මේ වාරය ලෙනින්ගේ නෙවෙයි !

“හොරාගේ අම්මාගෙන් පේන නොඇසිය යුතු” බවට ගැමි කියමනක් තිබේ. ඒ තමන්ගේ පුතා හොරකම් පිළිගන්නට අම්මා කෙනෙකු කැමති නැති නිසාවෙනි.ඒ ආකාරයෙන්ම අම්මා පසෙක සිටියදී හොරාගෙන්ම පේන ඇසුවද තමන් හොරෙකු යයි ප්‍රසිද්ධියේ පිළිගන්නට කිසිදු හොරෙක් කැමැත්තක් දක්වනු නැත.ලෙනින් රත්නායක නම් විනි-සොරා ද වරෙක අධිකරණය ගඳ ගස්වා මේවන විට රටම ගඳ ගැස්වීමේ වෑයමක නිරතවී සිටීම සිහිපත් කරනුයේ ‘හොරගෙන්ම පේන ඇසීමක්”මිස අන් යමක් නොවේ. බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් අසඬක්ගේ හඬින් කියා සිටියේ”සෑම නඩුකාරයෙක්ම හොරෙක්”බවයි.බඩුකාරයින් නඩුකාරයින්වූ රටක එය එසේමදැයි තහවුරු කරගැනීම‍ට ඔක්තෝම්බර් 19වන දිනට හැකිය. ඒ ‘උසාවිය නිහඬයි”වාර්තාමය චිත්‍රපටයට කොළඹ දිසා විනිසුරුවරයා දෙන තීන්දුව දෙස බැලීමෙනි.

ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද “උසාවිය නිහඬයි”චිත්‍රපටයට පාදක වී ඇත්තේ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් “රාවය”ට ලිපි පෙළක් ලියමින් කළ හෙළිදරව්වකි.මෙම ලිපි පෙළින් අදාළ සිද්ධිය සම්බන්ධ ලිපි පසුව ප්‍රකාශයට පත්වූ “නොනිමි අරගලය” නම් කෘතියේද,”පෑන අහිංසකද?”නම් කෘතියේද අන්තර්ගතය.එම සැබෑ සිදුවීම සැකෙවින් මෙසේය.

මහව මහේස්ත්‍රාත්ව සිටි ලෙනින් රත්නායක තමන් ඉදිරියේ ඇසෙන නඩුවක විත්තිකරුවන් වී සිටි අඹුසැමි යුවළකගෙන් ස්වාමිපුරුෂයාට දිගින් දිගට ඇප නොදෙමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ ආධාරයෙන් එම විත්තිකරුගේ බිරිඳ රවටා ඇය මහේස්ත‍්‍රාත්වරයාගේ නිල රියෙන් ගම්පොළ තානායමට ගෙන ගොස් දූෂණය කළේය. අත් අඩංගුවේ සිටි ස්වාමිපුරුෂයා මහේස්ත‍්‍රාත්වරයාගේ එම ක‍්‍රියා කලාපය කෙසේ හෝ බිරිඳගෙන් අසා දැනගත්තේය. ඔහු මහේස්ත‍්‍රාත්වරයාගෙන් පළිගත්තේ ඊළඟ නඩු දිනයේදී මහේස්ත‍්‍රාත්වරයා වෙත එල්ල කරන ලද අසූචි ප‍්‍රහාරයකිනි. ඔහු බෝගම්බර රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට උසාවියට රැගෙන එන විට පොලිතින්වල ඔතන ලද අසූචි බෑග් දෙකක්ද රැගෙන ආවේය. උසාවියේ කටයුතු සිදුවෙමින් තිබියදී විත්ති කූඩුවෙන් බිමට බැස ඔහු මහේස්ත‍්‍රාත්වරයා වෙත එල්ල කරන ලද අසූචි බෑගය විදුලි පංකාවේ වැදී එය අසූචි විදින යන්ත‍්‍රයක් බවට පත්වී උසාවියේ සිටි බොහෝ දෙනෙකු අසූචිවලින් නැහැවීය.දැඩි ලෙස කලබලයට පත්ව සිටි ඔහු දෙවන අසූචි බෑගයද දමා ගැසුවේය.එය මහේස්ත‍්‍රාත්වරයාගේ ඔළුවට වැදුණේය. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ රිමාන්ඞ් සිරකරුවා බිහිසුණු පහරදීමකට ලක්වීමය.

සිරුකරුවාගේ අතපය කැඩෙන තෙක් පොලූ මුගුරුවලින් උසාවි බිමේදී කරන ලද තිරිසන් පහරදීමට අසූචි සෝදාගෙන වෙනත් ඇඳුමක්ද ඇඳගෙන පැමිණි මහේස්ත‍්‍රාත්වරයාද ක‍්‍රියාකාරී ලෙස සහභාගි වී තිබුණි. තුවාලකරුවා බාරගැනීමට මහනුවර බන්ධනාගාරය කැමති නොවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ට ඔහු මහනුවර රෝහල් ගතකිරීමට සිදුවිය. රිමාන්ඞ් සිරකරුවා තමන්ගේ සම්පූර්ණ කතාව තමන්ට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයාට කීවේය. ඔහු එම කතාව අසා පුදුමයට පත්වන්නට ඇති බවට සැකයක් නැත. වෛද්‍යවරයා මෙම අනුවේදනීය සිද්ධිය එකල තිබූ මානව හිමිකම් කොමිසමේ මහනුවර ශාඛාවේ ප‍්‍රධානියාට දැනුම් දුන්නේය. ඔහු රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රිමාන්ඞ් සිරකරුගෙන් කටඋත්තරයක් ගෙන පරීක්ෂණයක් ආරම්භ කළේය. ගම්පොළ තානායමට ගොස් මේ කියන දිනයේ තානායමට මෙම මහේස්ත‍්‍රාත්වරයා පැමිණ තිබුණේ දැයි සොයා බැලූවේය. තානායමේ වාහන පොත පරීක්ෂා කිරීමේදී මහේස්ත‍්‍රාත්වරයාගේ නිල රථය එහි පැමිණ තිබෙන බව සොයා ගත්තේය. ඉන්පසු ඔහු පහර කෑ බිරිඳගෙන්ද කටඋත්තරයක් ගත්තේය. ඒ සමග නීතිඥ කල්‍යාණනන්ද තිරාණගම වෙත ඇය යවා මහේස්ත‍්‍රාත්වරයාට එරෙහිව අගවිනිසුරුවරයාට හා අධිකරණ සේවා කොමිසමට විධිමත් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.ඉන්පසු මෙම සිද්ධිය රාවය කර්තෘවරයාට අතට පත්වන අතර එතැනින් රටම දැනගත් සිදුවීමක් බවට පත්විය.

සරන් එන්ද සිල්වාට එරෙහිව වික්ටර් අයිවන්

සිද්ධිය සම්බන්ධයෙන් රාවයේ ලිපි පළවන විට එවක නීතිපතිවරයා වූයේ පසුව අගවිනිසුරු බවට පත් සරත් නන්ද සිල්වාය.සිද්ධියේ සත්‍ය අසත්‍යතාව සොයනු වෙනුවට රාවය කතුවරයාට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයාට උපදෙස් දෙන තැනට නීතිපතිවරයා පත්ව සිටියේය.අපරාධකරුවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට අදාළ අපරාධය හෙළිදරව් කළ මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාවේ යෙදවීම එකල අතිශය සාමාන්‍ය සිදුවීමක් විය.එලෙස නීතිය හා අධිකරණය පවුලක හෝ සීමා සහිත දූෂිතයින් පිරිසක අතකොළුවක් බවට පත්ව තිබූ කාලය ඉකුත් 2015 ජනවාරි 08 වෙනිදායින් අවසන්වී යයි බොහෝදෙනා සිතූහ.

එහෙත් ඒ හෙළිදරව් කළ කරුණු මත පදනම්ව චිත්‍රපටයක් නිර්මාණය කළ පසු ද අදාළ දූෂිතයාට,අපරාධකරුවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට අද දිනයේද නිර්මාණකරුවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් උද්ගතවී තිබේ.අප පැතූ වෙනස උදාවී ඇත්ද? නිර්මාණකරුවන්ගේ නිර්මාණ අයිතිය වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ගේ හෝ පාඨකයින්ගේ විඳීමේ හෝ කියවීමේ අයිතිය වෙනුවෙන් අපි එදාද හඬ නැඟුවෙමු.අරගල කළෙමු.අද ද හඬ නඟමු.අරගල කරන්නෙමු.වරෙක අධිකරණය ගඳ ගැස්වූ ලෙනින්ලාට තවත් වරෙක පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උදුරා ගනිමින් රටම ගඳ ගැස්වීමට ඉඩදිය යුතු නැත.අප සූදානම්ය.මේ ලෙනින්ලාගේ වාරය නොව අපේ වාරයයි!

- ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.