“අම්මා”

අපේ නිවසින් මගේ ජංගම දුරකතනයට දුරකතන ඇමතුමක් ලැබෙන හැම මොහොතකම මගේ සිත සලිත වී යයි.

වතාවන් කිහිපයකදී මම එය රී-නේම් කිරීමට සිතු නමුත් තවමත් මට එයට සිත් නොදෙයි.අම්මා ජීවතුන් අතර නොමැති බව මගේ මනස තවම විශ්වාස නොකරයි.

අවසන් ඔක්තෝබර් පහලොස්වෙනිදා මගේ අම්මා රාගම මහරෝහලේදී අප සැම හැරදා ගියේ අප සියල්ලන්ගේම ජීවිතවලට නැවත පිරවිය නොහැකිවූ හිස්කමක් ඉතිරි කරමිනි.

අදටත් මම අපේ අම්මාගේ අතේ එල්ලී අම්පාර උහන කනිටු විදුහලට ගිය හැටි මට සිහිනයක් මෙන් මැවී පෙනෙයි.පාසල් යනවිට මම මොකක් හෝ කඩචෝරුවක් ඉල්ලූ බවක් හා ඒ හා සම්බන්ද සිදුවීමක් මගේ යටි සිතේ තැන්පත් වී තිබේ.ඒ මතකයන් අතරේ පාසලේ ගුරුවරියකගේ ආදාහනෝත්සවයක්ද, ඒ සදහා සැකසූ සුදු පැහැ චිතකයක්ද යාන්තමට මගේ මතකයේ වෙයි. අම්පාරේ අප නිවස අසල පදිංචිව සිටි මට වැඩිමහල්වූ සිසුවෙකුගේ අවමඟුල් උත්සවයකට සහභාගී වූ අවස්තාවක, අපේ අම්මා එම ලමයා මිය ගියේ බත් කෑමට තිබූ අකමැත්ත නිසා බවත්,මා හොදට බත් කෑ යුතු බවත් පැවසූ සිද්දියක් එවකට බත් අපෝ වී සිටි මගේ මතකයේ වෙයි.

බුරියානු නම් වූ කෑමවර්ගයක් පිලිබද හාන්කවිසියක්වත් නොදන්නා කාලයක පාසලේ උත්සවයකදී තමන්ට ලැබුනු බත්පත ඔතාගෙන ගෙදර ගෙනවුත් නංගීට සහ මට එහිවූ බිත්තර සහ මස් අනා කැවූ ඇගේ ආදරය ගැන තවත් උපමා කුමටදැයි මට සිතේ.

ඇගේ ආදරය එසේ වූවත් උපතින්ම මුරන්ඩු දරුවකුවූ මා තුල අම්මා කෙරෙහිවූ අසීමිත සෙනෙහස ඇය මියයනතෙක් මට ඈ වෙත දැක්වීමට නොහැකිතරම් මා දුර්වල හා අවාසනාවන්ත දරුවෙකු වීමි. උසස්පෙල සමත්ව විරැකියාවෙන් පෙලෙමින් මා තුල ජනිතවූ තරුණ ආවේගයන්වලට විටෙක සෘජුව බදුන් වූයේ මගේ අසරන අම්මාය. වෙනකක් තබා ඈ මියයනතෙක් ඇගේ අවිහින්සක ආයාචනයක් ලෙස මගෙන් වරින්වර ඉල්ලාසිටි විවාහ පින්තුරයවත් ඇය වෙත ගෙනගොස් දීමට නොහැකිවූ මා ඉතා අවාසනාවන්තයකු වීමි.ඉදින් දැන් එය මා කාටනම් ගෙනගොස් දෙන්නෙම්ද.

අපේ අම්මාගෙ ජීවිත කතාව ආවර්ජනය කලොත්,ඇය දරුවන් හා සැමියා වෙනුවෙන් අසීමිතව තම සුඛවිහරනයන් කැප කල උතුම් කාන්තාවක් වූවාය.අවසන් දිනකිහිපයේදී තම අක්මාව තුලින් රුධිරය වහනය වීමෙන් ඇතිවන වේදනාව දරාගෙන “ලොකු පුතේ උබේ ඔලුවේ කැක්කුමට හොද ඩොක්ට කෙනෙකුට පෙන්නලා බෙහෙත් ගනින්” යැයි කීමට තරම් ඇය තම දරුවන් ගැන වද වූවාය.

අම්පාර වැනි ත්‍රස්තවාදී කලබලවලින් පිරුනු දුශ්කර ප්‍රදේශයන්ගේ පටන් මාතලේ පොලොන්නරුව ආදී අති දුශ්කර පෙදෙස්වල පවා දරුවන්ගේ නුවනැස පෑදූ ඇයගේ ගෝල පරපුර මෙතෙකැයි කීමට තරම් නිච්චියක් ඇයටද නොවූ මුත් ඒ වෙනුවෙන් ඈ විදි දුක් කම්කටොලු මෙතෙකැයි කියා නිම කල නොහැක.

අරන්තලාව ස්වාමීන් වහන්සේලා ඝාතනය වූ මොහොතේ මෙන්ම යාබද නිවසේ සුමති අංකල් එලෙසම ත්‍රස්තවාදීන් විසින් වෙඩිතබා ඝාතනයට ලක්වූ නිමේශයේදීත් අම්මාගේ සුලැගිල්ලේ එල්ලි ඔවුනට අවසන් ගෞරව දැක්වීමට ගිය අයුරුත්,ගෙවෙන්නාවූ සෑම දවසකම රාත්‍රියේ පන ගැහෙමින්,ඇසෙන්නාවූ වෙඩි හඩ මැද අප්පච්චී අරන්තලාව පසුකරමින් ගෙදර එනතුරු නංගී හා මා තුරුලුකරගනිමින් එක ඇදේ ගුලි වී සිටි ඒ දුක්බර කාලසීමාව ස්මරනය වන මොහොතක් පාසා මගේ දෙනෙතින් උනුසුම් කදුලුබිදු රූරා හැලෙයි.

වතාවක අප අම්පාරේ සිට පොලොන්නරුව බලා ගමන්කරමින් සිටියදී ඉදිරියෙන් ගමන් ගත් බසය වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාව ඉදිරිපස බිම් බෝම්බයකට අසුව එහි සිටි සියලුදෙනා මරනයට පත්වූ මොහොතේ අප තිදෙනා වැලදගෙන අසරනවූ වැලහින්නක මෙන් කදුලු සැලූ ඒ අතීතය කෙසේනම් මා අමතක කරන්නද.

මෙවන් දුක්කම්කටොලු වලින් නොසැලුනු ඇය ස්ථාන මාරුවක් සකසාගෙන අප තිදෙනාවත් කැටුව කොටි කටේ සිට තනිවම මාතලේ අති දුශ්කර පාසලකට පැමිනියේ ඒවනවිටත් අප්පච්චීගේ මාරුවීම අනුමතවී නොතිබුනු නිසාවෙනි.මාවත් නංගීවත් පාසල් නේවාසිකාගාරයේ නැවැත්වූ ඇය මහ කැලයක් මැද කාමර දෙකකින් යුක්තවූ තාවකාලික නිවසේ සිට එක වසරේ උන් මල්ලියාවත් වඩාගෙන කිලෝමිටර හයක් පමන වූ කටුක මාර්ගයන් ඔස්සේ උදේ සවස අසරන දරුවන්ගේ ඇස් ඇරවන්නට පාසල් ගියාය.

මාසයකට වරක් තිබෙන අහල පහල තිබෙන පලවැල සියල්ල බඩබැදගෙන, නානාප්‍රකාර වූ කෑම වර්ග සකසාගෙන මාව බලන්නට රැන්ඩ්ල්හිල් කන්දේ මල්ල බිමතබමින්, හතිඅරිමින් පඩිපෙල නගින අපේ අම්මාගේ රුව මට දැනුදු මැවි මැවී පෙනෙයි.

නේවාසිකාගාරයේදී අම්මාගෙන් සමුගන්නා මොහොතේ ඇඩුම නවත්වන්නට පාසල ඉදිරිපිටවූ සමරකෝන්ස් එකට ගොස් යෝගට් අරන් දුන් අපේ අම්මා එක් වතාවක මා නුවරට කැදවාගෙන ගොසින් පේරාදෙනිය බසයකට නංවා මා නියමිත තැනින් බසිනවාදැයි බැලීමට ඊලග බසයේ මට නොපෙනෙන්නට නැවත පාසලට ආ බව මා දැනගත්තේද එම සිදුවීමට අවුරුදු හත අටකට පසුවය.

එලෙසම පැපොල රෝගය වැලදී නේවාසිකාගාරයේ අසාධ්‍යව සිටි මා, කුලියට ගත් කාරයකින් මාතලේ රැගෙන ආ අයුරුත් කොහොබ කොල සොයමින් ගම පුරා ඇවිද්ද ඇය උදේ පාන්දර අන් අයට නොපෙනෙන්නට මා නාවන්නට ගල් පීල්ලට එක්කන් ගියාය.හිරිගඩු පිපෙන ඝන ශීතලේ එදා මට දැනුන මුස්පේන්තු කාලකන්නි හැගීමම අද මා රිදවනු අයුරු මට පසක් වේ.

දේශපාලන කලබල බහුලවූ කාලයක පාසල් නිවාඩුවට ට්‍රන්ක පෙට්ටියත් කර තබාගෙන පන ගැහෙමින් කිලෝමීටර් දහයක් පමනවූ මාතලේ බන්ඩාරපොල මාර්ගයේ පයින් ආ හැටිත්, අලුගෝසුවන්ට නොපෙනෙන්නට අප කුලියට ගෙන සිටි නිවසේ සැගවූ සැටිත් සිහිවන වාරයක් පාසා එවන් වූ ආදරක් අම්මා කෙනෙකුගෙන් මිස මේ මිහිපිට කොහි නම් තිබිය හැකිවේදයැයි මට හැගේ.

ඇය දරුවන් සතුටුවනු දැක සතුටුවූවා මිස මගේ මතකයේ හැටියට අලුවිහාරය,දබුල්ල හා ශ්‍රීමහබෝසමිඳුන් හැරෙන්නට ගිය වෙනත් විනෝදචාරිකාවක් මගේ මතකයේ නොවෙයි.ඉන්දියාවේ ගොස් බුදුන් වැඩි තැන් නැමදීමට යාමට මා කල ඇරයුම ප්‍රතික්ශේප කලමුත් ඇය නංගීගේ උපාඩි ප්‍රදානෝත්සවයට තායිලන්තයට යෑමට වාසනාවන්ත විය.

ජීවිතයේ අවසන් සමයේ මහනුවර ඔසු සල ඉදිරිපිට මාර්ගයේ ඉතා අපහසුවෙන් ඇවිද යන ඇය මගේ පුංචි අම්මාට කියූ වදනක් මගේ හද විටින් විට පාරවයි. “මැනිකේ මම මේ පාරේ කොයිතරම් නම් වාරයක් කෑම මලු බඩ බැදගෙන් එන්න ඇතිද” එය මතක්වන වාරයක් පාසා මට මා ගැනම ඇතිවන්නේ බලවත් කලකිරීමකි. යාන්ත්‍රිකකරනය වූ සමාජ ක්‍රමයක අනිකා පරයමින් දුවනවා හැරෙන්නට තමා හැදූ වැඩූ දෙමව්පියන් අසරන වන මොහොතේ පවා ඔවුන් වෙනුවෙන් එක් දවසක් වැය කරන්නට නොහැකි වන තරමටම අප ජීවිත සංකීර්ණ වූ සැටි.

අම්මාගේ දුක් කම්කටොලු එතෙකින් නිමා නොවීය.අප තිදෙනාව පාසල් නේවාසිකාගාරවල නවත්වා සිප් සතර හැදෑරීමට සැලැස්වූ ඇය ඊලගට තෝරාගත්තේ පොලොන්නරුව නම් වූ කර්කශ භූමියයි.

එවක් වනවිට අපසතුව නිවසක් තබා ඉඩම් කැබැල්ලක්වත් නොතිබුනු අතර අති දුෂ්කරවූ ජබුරේවල නම් වූ ගමේ මිලදීගත් ගොඩ ඉඩමක් හා මඩ ඉඩමක දහඩිය හෙලමින් අප්පච්චී හා එක්ව ඇය අපට නුවනැස පාදන්නට රන් කාසි සෙව්වාය. දවස තිස්සේ අසරණ දුප්පත් දරුවන්ගේ ඇස් පෑදීමට උගුර ලේ රස වනතුරු කෑ ගැසූ ඇය සවසට චූටි මල්ලියාත් කැටුව ලූනු මිරිස් වැව්වාය.අවුරුදු කාලයට අපගේ වී මෝලේ හරි හරියට මා හා වී කෙටුවාය.

කුබුරු වැඩ කාලයට මාලු වෙලෙන්දාගෙන් මිලදි ගත් වැව් මාලු රසට උයාගෙන ඇබුල ගෙන එන අම්මාගේ මාලු හොද්දෙ රස නැවත එක් වරක් විදින්නට ඇතිනම් කියා මට හැගේ.

දර කඩන්නට වස්ගමුව කැලයට ගොසින් දන්,හිබුටු කඩා දුන්, පිදුරු ගොඩේ හැදුන කුකුල් බඩවැල් නම් වූ බිම්මල් රසට උයා දුන්,තරු නෙල්ලි පැනිත් සමග උනුකර අපට කන්නට දුන්,නැවත දරුවන් ගෙදර එන තෙක් මාසගනන් පැරනි කෑම වර්ග ශීතකරනයේ ගොඩගසාගෙන උන් අපේ අම්මා සිහිවනවිට මට නිරායාසයෙන් සිතට නැගෙන ගීතයකි.

කදුලු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා ……සුසුම් හෙලා ගිනිදලු ගෙන ලිප මොලවන අම්මා…..වෙල් දෙනිවල ඇවිද ගොසින් වෙරලු ගෙනැත් අම්මා…ඉනි වැට ලග බලා ඉදී අපි එනතුරු අම්මා

ඇයගේ ආදරය තම දරුවන්ගෙන් නිමා නොවුනු එකක් වූ අතර ඇගේ පුන්චි මිනිපිරියන් දෙදෙනා වෙනුවෙන් අවසන් කාලයේ කලාවූ කැපකිරීම් මියයන්නට දින තුනකට කලින් මගේ දියනියට කියූ වදනකින් මොනවට පිලිබිඹු වේ.

“සනුති ඔයාගෙ බැංකු පොතට මට මාස හයකින් සල්ලි දාන්න බැරි උනා,මම සනීපවෙලා ආපුගමන් ඒ සල්ලි ටික දාන්නං,ඔයා හොදට චිත්‍ර අදින්න”. ගෙදර පැමිනි මගේ පුංචි දියනිය සනීපවී පැමිනෙන අත්තම්මාට ඇගේ කාමරය සැකසුවාය.වෙන්දා කරන්නාක් මෙන් ඇගේ බෙහෙත් වේල තෝරා දෙන්නට සැදී පැහැදී සිටියාය.

මගේ දියනිය මහනුවර රෝහලේදී උපතලද මොහොතේ ඇයගේ පලමු මිනිපිරිය දැකීමේ සතුට දරාගත්නොහී,ඇයව සිපගන්නට ගොසින් හෙදියකගෙන් හොද හැටි බැනුම් අසා කදුලු වගුරවා ඇඩූහැටි මා ඉදිරියේ නැවත නැවටත් මැවි මැවී පෙනෙයි.

අසනීපව අතපය වාරු නැතිමුත් මගේ නැගනියගේ පුන්චි දියනියගේ කැත කුනු අතගාමින් ඇය රැකබලාගන්නට ඇය කල කැපකිරීමට කෙසේනම් අප නය ගෙවන්නද.

වාරු නැතිමුත් මිනිපිරියන් දෙදෙනාට කොකිස් තනන්නට පෝරනුව මතට නැගි ඈ සින්ක් එක මත අත් දෙක තබාගෙන ඔවුනට රසකැවිලි සෑදුවාය.අලව්වේ සිට රාත්‍රියේ අප පොලොන්නරුවේ නිවසට එන තෙක් ඇගිලි ගනිමින් බලා සිටි ඇයගේ මුහුනේ ඔවුන් දෙදෙනා දුටු විට වූ ඇතිවූ ප්‍රීතිමත්බව මෙතෙකැයි කියා නිමකල නොහැකි විය.ඉදින් ඔවුන් එනතෙක් මගබලා ඉන්නට පැය භාගයෙන් භාගයට කෝල් කරන්නට තවදුරටත් ඔවුනගේ පොලොන්නරුවේ අත්තම්මා ජීවතුන් අතර නොමැතිබව මගේ නැගනියගේ දුවට තවම නොවැටහෙයි.

කොහෙන්හෝ සොයාගත් මගේ දියනියගේ පින්තූරයක් ලස්සන පින්තූර රාමුවක අමුනා සාලයේ තබා තම පලමු මිනිපිරියගේ රුව දකිමින් ඇය නිතර සතුටු වූවාය.

එවන් වූ අසීමිත ආදරයක් කරුනාවක් අපට විහිදූ ඇය අවසානයේ ඉතා දරුනු ලෙස අසනීප වූවාය.ඇග පතේ වාරු නැතිමුත් හිතේ වීරියෙන් අවසන් වරට පොලොන්නරුවේ සිට අලව්වේ පිහිටි අපේ නිවසට පැමිනි ඈ “ආය මට මෙහේ එන්න වෙන එකක් නෑ ලොකු පුතේ” පැවසුවත්,ඇගේ සිරුරේ දරුනු අසනීපයක් ඇති බවක් මට හෝ අපේ පවුලේ කිසිවෙකුටත් නොහැගුනේ මන්ද යන්න මට අද වනතෙක් ඇති පැනයකි.

අඩික දියවැඩියාව නිසා අක්මාව දුර්වලවී සීරෝසිස් තත්වයේ සිටියදීම ඇය කොදුඇටපෙලේ ශල්‍යකර්මයකට නියමවූ අතර එය සාර්ථකව නිමවීමෙන් පසුව මහ රෝහලේදී ක්‍රමක්‍රමයෙන් සුවය ලබමින් සිටියාය.

කොදුනාරටියේ ශල්‍යකර්මවලින් පසු අන් රෝගීන් ඇදෙන් නැගිටුවා ඇවිද්දවන්නට උත්සාහ කරනු ඇය උපේක්ශාවෙන් බලා සිටියේ ඇයට ඇවිදින්නට එන අවස්තාව කෙදිනක ලගාවේදැයි පුලපුලා බලා සිටිමිනි.ඇයව බලන්නට අප රෝහලට ගිය වාරයක් පාසා වාට්ටුවේ සියල්ලන් පුදුමයට පත්කරමින් ඇය අප බදා සිපවැලද ගත්තේ පුදුමාකාර අසරනබවක් දෑස් දෙකේ රදවාගෙනයැයි මට සිතේ.

වාට්ටුවේ උදෑසන සහ සවසට පූජාකිරීමට ගෙන එන මල් වට්ටිය මහත් භක්තියෙන්‍ යුතුව සාදුකාර දී පින් අනුමෝදන් කරගත් ඇය නිසැකවම සිල් දවසේ ගමේ පන්සලේ අසරන නූගත් උපාසිකාවන් වටකරගෙන කියූ බන කතා සිහිකරන්නට ඇත.දානය වැරදී අසරනවූ පන්සලේ හාමුදුරුවන්ට තම බත් පත බෙදාදුන් පින සිහිකරන්නට ඇත.

එවන්වූ දහසක් බලාපොරොත්තු හිතේ තදකරගෙන උන් ඈ ප්‍රතිකාර ලබමින් වූ සයනයේම සියලු බලාපොරොත්‍තු විශ්වයට එක් කරමින් අපගෙන් වෙන්වීමට සිදුවේයැයි සිහිනයකින් වත් නොසිතන්නට ඇත.

අවාසනාවකට මෙන් ඇගේ සිරුරේ සැගවී උන් මාරයා ටික ටික හිස ඔසවන්නට විය.කොදුනාරටියයේ ශල්‍යකර්මයත් සමගම ඇයගේ අක්මාවේ සීරෝසිස් තත්වය උග්‍ර වන්නට වූ අතර අක්මාවෙන් රුධිරය වහනය වන්නට විය..අම්මා සිරුරෙන් නැගෙන වේදනාවෙන් කෑගසා අඩද්දී වෛද්‍යවරුන්ගේ තීරනය වූයේ ඇගේ කොදුනාරටියයේ ශල්‍යකර්මය අවසන් බැවින් ඇයව කොලබ මහරෝහලින් රාගම මහරෝහලට මාරුකර යැවීමටය.

වේදනාත්මක කෑගැසිලි හඩ මැද්දේ දින තුනක් පමන ගෙවී ගියේය,අම්මාව රාගමට ගෙනයාමට ගිලන් රතයක් පෙනෙන තෙක් මානයේවත් නැත.මට බෑ ලොකූ,බෑ,බෑ,බෑ අම්මාගේ වේදනාව අප කෙසේනම් දරා ගන්නද….

අවසානයේ රෝහලේ අනුමැතියෙන් පුද්ගලික ගිලන් රියකින් අම්මාව රාගමට ගෙනයාමට අප තීරනය කලෙමු.ලහි ලහියේ නිවාඩුවක් දැමූ මම එම ආයතනයට කතාකොට හැකි ඉක්මනින් මහ රෝහල වෙත යනවිට ඇය සිටියේ කතාකරන්නට පවා නොහැකි තත්වයකයි. ලොකු ටියුලිප් මලු දෙකකට පිරවිය හැකි තරම්වූ වෛද්‍ය වාර්තා මිටියත් අතින් ගෙන අම්මාගේ ටිකට් කපාගෙන එනවිට ඇයට බීමට දුන් පෙනඩෝල් පෙත්ත හා නිල් පැහැතිවූ පෙත්ත වතුරත් සමග නැවත කටින් එලියට ආවේ වතුරේ ගිලුනු බෝලයක් ඉලිප්පෙන්නාක් මෙනි.

ඇය ඇස් දෙක හැකිතරම් ලොකු කර අත් දෙකේ ඇගිලි දිගඅරිමින් ආයාචනාත්මකව මට යමක් කියන්නට උත්සාහ කලාය.හැමවතාවකම දනගසා වදින විට කරන්නාක් මෙන් මගේ මුහුන ඇගේ දුර්වලවූ දෑත් දෙකෙන් බදා සිප වැලද ගත්තාය.ඒ ඇගේ සිරුරේ වූ අසීමිතවූ වේදනාව මට කියාපෑමට මෙන්ම තවමත් ඇය මට පෙරමෙන්ම ආදරේයැයි කියාපෑමට විය හැක.විශ්වර්මයා මැවූ අමා ඔසු බලයෙන් ඈ පෙලන දරුනු වේදනාව නිමාවේයැයි යන අවිනිශ්චිත බලාපොරොත්තු මිස ඇය වෙතදීමට යමක් ඒවනවිට මා සතුව නොතිබිනි.

රාගම රෝහලින් ඇය භාරගනු ලැබුවේ මගේ නංගීගේ වන් වයසේ සිටි තරුණ දොස්තරවරියක්.පෙනුමෙන් කාන්තිමත් වුවත් ඇගේ පලමු ප්‍රශ්නය වූයේ “කවුද මේ ලෙඩාව භාරගත්තේ,කවුද ඔයාලට මේ ලෙඩාව බයි හෑන්ඩ් ගේන්න කිව්වෙ,අපිට මේ ලෙඩාව භාරගන්න බෑ” ඇයගේ හැසිරීම අයාලේයන බලු කුක්කකු තමන්ගේ නිවසට ගෙනාදැමුවා හා සමාන විය.මෙවන් දෑ ඇයට සාමාන්‍ය සිදුවිමක් වන්නට ඇතිමුත් අසරනකමේ අන්තයටම පිරිහුනු මා අම්මා විදින වේදනාවන්ගේ නාමයෙන් මගේ ඉවසීම උපරිම ප්‍රගුන කලෙමි.

ඇය ඇතුලත්කල වාට්ටුව මහරෝහල මෙන් ප්‍රසන්න තැනක් නොවීය.අම්මාව ඇදට මාරුකරන්නට ගෑස් සිලින්ඩරයක් හරස්වී තිබුනු බැවින් මම ඇයව දෑතින් ඔසවා ඇදෙන් තැබුවමි.අම්මාට කෙදිරි ගෑවිනි.

අම්මා දිව දික්කරන්න. වෛද්‍යවරිය අනකලාය.ඇගේ දිව සෙන්ටිමීටරයක් පමන එලියට ඇදිනි.වම් අත උස්සන්න.අම්මාට දැන් වම් අත අදුනාගත නොහැක.ඉන් අනතුරුව උදා වූයේ වෛද්‍ය වාර්තා පරීක්ශාකිරීමයි.විත්ති කූඩුවට නැගි ශාක්ශිකරුවකුගෙන් නඩුකාරයා ප්‍රශ්න අසන්නාක් මෙන් ඔවුන් මගේ වෛද්‍ය දැනුම පරීක්ශා කලහ. වෛද්‍ය ක්ශේත්‍රය පිලිබද මෙලෝ හසරක් නොදන්නා මම ටියුලිප් මලු දෙකේම තිබුනු වෛද්‍ය වාර්තා ඇද පුරා එලාගෙන ඔවුන්ගේ පැනයන්ට උත්තර සෙවුවෙමි. අවසානයේ එම්.ආර්.අයි/,x-ray ආදී නානාප්‍රකාර වාර්තා සියල්ල පටලාගත් මගේ ඔලුව තව ටිකක් අවුල්වූනා මිස ඔවුනට අවැසි දේ ලැබුනාදැයි සැක සහිතය.

පලමු වරට මට අවිනිශ්චිතතාව පිලිබද මූසල හැගීමක් ඇතිවී තිබිනි.දුම්රියෙන් බැස මෝටර් සයිකලයෙන් ගෙදරට යනතෙක් එහි ශබ්දය පරයා මම මහ හඩින් කෑගසා හැඩුවේ නිවසේ සිටින මගේ බිරිදගෙන් හා දියනියගෙන් මේ අවිනිශ්චිතතාවය වසන් කිරීමේ මුවාවෙන් වුවද,නිවසට ගොස් මට එය සගවාගැනීමට අපහසු විය.අවසානයේ මා දුටුවේ මහ හඩින් කෑසා හඩන මා දෙස පුදුමයෙන් බලා සිටින මගේ පුන්චි දියනියයි.

පසුදින රාගමදී සිදුකෙරෙන ප්‍රතිකාරයන්ගෙන් ඇගේ රෝගයන් හොද අතට හැරේයයි යන සුභවාදී බලාපොරොත්තුව නමැති මුලාවේ ගිලී උන් මට අම්මා මියයන දිනයේ උදයේ පවා ඇය මියයමින් සිටින්නේයැයි හාන්කවිසියක් තරම්වත් සැකයක් ගොඩනැගී නොතිබිනි.නිදාගෙන උන් අම්මා ඇස් අරිමින් සිටින්නේයැයි සිතූ මා ඇයව අවදිකරන්නට තැත්කෙරුවේද මාරයා මා එවන්වූ මුලාවක මා අතරමන්කල නිසාවෙනි. කිසිවෙකුගේවත් අවදානයට ලක් නොවන වාට්ටුවේ කෙලවරම ඇදන් පෝලිමේ ප්‍රතිකාර ලබමින් උන් ඇය දකින වාරයක් පාසා ඇය මියයන්නට අතහැරදමන රෝගියකු යන හැගීම මා තුල ජනිත කරවීය.

අවසන් වරට මා අප්පච්චීත් සමග ඇය බලන්නට යනවිට ඇය පියවි සිහියෙන් නොසිටියාය.විටින් විට ඇය ඇස්පිල්ලම් ගැසුවාය.අවසානයේ තමන් කැමති කෑමක රස නොවිද,අවසන් වරට බන පදය අසන්නට හෝ දානයක් දෙන්නට වාසනාව නොලබා,පන්සලකට ගොස් සිත පහදාගන්නට වරම් නොලබා ඇය රෝහලේ ඇද මතදීම අවසන් ගමන් ගියාය.

නිද්‍රාජනක බවින් සිහි විකල්ව අයාලේ වැනෙමින් සිටි මාහට ජීවිතයේ අනියතබව පිලිබද පියවි සිහි ලැබිනි.අම්මා අප හැරදාගොස් ඇතිබව පසක් විය.ඇය වෙනුවෙන් කලහැකි යමක් වෙත්දැයි මට සෙවීමට සිත් විය.මගේ සිතට පටාචාරාවගේ අසරනබව දැනිනි.අම්මාගේ මලගම අවසන්වනතෙක් මම පින් දීමේ ගාතාව කොදුරමින් ඇයගේ ආත්මයට පින් දුන්නෙමි.මිය යන්නට පෙර ඇය වෙනුවෙන් කල හැකිව තිබූ පින් මිස තවදුරටත් ඇය වෙනුවෙන් මට කලහැකි යමක් නොමැති බව මට වැටහිනි.

ඉදින් මේ කෙලවරක් නොපෙනන අනන්තවූ සසරේ ඇය මගේම අම්මාවී අනන්තවූ භවයන්හි සැරිසරන්නට ඇතිබැව් මම මෙනෙහි කරන්නට විම් .අනන්තවූ භවයහි මේ අයුරින්ම මා හඩවා භවයෙන් භවයට නික්මයන්නට ඇති බැව් ස්මරනය කරන්නට වීමි. විදුදැනුම කොතරම් ලොව ජයටැඹ කරා ගෙනගියත් කර්මය යටපත් කල නොහැකිබව අවසානයේ මට පසක් විය.

ඉතින් ආදර අම්මේ…

මට ඔබෙන් සදාකාලිකව සමුගන්නට කාලය පැමින තිබේ.නැවත කිසිදා මගේ පන්හිද ඔබ වෙනුවෙන් පත්හිරු මත තීන්ත නොවගුරවනු ඇත.

මතු බුදුවන ආත්මයකදී, අසරන සෝපාකයන් වූ මට මේ කුරිරු වූ සසර කතරෙන් එතෙරවන්නට කමටහන් දෙනු මැන මගෙ ආදර අම්මේ.

ඔබට නිවන් සුව

ඔබේ ආදරනීය ලොකූ

Show your support

Clapping shows how much you appreciated ආලකමන්දාව’s story.