චීනයේ විනී ද පූ තහනම සහ ලංකාවේ අන්තර්ජාල වාරණය

මේ මොහොතේ අන්තර්ජාලය වාරණය කිරීම රජයේ සහ සියලු දේශපාලුවන්ගේ පළමු අරමුණ බවට පත්ව ඇති බව පෙනේ. අන්තවාදී ත්‍රස්ථවාදයට සහ වර්ගවාදී අවස්ථාවාදයටත් ඒවාට අනුබල දෙන සියලුම පාර්ශ්වයන්ටත් එරෙහි විය යුතු පරිදිම, පක්ෂ-විපක්ෂ දේශපාලනික බල උවමනාවන් වෙනුවෙන්, නිදහස් තොරතුරු සංසරණයට බාධා කරමින්, ජනයා අඳුරේ තබන සියලුම පන්නයේ අන්තර්ජාල වාරණයන්ට එරෙහි වෙමු.

විවාදයකින් තොරවම, ‘අන්තර්ජාලය’ යනු මානව ශිෂ්ඨාචාරයේ විශිෂ්ඨතම සොයාගැනීමකි. අද වන විට අන්තර්ජාලය නොමැති ලෝකයක් පිළිබඳව සිතාගත නොහැකි තරමටම එය අපගේ එදිනෙදා වැඩකටයුතු සමඟ බැඳී පවතී. ඉතිහාසයේ කවරදාකවත් නොවූ තරමට ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට තමන්ගේ අදහස් එකිනෙකා සමඟ බෙදාගත හැකි ‘ප්‍රජාතාන්ත්‍රික අවකාශයක්’ මේ හරහා විවෘත වෙලා තිබෙනවා. අනෙක් අතට අන්තර්ජාල තාක්ෂණයෙහි ඇති තවත් සුවිශේෂී කාරණයක් තමයි, ඕනෑම වර්ගයක වාරණයකට ඒ තුලින්ම ඇතිවන ප්‍රතිරෝධීතාව. මේ තත්වය යටතේ ලෝකයේ සියලු අධිකාරවාදී ආණ්ඩු සහ අත්තනෝමතික පාලකයින් අන්තර්ජාලය යනු තමන්ගෙ බල ව්‍යාපෘතිවලට ඇති ප්‍රධානතම අභියෝග වලින් එකක් ලෙස හඳුනා ගැනීම අහඹුවක් නොවෙයි.

මේ වනවිට ලෝකයේ විවිධ රටවල් එක් එක් ආකාරයෙන් අන්තර්ජාල වාරණ හරහා නිදහස් තොරතුරු සංසරණයට බාධා කරමින් පවතිනවා. පසුගිය වසරේ සිට ලංකාවේ වරින් වර සිදුකරන සමාජ ජාල වෙබ් අඩවි සහ ඒ ආශ්‍රිත සේවා අඩපණකිරීම් මීට එක් උදාහරණයක්. ලංකාව තුල මීට පෙරත් පැවති ආණ්ඩු විසින් තොරාගත් වෙබ් අඩවි වලට පිවිසීම අඩපණ කල උදාහරණ තිබුනත් මේ වනවිට පවතින තත්වය ඊට වඩා සංකීර්ණයි. මේ විදියෙ වාරණයන් සාධාරණීකරනය කරන්න සාමාන්‍යයෙන් හේතුවක් විදියට ඉදිරිපත් වෙන්නේ, ව්‍යාජ තොරතුරු සංසරණයට ඉඩ ඇහිරීමක් එයින් සිදුවෙනවා කියන කාරණය. නමුත් ඇත්තටම ඕනෑම වර්ගයක තොරතුරු වාරණයකින් සිද්ධ වෙන්නෙ ව්‍යාජ තොරතුරු වලට වැඩි වටිනාකමක් සහ අවධානයක් ලබාදීම. මේ කරුණ වාරණයන් යෝජනා කරන පාර්ශව නොදන්නවා යැයි විශ්වාස කල නොහැකියි. ව්‍යාජ තොරතුරු ප්‍රචාරණය වැලැක්වීමට අවශ්‍යය නම් කල යුතුව තියෙන්නේ ඒ සඳහා අවශය්‍ය කරන ප්‍රති-ප්‍රචාරක යාන්ත්‍රණයක් ගොඩනැගීම මිසක්, වාරණය නෙමෙයි. බොහෝ විට මෙවැනි වාරණ හරහා බලාපොරොත්තු වෙන්නේ, වාරණ පනවන්නන්ගේ න්‍යායපත්‍රයන්ට ඇතිවන අභියෝග පාලනය කිරීම. දැනුම සහ තොරතුරු කියන්නේ සැමවිටම අධිකාරවාදී, දූෂිත, සහ අකාර්‍යක්ෂම පාලකයින්ට තර්ජනයක්.

අන්තර්ජාල වාරණය විශාල වශයෙන් සිදුකරන රටවල් සැලකුවහොත්, ඒවා සියල්ලම පාහේ සංවර්ධන දර්ශක වල පහලින් ඉන්නා රටවල්. ආර්ථික වර්ධන වේගය පැත්තෙන් සැලකුවහොත් චීනය පමණක් මෙයින් වෙනස් තැනක ඉන්නවා. ඒයට හේතුව චීන රජය සාමාන්‍යයෙන් හැසිරෙන්නෙ රජයකට වඩා ලාභ පමණක් අරමුණු කරගත් ව්‍යාපාරික සමාගමක් ලෙස වීම. චීනය ඇතුලෙ පුද්ගල නිදහස එතරම් වැදගත් දෙයක් ලෙස සලකන්නේ නැහැ. චීනය කියන්නේ අන්තර්ජාල වාරණය ඉතා සාර්ථක ලෙස පවතින පාලනය ආරක්ෂාකරගැනීම සඳහා බාවිතා කරන රටක්.

ශ්‍රී ලංකාව තුල අතිවිශාල චීන ආයෝජන ප්‍රමාණයක් තියෙනවා. නවතම පුවත් වාර්ථා අනුව චීනය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමක් ගැනත්, අන්තර්ජාලය සම්බන්ධ තාක්ෂණික සහාය එහි කොටසක් බවත් වාර්ථා වන්නේ එවැනි පසුබිමක. 4/21 ප්‍රහාරයත් සමග ලංකාව සම්බන්ධයෙන් චීන සහ ඇමරිකානු මැදිහත්වීම් වල තීව්රබවක් පෙනෙන්නට තියෙනවා. මෙහි ඇති ආසන්නතම තර්ජනය වටහා ගැනීම මේ මොහොතේදී ඉතා වැදගත්.

අන්තර්ජාල වාරණයේ පෙරගමන්කරු, චීනය සහ විනී ද පූ

මේ පින්තූරය ඔබට ලංකාවේ සමාජ ජාල ඇතුලෙ share කරන්නට බැරි වෙන්න පුළුවන්! චීනයේ නීති සහ තාක්ෂණය අනුව ‘විනී ද පූ’ කියන මේ කාර්ටුන් එක සම්බන්ධ සියලු දේ තහනම් කර ඇත්තේ චීන ජනපතිවරයාව විනී ද පූ ට සමාන කරමින් meme එකක් නිර්මාණය වීම නිසා. චීනය තුල ෆේස්බුක්, යු ටියුබ් ඇතුළු ප්‍රධානතම අන්තර්ජාල සේවා තහනම් කර ඇති අතර, චීන රජය විසින් එහි සිදුවන සියලුම අන්තර්ජාල ක්‍රියාකාරීත්වයන් පරීක්ෂාවට ලක් කරනවා. The Great Firewall යනුවෙන් හඳුන්වන අන්තර්ජාල පෙරහන් මෘදුකාංගයක් හරහා චීනය විසින් එහි වැසියන්ගේ අන්තර්ජාල බාවිතය සම්පූර්ණයෙන් පාලනය කරනවා. මෙම තාක්ෂණය කෙතරම් දියුණුද කිවහොත්, ඕනෑම වර්ගයක VPN සේවාවක් හඳුනාගෙන එය අඩපණකිරීමට එයට හැකියාව තියෙනවා.
ඒ ආකාරයේ තාක්ෂනික ව්‍යුහයක් හෝ නිශ්චිත නීති නොමැතිවත්, ෆෙස්බුක් වෙබ් අඩවිය තුල කෙටි කතාවක් පලකිරීමම ඇප නොලබන තරමේ වැරැද්දක් වී තිබෙන, ජනාධිපතිවරයා සම්බන්ධකර පලකරන ලද ෆෙස්බුක් සටහනක් හේතුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් අත්අඩංගුවට පත්ව ඇති පසුබිමක චීනය සහ ලංකාව අතර ඇතිකරගන්නා ගිවිසුම කොයි ආකාරයේ එකක් වේ දැයි සැක සහිතයි. මේ ගිවිසුමත් සමඟ එන චීන ආධාර, මුදල් පිටිපස්සෙ තියෙන එකඟතා ගැන සඳහනක් කොහේවත් සොයාගන්න නැහැ. මේ හැමදෙයක්ම අතර සාමාන්‍යයෙන් ඕනෑම දේකට පදනමක් ඇතුව හෝ නැතුව මාධ්‍ය සාකච්ඡා තියන, විරෝධතා පවත්වන ප්‍රධාන ධාරාවේ පක්ෂ-විපක්ෂ දේශපාලකයින් කිසිවෙක් මේ සම්බන්ධයෙන් නිශ්චිතව කතා නොකිරීමෙන් ඒ හැම කෙනෙක්ම අන්තර්ජාල වාරණය ගැන සෘජුව හෝ වක්‍රාකාරයෙන් එකඟවන බව තමයි පෙනෙන්නට තියෙන්නෙ.

ගැටුම් සහ කෝලහල වලට හේතුව සමාජ ජාල වෙබ් අඩවිද?

වර්තමානයේදි, එක්තරා විදියකට මිනිස්සු පොදුවේ දේශපාලකයින් සහ පවතින ආණ්ඩුව ගැන විශ්වාසය නැති වෙන්න ප්‍රධානතම හේතුව උනේ අන්තර්ජාලය කියන එක පැහැදිලියි. 4/21 ත්‍රස්ථවාදී ප්‍රහාරය වලක්වාගන්න නොහැකි වූ හේතුව රජයේ ආකාර්‍යක්ෂමතාව සහ නොසැලකිල්ල කියන එක මිනිස්සු දැන ගත්තෙ අන්තර්ජාලය නිසා. ඊට පසු ඇතිවූ කලහකාරී හැසිරීම් උනත් ක්ෂණිකව මිනිස්සුන්ට දැනගැනීමට ලැබීම නිසා තත්වය යම් තරමකට පාලනය වීමකුත් සිදුවූ බව පෙනෙන්නට තියෙනවා. අනෙක් අතට අන්තර්ජාලය සහ සමාජ ජාල වෙබ් අඩවි හරහා ව්‍යාජ ප්‍රචාර, වෛරී ප්‍රකාශන හුවමාරු වෙනවා උවත් ඒවා ඒ අකාරයෙන් විවෘතව හුවමාරු වීම නිසාම, එම තොරතුරුවල ව්‍යාජ බව හෙලිදරව් වීමට ඉඩකුත් හැදෙනවා. සමාජ ජාල හරහා හුවමාරු වෙන වෛරී ප්‍රකාශන වල සාමාන්‍යයෙන් දකින්න ලැබෙන දෙයක් තමයි ඒවාට විරුද්ධ ප්‍රතිචාරත් ක්ෂනිකවම ලැබීම.‍

කටකතා පැතිරීම ගැන අන්තර්ජාලයේ සහ වෙනත් තැන්වල පැතිරුණු කාටුනයක්

කෝලාහලවලට හෝ ප්‍රචන්ඩත්වයට ‘හේතුව’ පුවත්පත්, රූපවාහිනී, ගුවන් විදුලිය හෝ අන්තර්ජාලය නොවෙයි. අවස්ථාවාදී දේශපාලනය සහ වාර්ගික අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් තමයි ඒවාට හේතු වෙන්නෙ. ඉතිහාසය ගැන හිතා බැලුවහොත් 1915 කෝලාහලය, 1956/58 කෝලාහල, 1971, 1983 කලු ජූලිය, 1988–1989, 1997 කළුතර කෝලහල, 2001 මාවනැල්ල කෝලාහලය වැනි ඒවා ඇති වුනේ සමාජ ජාල වෙබ් අඩවි වල දායකත්වයක් ඇතිව නෙවෙයි.

නමුත් ක්‍රමානුකූලව මේ ගැටළු වලට හේතුව අන්තර්ජාලය කියල මාධ්‍ය හරහා සහ ජනමතයක් හදන්න මොවුන් උත්සහ කරමින් ඉන්නවා. මේකට ඔව්න්ට සම්බන්ධ පක්ෂ සහ පුද්ගලයන් යොදාගැනීම දකින්න පුළුවන්. සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතා කරමින් ඔවුන් වාරණය සඳහා එකඟතාවය නිෂ්පාදනය (Manufacturing consent) කරමින් සිටිනවා.

කිසිම දේශපාලකයෙක් අන්තර්ජාල වාරණයට එරෙහිව කතා නොකරන්නේ ඇයි?

ලංකාවේ ප්‍රධාන ධාරාවේ ඉන්න දේශපාලකයින් කියන්නෙ පොදුවේ බලලෝභී, අවස්ථාවාදී පිරිසක් කියන කාරණයට අපි හැමෝටම එකඟ වෙන්න පුලුවන්. තමන්ගේ අවස්ථාවාදී හා දූෂිත ක්‍රියාකාරීත්වය ඡන්දදායකයින් දැක ගන්නවා කියන එකට මේ අය හැමෝම බයයි. එතැනදි අන්තර්ජාලය තුල නිදහසේ තොරතුරු සංසරණය වීම මේ අයගේ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීමට තියෙන විශාල බාධාවක්.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මේ අයට රිසි සේ හසුරුවාගන්න පුලුවන් වුවත් අන්තර්ජාලය කියන්නෙ එසේ පාලනය කල හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා අන්තර්ජාලය නැමැති අවතාරය පාලනය කල හැකි සීමාවකට ගෙන ඒම මේ හැම කෙනෙකුගේම පොදු හීනයක්. ඒ නිසා අන්තර්ජාලය නියාමනයට නීති ගෙන ඒම මේ අයගෙ ප්‍රමුඛතා ලැයිස්තුවෙ ඉහලින්ම තියෙන බව පැහැදිලියි.

අන්තර්ජාල වාරණය යනු රජය විසින් ත්‍රස්ථවාදීන්ගේ අවශ්‍යතා ඉටුදීමකි.

අන්තර්ජාලය සහ සමාජ ජාල වෙබ් අඩවි අද වන විට හුදෙක් විනෝදාස්වාදය සඳහා හෝ හිත මිතුරු සම්බන්ධතා පවත්වාගැනීම උදෙසා පමණක් භාවිතා වෙන්නෙ නැහැ. ඊට වෙනස්ව වඩා පුළුල් පරාසයක කටයුතු සඳහා මේ වන විට සමාජ ජාල භාවිතා වෙනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ගේ සිට විවිධ ක්ශේත්‍රයන්ගේ මහා පරිමාණ ව්‍යාපාර දක්වා ආයතන තමන්ගේ සේවකයන් මෙන්ම සේවාලාභීන් අතරත් සංනිවේදන කටයුතු සහ ක්ෂණිව පණිවිඩ හුවමාරුව සඳහා සමාජ ජාල වෙබ් අඩවි බාවිතා කරනව වගේම සමහර රාජ්‍ය ආයතන පවා සංනිවේදන කටයුතු සඳහා සමාජ ජාල භාවිත කරන්නේ එහි ඵළදායිතාවය පිලිබඳව ඇති අවබෝධය නිසාවෙන්. ඒ නිසා මෙවැනි වාරණ හේතුවෙන් විවිධ ක්ෂේත්‍ර වල දෛනික වැඩ කටයුතු අඩපණ කිරීමට හේතු වෙනවා ඒ නිසා සිදුවන ආර්ථික හානියත් විශාලයි.

2018 වසරේ ජූලි දක්වා රටවල් 11ක Facebook වාරණය කිරීම් විවිධ අවස්ථාවල ක්‍රියාත්මක වී ඇති අතර ඊට ලංකාවද ඇතුලත් වේ. 2018 මාර්තු 7 වන දින සිට දින 8ක් මෙරට Facebook ඇතුලු සමාජ ජාල වාරණයට ලක්විය.
සමහර වාර්ථා වලට අනුව පසුගිය වසරේ සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීමෙන්, දින අටකට ඇ.ඩො. මිලියන 30[7] (මෙය ගැටලුකාරී වාර්තාවක්)පාඩුවක් වූ බව පැවසෙනවා. ත්‍රස්ථවාදී ප්‍රහාර වල අරමුණත් ආර්ථික හානි සහ දෛනික ජන ජීවිතය අඩපණ කිරීම. එබැවින් අන්තර්ජාල වාරණය හරහා රජය විසින් සිදුකරනු ලබන්නේත් ත්‍රස්ථාවාදීන්ගෙ අරමුණු වලට සහය දීමක්.

චීන-ඇමරිකන් සීතල යුද්ධය, ජාතිකවාදීන්, වාමාංශිකයින් සහ ලිබරල්වාදීන්

අන්තර්ජාල වාරණය සම්බන්ධයෙන් කුප්‍රකටම උදාහරණය චීනය වුවත්, ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් මෙන්ම රුසියාවද ඊට නොදෙවෙනි නැහැ. ලොව පුරා අන්තනෝමතික පාලනතන්ත්‍රයන් (ශ්‍රී ලංකාව ද ඇතුලුව) විසින් සිදුකරන අපරාධ හෙලිකරන WikiLeaks වෙබ් අඩවියේ ආරම්භකයෙකු වන ජුලියන් අසාන්ජ්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සලක්නනෙ ත්‍රස්ථවාදියෙකුටත් වඩා දරුණු ආකාරයට. මීට අවුරුදු කිහිපයකට උඩදි ඇමරිකානු ජාතික එඩ්වඩ් ස්නෝඩන් විසින් ඇමරිකානු රජය විසින් පවත්වාගෙන යන PRISM නැමැති රහසිගත Surveillance වැඩසටහනක් පිළිබඳව හෙලි කිරීම නිසා ඔහු තවමත් ගතකරන්නේ පිටුවහල් ජීවිතයක්.

ලංකාවේ ජාතිකවාදීන් (සහ සමහර වාමාංශිකයින්) පොදුවේ චීනය සම්බන්ධයෙන් යම්තාක් දුරකට මිත්‍රශ්‍රීලි ආකල්පයක් දරනව වගේම ලිබරල්වාදී කව ඇතුලෙ ඇමරිකානු බලපෑම් කෙරෙහි සහයෝගී ස්ථාවරයක් පෙන්වනවා. නමුත් යථාර්තයේදී මේ බල කඳවුරු දෙකම නියෝජනය කරන්නේ තමන්ගෙ බල දේශපාලනික-ආර්ථික න්‍යායපත්‍ර වලට අනුකූලව පරිවාරයේ රටවල් වල දේශපාලන සහ ආර්ථික අවශ්‍යයතාවයන් සියුම්ව හැසිරවීම සහ බලය තහවුරු කර ගැනීම. මේ දෙක අතර ඇත්තේ උපාය මාර්ග පිළිබඳ වෙනස් කම් පමණයි. මේ බල කඳවුරු දෙකම අන්තර්ජාල නිදහස සම්බන්ධයෙන් දක්වන්නෙ එකම ආකල්පයක් බව පැහැදිලියි. චීනය සෘජුව වාරණය සහ මර්ධනය යොදාගන්නා අතර ඇමරිකානු බල හවුල වක්‍රාකාරයෙන් එය සිදුකරනවා. මේ බල කඳවුරු දෙක සමඟම එකගෙයි කන්න යන ලංකාවේ තත්වය කුමක් වෙයිද කියන එක මේ මොහොතේ අපි ඉස්සරහ තියෙන වැදගත් ප්‍රශ්නයක්. ලංකාවේ සියලුම ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සහ දේශපාලන නියෝජිතයින් පොදුවේ මේ තත්වය ඔවුනගේ බලලෝභී දේශපාලනික උවමනාවන් සඳහා ආයෝජනය කර ගන්න උත්සහ දරණවා හැරෙන්නට, ඇත්ත ප්‍රශ්නය පිළිබඳව සංවේදී වන බවක් පෙනෙන්නට නැහැ.

ඩිජිටල් තාක්ෂණය, අන්තර්ජාලය සහ තොරතුරු නිදහස වැනි සංකල්ප තවමත් ලංකාවේ සමාජයට ආගන්තුක නිසාද කොහෙද තවමත් ලංකාවේ සමාජ ක්‍රියාකාරිකයින් මේ සම්බන්ධව ප්‍රමාණවත් හඩක් නඟනවා පෙනෙන්නට නැහැ.

Facebook, ශ්‍රී ලංකා රජය සහ පවාදීමේ කුමන්ත්‍රණය

ෆේස්බුක් ආයතනය පරිශීලකයින්ගේ පුද්ගලිකත්වය සහ අයීතීන් ගැන ඒ තරමට තැකීමක් නොකරන බව පහුගිය කාලයේ ඔවුන්ගේ හැසිරීමෙන්ම පෙන්නල දීල තියෙන දෙයක්. කුප්‍රකට Cambridge Analytica සිද්ධියත්, ඔවුන් එක් එක් රටවල බලයේ ඉන්න රජයන් සමඟ ඇති කර ගන්නා ගිවිසුම්වල ස්වභාවයත් ඊට උදාහරණ කිහිපයක් පමණයි.

2018 පෙබරවාරි සමාජ ජාල අඩවි තහනම් කල කාල සීමාව තුල ෆේස්බුක් ආයතනය සහ රජය සමඟ කල සාකච්ඡා වලින් පසුව යම් යම් එකඟතා වලට ආ බව ප්‍රකාශ උනත්, ඒවා නිශ්චිතවම කුමක්දැයි එක් පාර්ශ්වයකින් හෝ ප්‍රකාශයට පත්වුනේ නැහැ. ඉන් පසුව 2018 ඔක්තෝබර් බල අර්බුධය වෙලාවෙ එ.ජා.ප මහ ලේකම් විසින් ෆේස්බුක් ආයතනයට ලියුමක් යවමින් පක්ෂයේ ෆේස්බුක් පිටු වල තොරතුරු රජයට ලබා නොදෙන ලෙස ඉල්ලා සිටිනවා. එයින් පැහැදිලි වෙන එක දෙයක් තමයි රනිල් වික්‍රමසිංහල අගමැති වශයෙන් සිටි කාල සීමාව තුල ෆේස්බුක් ආයතනය සහ රජය සමඟ එවැනි එකඟතාවයකට එලැඹිලා තිබෙනව කියන එක.

UNP Twitter පිටුවේ ෆේස්බුක් තහංචි ගැන සඳහන - Colombo Telegraph

අනෙක් කාරණය තමයි පසුගිය සති කිහිපයේ ජනාධිපතිවරයා ඉලක්කර කරගත් විවේචන ඉතා ඉක්මනින් ෆේස්බුක් වෙබ් අඩවියෙන් ඉවත් වූ ආකාරය. ඊට අමතරව, “සිංහල පාරිභෝගික සංසදය” වැනි ෆෙස්බුක් සමූහ එක රැයින් අතුරුදහන් වූ ආකාරය අපි දැක්කා. එම කණ්ඩායම් වල මතවාද කුමක් වුවත් කල යුතුවන්නේ ඒවා වාරණය කිරීම නෙමෙයි, ඔවුන් යම් නීති විරෝධී ක්‍රියාවක් කරන්නේ නම් ඒවාට විරුද්ධව ක්‍රියා කිරීමයි. එකට අවශ්‍යය නීති ලංකාවේ නීති පද්ධතිය තුල තියෙනවා.

පසුගිය නොවැම්බරයේ Colombo Telegraph වෙබ් අඩවියේ සඳහන් වූයේ ඔක්තෝම්බර් අර්බුධය අතරතුර මෛත්‍රීපාල සිරිසේන විසින් ෆේස්බුක් වෙබ් අඩවියේ නියෝජිතයින් සමඟ කල සාකාච්ඡාවකදී දේශපාලකයින් 16 දෙනෙකුට අදාලව ෆෙස්බුක් ආයතනය සතුව පවතින දත්ත ඉල්ලා සිටි බවයි.

ඊට අමතරව 2018 නොවැම්බර් මුල් සතිය තුල ෆේස්බුක් ආයතනයේ දකුණු ආසියාවේ රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳව ජ්‍යෙෂ්ට නිලධාරියෙක් ජනාධිපතිවරයා හමූවූ බව පුවත් වාර්තා වල සඳහන් වෙනවා. ඊට අමතරව දකුණු ආසියාවේ රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳව ෆෙස්බුක්හි අධක්‍ෂ අන්ක්හි දාස් පසුගිය ජනවාරි 23 දා මහින්ද රාජපක්ෂ හමු වෙනවා. ඒ ආරක්ෂාව සහ අන්තර්ජාල තහනම ගැන සාකච්ඡා කිරීමට බවයි පැවසෙන්නේ. නමුත් ඒ සාකච්ඡාවන් වල අන්තර්ගතය පිළිබඳව කිසිවක් ප්‍රසිද්දියට පත්වෙන්නෙ නැහැ.

ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන සියල්ලක්ම පාහේ කුමක් හෝ දේශපාලන කණ්ඩායමකගේ න්‍යායපත්‍රවලට අනුකුලව ක්‍රියා කරනවා කියන එක ප්‍රසිද්ධ රහසක්. ඉහත කරුණු වලින් පෙනී යන්නේ බලයේ සිටින දේශපාලකයින්ට අවශ්‍යය කරන්නෙ ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි පවා තමන්ගේ පාලනයට නතු කර ගැනීම කියන එක. ෆේස්බුක් ආයතනය ද ලාභ වෙනුවෙන් රජය සහ දේශපාලකයින්ගේ ඉල්ලීම් වලට අනුකූලව ක්‍රියාකරන බව තමයි මෙයින් පෙනෙන්නට තියෙන්නෙ.

තීරණාත්මක මොහොතක්

සියලු දේ සලකා බැලුවහම අන්තර්ජාල නිදහස සම්බන්ධයෙන් මේ ගෙවීයන්නේ තීරණාත්මක මොහොතක් බව පැහැදිලියි. මේ පිලිබදව සිවිල් සංවිධාන, විකල්ප මාධ්‍ය, සමාජ ක්‍රියාකාරිකයින්, වගේම නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය විශ්වාස කරන සියලු දෙනාම එකතුව හඩක් නැඟිය යුතු වෙලාවක් දැන්. සමාජ ජාල තුල එක් එක් න්‍යායපත්‍රවලට අනුකූල මතවාද හසුරුවන පුද්ගලයින්, ආගමික කණ්ඩායම් හැම කෙනෙකුටමත් මේ කතාව අදාලයි. ප්‍රකාශනයේ නිදහස කියන දේ අනෙකාගෙ කතාවට අපි කෙතරම් කැමතිද, පක්ෂපාතද කියන දේ අදාල වෙන්නෙ නැහැ. මේ ඇවිත් තියෙන්නේ එක්ව නිදහස ආරක්ෂා කර ගන්නවාද, වෙන්ව තියෙන නිදහසත් නැතිකරගන්නවා කියල තීරණයක් ගත යුතු මොහොතක්.

ලොකුම ප්‍රශ්නෙ මේකද?

ප්‍රධාන ධාරාවෙ සංවාදයට ලක්වෙන දෙවල් වලට පිටින් යම් අදහසක් ඉදිරිපත්වෙන කොට නිතරම එල්ල වෙන විවේචනයක් තමයි, “ඕකද ලොකුම ප්‍රශ්නය?” කියන එක. ඇත්තටම ලොකුම ප්‍රශ්නය මොකද්ද කියන එකට නිශ්චිත උත්තරයක් දෙන්න කාටවත් පුලුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් සමාජ-දේශපාලනික කාරණා වලදි තියෙන්නෙ ප්‍රශ්න වල අන්තර් සම්බන්ධයක් මිසක් අනුපිළිවෙලක් නෙමෙයි. මේක ලොකුමද නැද්ද කියන එකට උත්තරය කුමක් උවත්, අන්තර්ජාල නිදහස කියන දේ මේ මොහොතේ නිශ්චිතවම තියෙන වැදගත්ම සහ මඟ නොහැරිය හැකි ප්‍රශ්නයක් කියන එක පැහැදිලියි.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රකාශනයේ නිදහස, තොරතුරු දැනගැනීමට ඇති අයිතිය කියන දේවල් මානව ශිෂ්ඨාචාරයේ ප්‍රගමනයේ මූලිකම කාරණා වෙද්දි, එහි තාක්ෂණික වැඩබිම වන අන්තර්ජාලයේ නිදහස ආරක්ෂා කරන ගැනීම මූලීක අරගලයේම කොටසක්. ලෝකය පුරා අන්තර්ජාල නිදහස පිළිබඳ කතිකාවන් සහ ව්‍යාපාර බිහිවෙලා තියෙන්නෙ ඒ හේතුව නිසා.

අන්තර්ජාලයට නීති පනවන්න ඉඩ නොදෙමු!
සියලුම වර්ගයේ වාරණයන්ට එරෙහි වෙමු!
අන්තර්ජාලය අපේ අයිතියක්!
අන්තර්ජාලය අපේ නිදහස!
අන්තර්ජාලය අපේ හඬ!
අන්තර්ජාලය අපේ බලය!
අන්තර්ජාලය අපේ!

මේ පිළිබඳව අදහස් අපේ හා බෙදාගන්න. https://riot.im/app/#/group/+netfreedom:matrix.org

--

--