මගේ ඩිජිටල් ගුරුතුමී..

Image courtesy : http://dailygenius.com/wp-content/uploads/2014/06/digital-teacher-400x242.png

අධ්‍යාපනය මොනයම විදියකින් ලැබූ සෑම අයෙකුටම තමන්ගේ ජීවිතයේ ඔවුන් අද ඉන්නා තත්වයට එන්නට පාර කියූ , උර දුන් ගුරුවරු සිටී.
නිදහස් අධ්‍යාපනය නම් මහා වෘක්ෂයෙන් සෙවණ ලබන ශ්‍රී ලාංකික අපට මේ ගුරු ගෝල සම්බන්ධය ගහට පොත්ත මෙන් එකට ඇලී පවතින්නකි.
ඉන් ස්වා‍යක්ත වීම අසීරු කාරණයක්. වෙසෙසින්ම ස්නේහය උතුරායන අම්මාවරු වන් ගුරුවරු හා පියවරු වන් ගුරුවරු ඉන්නා අධ්‍යාපන පද්ධතියක ගුරුවරු යමෙකුගේ ජීවිතයේ තීරණාත්මක සාධකයක් නොවුනොත් පුදුමය.

මේ කතාව අවුරුදු 12 පමණ ඈතට දිව යන , මගේ පාසල් සමයේ අවසාන බාගයේ හමුවු එවන් තීරණාත්මක ගුරුවරියක් ගැනයි.
එවකට මා 12 වසරේ ගණිතය විෂය මාලවෙන් උ.පෙ සඳහා පෙනී සිටින්නට ඉගෙන ගන්නා අපේ පාසලේ ගණිත පංති දෙකෙන් එකක සිසුවෙකි.
අපේ පංතියේ කණඩායම ඕනෑම උ.පෙ කණ්ඩායමක් මෙන් සොමියට බර ඒත් වැඩෙත් කර ගන්නා කල්ලියකි.

යටගිය දවසක කතාව..

Image courtesy : https://i.ytimg.com/vi/5Y1GpL768Sk/maxresdefault.jpg

එවකට අපේ පාසල පාසලේ ළමුන්ට පමණක් පාවිච්චි කරන්නට පරිඝණක සම්පත් විද්‍යාගාරයක් තිබුණේ නැත. ම.ම වි බැවින් දිස්තිරික්කයේම සිසුන්ට කුසලතා පදනම මත අයදුම් කල හැකි විද්‍යාගරයක් තිබුනද එයට අයදුම් කල හැක්කේ සා.පෙ අහවර වී පමණි. එවකට මම පරිඝණක එහෙන් මෙහෙන් අතපත ගා තිබුණද විධිමත් අධ්‍යාපනයක ලබා තිබුණේ නැත. පොඩි කොම්පියුටර් කෝස් එකක් දඹදෙනිය පදනමේන් හදාරා තිබුණද ඔන් ඕෆ් කරන්නට හා ගේම එක්ක ඔන් කර ගන්නවා ඇරෙන්නට වෙන යමක් කොරන්නට මම දැන සිටියේ නැත. මේ අරුම භාණ්ඩය ගැන හාර අවුස්සන්නට උවමනාවක් තිබුණද අපිට ඒ කාලේ ගැහැණු ළමයි ගැන සොයා බල්න්නට, පංති යන්නට, ගණන් හදන්නට , බණඩාගේ කඩෙන් බිත්තර රොටී 3ක් එකවර කන්නට වැනි දහසක් වැඩ අස්සේ එකී උවමනාවට ලැබුනේ අවම ප්‍රමුඛතාවයි. ඒත් හිතේ කොනක මේ ගැන තිබුන් පොඩි කැසිල්ල අඩුවක් නම් වුනේ නැත.

මෙසේ ආතක් පාතක් නැතිව සිටි අපට නියඟට බට වැස්සක් මෙන් නව පරිඝණක විද්‍යාගාරයක් ලැබුනේ ද්විතීයික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේය ඒ එවකට ජනපති චන්ද්‍රිකා බණ්ඩාරණායක විසින් පත් කල නව අධ්‍යාපන අමත්‍යංශ ලේඛම් වරිය වන ඇගේ දකුණු අත වන් යෙහෙලිය තාරා ඩි මෙල්ගේ අදහසක් අනුවය.

දිනක් පාසල වටේ කරක් ගසන විට කලින් පංතිකාමරයක්ව තිබු 10 වසරේ කොණේ කාමරය අළු ගසා දමා නැගිටි ෆීනික්ස් මෙන් කිරි ටොයියට තිබෙණු අපි දුටුවෙමු. ඒ මදිවාට දොර ස්වංක්‍රීයව වැසෙන බව හා සීතල සුලං පාරක් දොර අතරින් එන බැවින මේක තුල කොම්පියුටර් තිබෙන බව වටහා ගන්නට අපිට වැඩි වෙලාවක් ගියේ නැත. ඒත් ලාංකීයට පාසල් වල සම්පත් බොහෝ විට තිබෙන්නේ ඉටි කවර දමා වසා තැබීමට මිස මිලඟ සිසු පරපුරේ කුසලතා ප්‍රවර්ධනයට නොවන බැවින් ඔය කාමරේට බෙල්ල දැමීමේ අනිවාර්ය ප්‍රතිඵලය බැනුම සමඟ එලවීම බව දැන දැනත් අපේ ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් ලොකු බැවින් බෙල්ල දමා බැලුවෙමු.

කහ පාට සාරියකින් සැරසුනු හුරුබුහුටි ගුරුවරියක් කඩිසරව විද්‍යාගාරය පුරා එහෙමෙහෙ යනවා අපිට දුටුවෙමු. ඈ පාසලට අළුත්ය නැත්නම් අපේ ඇස් වලට හොරෙන් ලස්සන මැඩම්ලා පාසලේ ඉන්නට විදියක් නැත.(ඒ කීවේ දැන් ඉන්න උන් මෙන් අපි ලස්සන මැඩම්ලාට ලියුමු දෙන්නට යන නිසා නොවේ. ලස්සන මැඩම්ලාගේ දැක්කාම එදාට හොඳට ගණන් හද්න්නට පුලුවන් බැවිනි ). අප දුටු ඈ “ආ එන්න එන්න , මමත් මේ උදවුවට කවුරු හරි අඬගහගන්න තමයි හිටියේ . මේ අළුත් මැශින් ටික සෙට් කරන්න ඕනිනේ”.

බැනුමක් බලා සිටි අපිට වූයේ ඉබ්බා දියට දැමූ විට වූ වැඩේය. අපි ඉතින් උදවු කලෙමු. ඒ අපි දක්ෂිණා මැඩම අඳුනා ගත් ආකාරයයි.
ඒ වන විට මේ විද්‍යාගාරය හරි හැටි විවෘත කර තිබුණේ නැත. ඇය අපේ පාසලට අලුතින් ආ තොරතුරු තාක්ශණ ගුරුවරියයි.
මේ විද්‍යාගාරය බාර ඈට බව ඈ අපට කීවාය. ඉතින් අපි ලැබෙන ඇසිලලකින් විද්‍යාගාරයට ගොස් යහමින් පරිඝණක අතපත ගාන්නට පටන් ගත්තෙමු. මේ අතර ඈ අපිට ඉඩ ලැබෙන අයුරින් පොඩි පොඩි පාඩම් කියා දෙන්නටද පටන් ගත්තාය. ඊට අමතරව විශය සම්බන්දව අපේ කුතුහලය අවුලුවන්නට විය. එකී මෙකී හේතු නිසා හා වෙසෙසින්ම අපේ ප්‍රියතම ඉංග්‍රීසි විෂය තිබෙන විට අපේ ක්ෂේම භූමිය මෙකී විද්‍යාගාරය විය. විද්‍යාගාරය තවමත් සියලුම සිසුන්ට විවෘත කර නොතිබුනෙන් කැමති විටක ගොස් එය පරිහණය කිරීමට අපිට අවසර මැඩමගෙන් ලැබුණි.

කෙමෙන් කෙමෙන් විද්‍යාගාරය ජනසතු කරණ දිනය (අප විවෘත කරනවාට කීවේ ජනසතු කරණවා කියාය ) එලඹුනි. එවකට අපේ විදුහල්පතිගේ දක්ෂකමට හෝ වෙනයම් හෙතුවක් නිසා එවකට ජනපතිනිය අපේ තෑගි ප්‍රධානෝත්සවයට අපේ පාසලට එන්නට යෙදුනාය. ඉඳින් කුමට ලතැවෙමුද කියලා එදිනම ජනපතිනිය ලවාම මේ නවමු විද්‍යාගාරය විවෘත කරවමියි සිතු අපේ විදුහල්පතිවරයා ඇගේ මනෝරථය කූඨප්ප්‍රාප්ත කොරන්නැයි දක්ෂිණා මැඩමට කියන්නට ඇත.

එසේ මෙසේ කෙසේ හෝ දිනක් විද්‍යාගාරය ගිය විට ඈ පැවසූවේ “ඔය ගොල්ලෝ දන්නවනේ ප්‍රසිඩන්ට් එනවා මේ ලැබ් එක විවෘත කරන්න. එදාට ප්‍රසිඩන්ට් ඕපන් කරන ප්‍රොග්‍රම් එක ඔය ගොල්ලන්ට හදන්න පුලුවන් නම් මම ගොඩක් කැමතියි.”. හැම එකාම එක එකාගේ මූණු බල්න්නේය, ඔය සූටි සූටි කුරුටු කෝඩ් කෑලි ලීවාට අපි දන්නා ලබ්බක් නැත. ඇරත් ජනාධිපතිනියට පාවිච්චි කොරන්නට එකක් ලියපල්ලාකෝ. ඈට මූණට බෑ කියන්නට බැරි බැවින් හැම එකාම ඔලුව වැනුවෝය.

එදා පටන් සති දෙකක් පමණ යනකන් අපි බැලු බැලු විට මෙකී විද්‍යාගාරයේමය. එකල අප අසා තිබු එකම පරිඝණක කේතක භාෂාව විශුවල් බේසික්ය
කණ්ඩාමේ කිහිප දෙනෙකුට එහෙන් මෙහෙන් යමක් අමුණා ගැනීමේ හැකියාව තිබුණු බැවින් එය වැඩේ සඳහා තෝරා ගත්තෙමු. වෙසෙසින්ම සඳහන් කල යුත්තේ එවකට වි.වි සිසුවෙකු වූ ගන්කේවලයාගේ අයියාගේ දායකත්වයද සහිතව අපි පොඩි ග්‍රැපිකල් ඉන්ටෙර්ෆේස් එකක් සහිත ප්‍රෝගැම් කට්ටක් ඇටවූවෙමු. එය මැඩම්ට පෙන්වූ විට ඇය එහි කැත ගැන සඟවා අප අගය කලාය. තවත් වැඩි දියුණු කරන්නට උපදෙස් දුන්නාය. ඇය අප දිරිමත් කලාය.

සති දෙකට පසු ත්‍යාග ප්‍රධාන උත්සවය පැවතුන අතර විද්‍යාගාරය විවෘත කරන විට අප කණඩායමේ ශ්‍රියන්තයාට ජනපතිනියට මේ ප්‍රොගැම් කට්ට පෙන්වා මග පෙන්වීමට ඈ බාර දුන්නාය. එවක ජනපතිනිය ගැන ප්‍රසිද්ධ රහසක් නම් කිසි විටෙක් වෙලාවට නොපැමිණෙන බවයි. අපේ පාසලට ආ ගමනද වෙනසක් නොවීය. අපි පැය 3 හෝ 4 බලා සිටියෙමු. අවසන ඈ තාරා ඩි මෙල්ද කැටුව රජ ගමනින් ආවාය. අපිට ජනපතිනිය කෙසේ වෙතත් ගිනි විසි කරමින් ඇවිද ආ තාරා ඩි මෙල් ගෙන් ඇස් ඉවතට ගත නොහැකි විය.

කොහොමින් කොහොමින් හෝ අපේ ප්‍රොග්‍රම් කට්ට හොඳට වැඩ කල අතර දක්ෂිණා මැඩම් අපිව අගට කලාය. අතුරු ප්‍රතිඵලය ලෙස අපේ උන් කීප දෙනෙකුට මුණතහඩුව රූප පෙට්ටිටියේ ඔබා ගන්නටද හැකි විය. ඒ ජනපතිනිය සමඟ කත බහ කිරීමෙනි.

හොඳ සමඟ නරක පැමිණෙන බැවු ලෝක සත්‍යකි. අපේ සති දෙකේ විද්‍යාගාර වන්දනාව අපේ පංති බාර සංයුක්ත ගණිතය ගුරුවරියට ඇල්ලුවේ නැත. ඇය අපිට වෙනම දෝෂාරෝපණය කර පන්තියම ඉන්නා තැනද අවලාද නැගුවාය. ඉන්ද නොනැවතී අප වන් උන් කිසිදාක වි.වි නොයන බව තැන තැන කීවාය. ඉන් නොනැවතුනු ඇය දක්ෂිණා මැඩම්ටද දෝෂාරෝපණය කලේ අපේ වැඩ වලට උඩගෙඩි දෙන බව පවසමිනි.

මීලඟ අවුරුද්ද වන විට උ.පෙ අප වෙලාගෙන තිබුණු අතර විද්‍යාගාරය යන්නට කාලය සොයාගන්නට අපහසු වුවා මෙන්නම් දක්ෂිණා මැඩම් හමුවද අඩු විය. දෙවන වර උ. පෙ කල අපේ කණ්ඩායමෙන් දෙදෙනෙක් ඉංජිනේරු පිඨයටත් දෙදෙනක් මොරටුව තොරතුටු තාක්ෂන පීඨයටත් අනෙක් අය ටී ටී අයි ආදී වශයෙන් ත්‍රීතීයික අධ්‍යාපන අවස්තා හිමි කරගත් අතර. මගේ හිතේ කොනක දක්ෂිණා මැඩම විසින් ඒ සිටවූ අංකුර පරිඝණක ඉංජිනේරුවා දළු ලා වැඩෙන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස මා වි.වි තොරතුරු තාක්ෂණය මේජර් කරණ්නට ඉටා ගතිමි. වි.වි යන විට පරිඝණකය මට මැජික් වූයෙ නැත. ඒ දක්ෂිණා මැඩම්ට පිං සිදු වන්නටය.

අප වි.වි තේරුනු කල වන විට දක්ෂිනා මැඩම තව දුරටත් අපේ පාසලේ නොසිටියාය. ඇයගේ දක්ෂකම් හා ආකල්ප නිස ඇය වන් ගුරුවරියකට දිගු ගමනක් තිබෙන බවත් ඇය අපේ පාසලේ සිර වී නොසිටිය යුතු බවත් මට එකලම වැටහී තිබුනි. කාලය ගත විය වි.වි , රැකියාව, රටින් පිටට රැකියාව සඳහා පැමිණීම සියල්ල අතර මේ ගුරු දෙවඟන කාලයේ වැලි තලාවෙන් වැසී ගියාය.

වර්තමාන කතාව..

Image courtesy : http://ariyadasabookshop.com/media/catalog/product/cache/2/image/9df78eab33525d08d6e5fb8d27136e95/g/u/guru_geethaya.jpg

රැකියාව සඳහා දුම්රියෙන් යන අතර මුණු පොතේ ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුවෙකු දැනුම මිනුම තරඟයකදී දැක්වූ දක්ෂතා පිලිබඳ වීඩියෝවක් නැරඹුවෙමි. ඒ වීඩියෝවේ අවසන විනිශ්චය මණඩලයේ තීරණය දැනුම් දෙන විට සුපුරුදු මුහුණක් හා හඬක් ඇසුනි. ඇය දැන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් වරියකි. සතුට බෙදා ගන්නට කවුරුත් දුම් රිය පෙට්ටියේ නොසිටිය බැවින් ඈතින් පෙනෙන මුහුදු වලල්ල දෙස බලා තෘප්තිමත් සුසුමක් හෙලුවෙමි.

දහවල කෑම පැයේ ඇගේ ඔපීසියේ දු.ක අංකය වෙබ් අඩවියෙන් සොයාගත් මම ඈට කතා කරන්නට බැලුවෙමි. එහා පසින් ඇමතු දු.ක ක්‍රියා කරු මට සත්තම දැම්මේ මේ වෙලාවේ මෙතැනින් මැඩමට සම්බන්ධ කල නොහැකි බව පවසමිනි. එතැනින් ඒ කතාව නිමා වුනත්. මුණු පොතෙන් ඈ සොයා ගන්නට මට පුලුවන් විය. ඈ අපට දුන් ඒ මහඟු අවස්තාව හා අපේ හැකියාවන් ගැන ඈට තිබු තක්සේරුව ගැන ස්තුති කරමින් මා අද සිටිනා තැනට එන්නට ඇගේ දායකත්වය ගැන් ඈට ස්තුති කලෙමි. නමුන් ඈ කාර්ය බහුල බැවින් මෙය නොදකීදැයි හිතෙ සැකයක් නොතිබුනා නොවේ.

මාර්තු මස යැවූ පණිවිඩයට පිලිතුරු ලැබෙන්නේ මැයි මසය. මේ ඇගේ පිලිතුරේ සිංහල පරිවර්තනයයි.
“මේ මට ලැබුණු සතුටුදායකම පණිවිඩ වලින් එකක්. මම කොහොමද ඔබේ කුප්‍රකට කල්ලිය අමතක කරන්නේ. මම බැනුම් පවා ඇසුවා ඔබලාව විද්‍යාගාරයේ තබා ගැනීම ගැන…”

එතැන පටන් අපි බොහෝ ආ ගිය තොරතුරු කතා කලෙමු. අපේ කල්ලිය දැන් සිටින තැන් ගැන ඈට බොහෝ සතුටුය. ඒ ගැන ඈ මෙසේ කීවාය.
“ඔහ් මගේ දරුවෝ එහෙනම් ලෝකය පුරාම සිටිනවා බොහොම හොඳ තැන් වල..”

සංවාදය අවසන මා ඇගෙන් විමසූයේ අපි මගෝඩිස් කල්ලියක් බව දැන දැනත් අපට මඟ පෙන්වූයේ හා අප වෙනුවෙන් පෙනී සිටියේ ඇයිද කියායි.
ඈ මෙසේ පැවසූවාය.

“මා මගේ ගුරු ජීවිතයේ වටහාගත් එක් දෙයක් නම් බොහෝ සෙයින් දඟකාර ළමුන් තමයි සැබෑ සහජ දක්ෂතා ඇත්තවුන්. එනිසා මම ඔවුන්ට බොහෝ සෙයින් ආදරය කරනවා..”

ඇයට දුශෙයින්ට තරම් බාධක නොතිබුණත් අපට අල්තිනායිට අලගු තියන්නට බැරි වුවත් අපේ ඉස්කෝලේ පොප්ලර් ගස් නොවැවුනත්..
මට ඇගේ වික්‍රමය ගුරු ගීතයක්මැයි….

One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.