපු දා ඉඳලා බකමූණ ගමට දවසකට දෙකකට හරි පිහිටට හිටියේ සුරනිමල. රන්මැණිකා මිට මොලවාපු කල්ක වලින් ගුලි දෙකක් සුරනිමල බඩින් ඉන්න කාන්තිට තියාගෙන ඉතිරි ටික ගමේ එකාලට දුන්නේ කිසිම ලෝභ කමක් නැතුව.

ඉස්සෙල්ලම ගුණදාසටයි පවුලේ උදවියටයි කැලෑ උණෙන් අමාරුයි කියලා පයිණ්ඩේ ගෙනාවේ සුගතං, ගුණදාසගේ අති ජාත මිත්‍රයා, එකට රා කට්ටක් ගහන මිනිහා , යායෙ අනික් එව්වොන්ගේ වක්කඩවල් හොරෙන් කඩන්න ගුණදාසේ තනියට යන මිනිහා, හොරෙන් කරල් කපන එකා, හරක් හොරකමේ යන මිනිහා. වෙනදාට සුරනිමලව මුලිච්චි වුණාම ශ්‍රී ලංකා කාරයා, වෙල් විදානෙගේ බත් බැලයා වගේ අනං මනං සුරනිමලට කියපු එකා, අද “සුරනිමල මලයෝ” කියාගෙන දුවගෙන එද්දි සුරනිමල හිටියේ ඇල පාරේ උදැල්ල හෝදන ගමන්. ඒ ගමන්ම දණි පණි ගාලා ගුණදාසගේ ගෙදර යන්න ලෑස්ති වුණත් වදන්න ඔන්න මෙන්න තියෙන බඩත් උස්සගෙන ආපු කාන්ති අතේ තිබුණු තද දුඹුරු පාටට හුරු කැලෑ උණ කල්ක දෙක සුරනිමලගේ අතේ තිබ්බා. සුරනිමල ගුණදාසගේ ගෙදර යද්දිත් ගුණදාසගේ අවුරුදු පහක් වෙච්චි පොඩි එකා මියෑදිලා. උණ මරගාතේ ගුණදාසගේ ඇඹේණි වැලපෙනවා. ගුණදාස ඇඳෙන් නැඟිට ගන්න බැරුව ඇස් දෙකේ කඳුලු පෙරා ගෙන බලාන ඉන්නවා. මුළු ගෙදරම මහ මුස්පේන්තු ගඳයි, පොඩි එකා අන්තිම වතාවට දාපු කොළ පාට වමනේ ටික පැදුර අයිනේ. කැලෑ උණ කල්ක දෙක ගුණදාසටත් ගුණදාසගේ ඇඹේනිටයි දෙහි ඇබිත්තක් එක්ක කටේ තියලා බිම පැදුරේ දරදඬු වෙලා හිටි පොඩි එකාගේ ඇරිලා තිබුණු ඇස් දෙක පියෙව්වා. සුරවිමලට මොන හතුරුකං කරලා තිබුණත් මේ වෙලාවේ ගුණදාසට හිටියේ සුරනිමල විතරයි, වෙල් විදානෙටයි කුණු ඉන්ස්පැට්ටර් මහත්තයටයි පයිණ්ඩේ කියන්න යවන්න සුගතංව හොයද්දිත් ඒකා ගොහින්. පස්සේ ආරංචි වුණේ, කැලෑ උණ ඌටත් බෝ වෙයි කියන බයට පස්ස නොබලා ගෙදර දුවල කියලා. කෙරෙන්න ඕනි වැඩ ඔක්කොම වැඩ ටික කරලා හවස් කොරේ සුරනිමල තමන්ගේ ගෙදරට ගියේ වේදනාවකින්, කැලෑ උණ තමන්ගේ ගෙට එහා පැත්තේ තියෙන මේ වෙලේ තමන්ගේ අතේ ආරස්සාවට මෙච්චරකල් තිබුණු කල්කෙත් නැති වෙච්චි. කෝකටත් වත්තේ කොනේ ළිඳෙන් වතුර දෙකක් හලා ගෙන ම සුරනිමල ගේ ඇතුලට ගියා.

ගෙට ඇතුල් වෙද්දිම දැක්ක දෙයින් සුරනිමලට කෑගැස්සුනා, කාන්ති කුස්සි කෑල්ලේ බිම වැටිලා, නලල ලෙයින් නෑවිලා, ඒ මදිවට ඇඳන් හිටි චීත්ත කෑල්ල ලෙයින් පෙඟිලා. කෑගහගෙන ම කාන්තිව කරට ගත්තු සුරනිමල ඩිස්පැන්සරිය දිහාවට දිව්වා, අදටත් මිනිස්සු කතා වෙනවා සුරනිමල දුවපු විදිහ. උණෙන් වැහැරිලා හිටියත් ඩිස්පැන්සරියේ දොස්තර මහත්තයා එහෙම්මම කාන්තිව වදන වාට්ටුවට ගත්තා. පෑ තුනක් විතර වුණු තැන දොස්තර මහත්තයා එලියට ආවේ පොඩි හිනාවකුත් එක්ක. ඇවිත්,

“පොඩි එකා ගලේ ගහලවත් මරන්න බෑ සුරනිමල, දෙන්නම අමාරු තත්වෙන් මිදුණා, තව විනාඩි දෙකක් ප්‍රමාද වුණානං අම්මත් දරුවත් සුරනිමලට නැති වෙනවා. මං හිතන්නේ සුරනිමල එතනට යන්න විනාඩි දෙක තුනකට කලියෙන් තමා කාන්ති වැටිලා තියෙන්නේ. පෙර පිනකට තමයි හැමදේම වුණේ, දැන් දෙන්නව ටික කාලයක් යනකං පරිස්සං කරන්නයි තියෙන්නේ. කැලෑ උණ එහෙම කාන්තිට හැදුණොත් මේ වෙලාවේ බේරන්න අමාරුයි.”

ලඟින් හිටි වෙල් විදානේ කිව්වේ,

“පෙර පිං කියන්නේ දොස්තර මහත්තයෝ මේ මනුස්සයා ඔය සිද්ධිය වෙන වෙලෙත් අල්ලපු ගෙදර මිනිස්සු කැලෑ උණෙන් බේර ගන්න ගමන් ඉන්න ඇත්තේ’

කිරි කැටියව අතට අරං සුරනිමල කාන්ති දිහා බැලුවා, මෙච්චර හරියක් වෙලත් කාන්තිගේ ඇස් වල අර දීප්තිය එහෙම්මමයි. එදා සිද්ධියෙන් පස්සේ ටික දොහක් කාන්ති පොඩි එකත් එක්කම ඩිස්පැන්සරියේ තිබුණු වාට්ටු දෙකින් එකක හිටියා.

ඊට මාස තුනකට විතර පස්සේ කැලෑ උණ වසංගතේ යාය හය බකමූණ ගමෙන් තොලොංජි වෙලා ගියා, හැබැයි මුළු ගමම පාළු කර ගෙන. මරණයක් නොවුණු ගෙදරක් නොතිබුණු තරං. වගා පාළු වෙලා, මිනිස්සු අසරණ වෙලා හිටියේ. උණ හැදුණු බොහෝමයක් ඈයන්ට ලොකුවට ගොයිතැන් බත් කරන්න හයියක් තිබුණේ නෑ. ඒ අස්සේ ණයට කුඹුරු කරපු ඈයො ලොකු කරදරේක හිටියේ, අස්සැන්න පාළු වෙලා නිසා ණය වැඩි උණා මිසක්කා හිතට නිදහසක් තිබුණේ නෑ. රට තෙල් බෙහෙත් වලට අපිව මරන්නත් පුළුවන් නේද කියලා සුරවිමලට හිතුණු එක ඔප්පු වුණා, ඒ ණය කන්දරාව දරාගන්න බැරුව ගුණදාස මැහි තෙල් බීලා දිවි නහගත්ත වෙලේ.

යායෙ ජීවිතේට පදං නොවුණු ගුණදාසගේ ඇඹේණි, ගුණදාසගේ තුං මාසේ දානෙන් පස්සේ කහගොල්ලටම ගියා. වෙල් විදානෙගේ රෙකමදාරුවෙන් ගුණදාසගේ ගොඩ ඉඩමෙත් මඩ ඉඩමෙත් සින්න නොවී ඉතිරි වුණු කොටහ සුරනිමල බද්දට අරං ගොවිතැන් කලා.

ඔය ඔක්කොම සිද්ධි වෙලා අවුරුදු පහලොවකට පස්සේ අද සුරනිමල යායේ හොඳම ගොවියා සම්මානේ ඩී ආර් ඕ මහත්තයාගේ අතින් ගත්තා. හවස් කොරේ කාන්තිත් එක්කම කුඹුරට ගිය සුරනිමලට තවත් සතුටු හිතුනේ වගා මහත්තයා එක්ක කතා කරගෙන පටං ගත්තු පාරම්පරික වී වර්ග වගාවේ පළවෙනි අස්වැන්න ගන්න කාලේ හරි කියලා වැටහුණු වෙලේ. කුස්සි කෑල්ලේ වැඩ අහවර කරලා තමන් දිහාවට හැරුණු කාන්ති දිහා සුරනිමල ආයෙමත් බැලුවා, කාලයත් එක්ක අත පය පොඩ්ඩක් වැහැරිලා තිබුණත් එදා වගේම ඒ ඇස් වල දීප්තිය එහෙමමයි.

මේ තියෙන්නේ මට මේ කතාව ලියන්න හිතුණු පින්තූරේ, AyshMarQ ගේ තෙවැනි ඇහැට අහුවෙච්ච අපූරු පින්තූරයක් තමයි මේ.
One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.