සිංහල ෆොන්ට් ප්‍රශ්න 1: අකුරු අපයෝජනයට එරෙහි වෙමු!

ෆොන්ට් එකක් හදන්න පුදුම වෙලාවක් මහන්සියක් වෙන්න වෙනවා. සිංහල අකුරුවල තියෙන රවුම් ගතිය හින්දා ඇදිලා විකෘති උණේ නැති අකුරු අඳින එක ගොඩක් අමාරුයි. එත් දැන් සිංහල අකුරු සහ ෆොන්ට් අපයෝජනය කරන හැටි දැක්කහම මොකටද ෆොන්ට් හදන්නේ කියලා ෆොන්ට් හදපු මිනිස්සුන්ට හිතෙනවා.

මේ ලංකාදීප පත්තරේ පාවිච්චි කරන්නේ පුෂ්පානන්ද ඒකනායක ගේ එෆ් එම් බාසුරු ෆොන්ට්, දැනට තියෙන ගොඩක්ම අඩුවෙන් තිරස් ඉඩ ගන්න අකුරු රටාවක්. එහෙම උනත් එකත් එහෙට මෙහෙට ඇදල දාන්න ලංකාදීප පත්තරේට සිද්දවෙලා තියෙනවා. (රුපය 2) ලොකුවට සිරස්තල දාන එක පත්තරේකට වැදගත් ඒවා දැකල තමයි මිනිස්සු පත්තර ගන්නේ. එහෙම උනත් අකුරු ලොකු කරන්න ගිහිල්ලා ඇත්තටම මේ සිරස්තල කියවන්න බැරි තරමට ඇදිලා ගිහිල්ලා.

ෆොන්ට් එකක අකුරු අතර තියෙන රූපමය අන්තර් සම්බන්ධතාවයන් තියාගන්න එක හරිම අමාරු වැඩක්. ඉතින් ෆොන්ට් අඳින අය වැඩිම වෙලාවක් ගතකරන්නේ ඒකට. එකවගේ අකුරු තැලිලා පොඩිවෙලා නැති විදිහට හදන්න. අකුරු ඇතුලේ තියෙන හිස් ඉඩත් (Counter Space) අකුරු අතර ඉඩත් සමබර කරලා අකුරු වල වැදගත් කොටස් හොඳින් පෙනෙන්න විදිහට අකුරු අඳින්න ලොකු මහන්සියක් යොදවන්න ඕනේ. ඒත් ඕනෙම පත්තරයක් අරන් බලන්න… හේතු රහිතව අකුරු තලන විදිහ.

මෙහෙම කරන්න ඕනෙද? පහල උදාහරනේ තියෙන්නේ ඒ ඉඩ ඇතුලෙම මම ඒ බාසුරු අකුරු රටාවෙන්ම ඒ සිරස්තලය්ම ලකුණු කරලා. (රුපය 3) නරකම නැහැ.. ලොකුවට අකුරු තියෙනවා, අවශ්‍ය තොරතුරු පෙනෙනවා. එත් අකුරු තලනවා!!!

මේක ලංකාදීප පත්තරේ විතරක් කරන වැරද්දක් නෙවෙයි… පත්තර වල ඉඳන් ලොකු ලොකු ඇඩ් ඒජන්සි වෙනකන් හැමෝගෙම අතින් වෙන වැරද්දක්. ෆොන්ට් අදින්න එපා. මේවගේ ඉඩ මදි තැන්වලට අපි ඉඩ අඩුවෙන් යන ෆොන්ට් තෝරාගන්න ඕනේ. නමුත් පුෂ්පානන්ද එකනයකගේම දවස ෆොන්ට් එක දැන් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා ඉඩ අඩුවෙන් යන නිසා. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපිට සීමිත ෆොන්ට් ප්‍රමාණයක් විතරක් තියෙන එක. ඊළඟ දවසේ පත්තරයක් දැක්කම බලන්න, අකුරු අතවරයට ලක් කරපු තැන අඳුනගන්න පුළුවන් :)

මේ ප්‍රශ්නය සහ තවත් ෆොන්ට් ගැටළු වලට විසඳුම් ලෙස 2020 වසර වනවිට නව ෆොන්ට් රැසක් හඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී Fontlet හරහා හරහා මේ ගැටළු විසදෙන ෆොන්ට් හැදෙනවා. ඒ වෙනතුරු අකුරු නොතලා ඩිසයින් කරමු.

--

--