අකුරූප; අලුත් සිංහල යෙදුමක්!

අකුරු මෝස්තර, අකුරු හැඩතල ගැන කතා ලංකාවේ එතරම් සුලභ නැත. ඒ ගැන නිතර කතාකරන අපට ඒ හා බැඳුණු අදහස් නිරවුල්ව ප්‍රකාශ කරන්නට නිසි සිංහල යෙදුම් නොමැතිවීමද ගැටළුවකි. එපමණක් නොවේ, විෂය ගැන දැනුම නිර්මාණය සහ බෙදාහදා ගැනීම වචන මඳකම නිසා සීමාවන් වලට යටත් වෙයි. එහෙයින් අපේ කටට, අපේ රසට ගැලපෙන සේ නිවැරදි තාක්ෂණික වදන් නිපයා ගැනීම වහ වහාම කළයුතු කටයුත්තකි.

Typography යන ඉංග්‍රීසි වදනට අනුරූප සිංහල වදනක් නැතිකම සිංහලෙන් ටෛපොග්‍රැෆි ගැන කතාකරන අපට නිතරම පාහේ අඩුවක් දැනෙන කරුණකි. ඒනිසා ඊට ගැලපෙන සිංහල වදනක් තනාගන්නට ගන්නා උත්සාහයෙහි එක් අදියරකි මේ… අපට ටෛපොග්‍රැෆි යන වචනයම තත්සම පදයක් සේ භාවිත කළ හැකි උවත් එවිට නොයෙක් සීමාවන් හා විවිධ ගැටළු පැනනඟී.

Typography යනු ලංකාවේ සිංහලය ඇසුර‌ෙහි ඇරඹී හැදී වැඩුණු සංකල්පයක් හෝ තාක්ෂණයක් නොවේ. එහෙයින් සිංහලයෙහි ඊට අනුරූප වදනක් සකසන්නට පෙර ඒ යෙදුමේ ඉතිහාසයත්, සන්දර්භයත් සොයා බැලීම විදුහුරු මඟයි. තවද අප මේ උත්සාහයේදී මූලික සීමාවන් කීපයක් පනවා ගත්තා. නව වචනය පහසුවෙන් භාවිතා කළහැකි වචනයක් විය යුතු අතර එයට තවත් පද ආකලනය කරමින් සංකීර්ණ අරුත් පවසන්නටද හැකිවිය යුතුයි. මුද්‍රණාක්ෂර විද්‍යාව වැනි මුද්‍රණය සබැඳි වචන වෙනුවෙන් පෙර භාවිතව ඇති නමුත්, ඒවදන් අපගේ භාවිතාවට නොගැලපේ.

ග්‍රීක, ලතින් මූලයන් සහිත “type”, “graphy” යන දෙවදන සන්ධි වීමෙන් type + graphy = typography යන වදන සැකසී තිබේ. ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසී ශබ්දකෝෂයෙහි typography යන්න අරුත් දක්වන්නේ “The style and appearance of printed matter” යනුවෙනි. මෙහි “type” යනු මුද්‍රිත අකුරු සම්බන්ධව හඟවන යෙදුම වන අතර “graphy” යනු රූපමය ගුණය හඟවන යෙදුමයි. ඉඳින් සරල අර්ථයෙන් Typoraphy යන යෙදුම මුද්‍රිත අකුරුවල රූපමය ගුණය හඟවන බැව් අදහස් වේ.

විද්වත් ඉංග්‍රීසි බසෙහිදී Typography යනු ‘මුද්‍රිත’ අකුරුවල රූපමය ගුණය වන නමුත්, සාමාන්‍ය එදිනෙදා භාවිත ඉංග්‍රීසියෙහිදී calligraphy, lettering යටතේ අතින් ලියූ අකුරුවල රූපමය ස්වරූපය සහ එහි යෙදීම් යන අදහස හඳුන්වන්නටත් typography වදන එකසේ යෙදෙනු දකින්නට හැකිය. එහෙයින් වර්තමානයේදී typography වදන නිර්මිත හෝ විශේෂයෙන් නිමවෙන අකුරු වල රූපමය ස්වරූපයන් හඳුන්වන්නට යෙදෙන්නක් බවට හඳුනාගත හැකිය. අවසන් වශයෙන් වඩා පුළුල් තේරුම් කිරීමකදී typography යනු ‘දෘෂ්‍යමාන අකුරෙහි රූපමය ගුණය’ වේ.

ඉඳින්, අකුරෙහි රූපමය ගුණය යන අරුතට තනි පදයක් සොයමු;

අකුරුවල රූපමය -> අකුරු රූප

යන මඟින් ගොස්,

අකුරු+රූප = අකුරූප

යනුවෙන් නව වදනක් තනා ගතහොත් කෙසේ වේදැයි විමසා බැලීම වටී.

නවමු වදනක් තනන විට එය යෙදෙන ඒ ඒ තැනට ගැලපෙන ලෙස හැඩය වෙනස් කරගන්නටත් එයට තවත් පද ආකලනය කරමින් වචනයේ නොයෙක් රූප නිපදවා ගන්නටත් හැකි වනසේ එය කළ යුතුය. එයින් එහි යෝග්‍යතාවයද වලංගුභාවයද වැඩිවේ.

එහෙයින් Typography වදනෙන් ව්‍යුත්පන්න කරගත් තවත් වචන වලින් ඒ ඇසුරෙහි ඇති තවත් සංකල්පයන් ප්‍රකාශ කළ හැකිවාක් මෙන් අකුරූප වදනින්ද තවත් වදන් ව්‍යුත්පන්න කරගත හැකිවිය යුතුය. එවිට පහත පරිද්දෙන් වෙයි.

Typography (noun) අකුරූප / අකුරූපණ / අකුරූපණය (නාමපද)

Typographic or Typographical (adjective) අකුරූපී / අකුරූපමය / අකුරූපීමය (විශේෂණ පද )

Typographically (adverb) අකුරූපණීය (ක්‍රියාවිශේෂණය)

වචන නිමවෙන්නේත් පැවතෙන්නේත් ඒ වචන ඇසුරරෙහි එක්වෙන සහ ගැටෙන මිනිසුන් සහ කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වයෙනි. ඒ අරුතින් මේ අදහස තවත් සංවාදයට බඳුන්කළ යතු වෙයි. විද්වතුන්ගේ විමසුමට ලක් වියයුතු වෙයි. ඉතින් මේ ඇරයුම ඔබටයි.

ජනක අත්තනායක, පැතුම් එගොඩවත්ත සහ කෝසල සෙනෙවිරත්න විසින් 2018 සැප්තැම්බරයේදී. (ලිපිය මුලින් පල වුයේ අකුරැ සාමූහිකයේ වෙබ් අඩවියේ ය >> http://typography.lk/අකුරූප)

--

--