අන්තර්ජාල නිදහස සඳහා වූ ව්‍යාපාරය

අපි කවුද?

අපි කුමන ආකාරයේ හෝ සීමාකිරීම්/ බාධාවන්ගෙන් තොරව අන්තර්ජාල පරිහරණයට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින්ගේ එකමුතුවක් වෙමු.

අපි වාරණයකින් තොරව තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ‌පෙනී සිටිමු. නිදහස සහ සමානාත්මතාවය අගය කරමු. වර්ගවාදය ප්‍රතික්ශේප කරමු. එහෙත් කුමන ආකාරයේ හෝ තොරතුරු වාරණයකට එකඟ නොවෙමු.

අපේ අරමුණු

  • සීමාකිරීම්/ බාධාවන්ගෙන් තොරව අන්තර්ජාල පරිහරණයට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටීම.
  • අන්තර්ජාල වාරණය සහ සීමාකිරීම් පොදුවේ ජන ජීවිතයට බලපාන ආකාරය සොයාබැලීම සහ දැනුවත් කිරීම.
  • අන්තර්ජාල වාරණයකදි හෝ සීමාකිරීමකදි ඒ වෙනුවෙන් සුදුසු පරිදි ක්‍රියාත්මක වීම.

අන්තර්ජාලය සහ ජන ජීවිතය

ශිෂ්ටාචාරයේ දියුණුව පිණිස මානවයා නිර්මාණය කළ අග්‍රගන්‍ය මෙවලමක් වූ අන්තර්ජාලය වත්මන් ලෝකයේ මානව නිදහසේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සන්නිවේදන විප්ලවයේ සංකේතය බඳු වෙයි. වර්තමානයේ යම් රටක් මානව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට යම් ප්‍රතිපත්තිමය තීරණ ගන්නේද, අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වීමේ නිදහස සහ එම හැකියාව ඉහල නැංවීම එම ප්‍රතිපත්තීන්හි මූලික අරමුණක් වන්නේය.

එවන් මෙවලම් විටෙක බලාපොරොත්තු නොවූ අරමුණු පිණිස ඇතැමුන් යොදා ගත්තද ඒවායින් සමාජ ප්‍රගමනය වෙනුවෙන් සිදු වන මෙහෙවර ප්‍රතික්ෂේප කළ නොහැක.

අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වීමේ නිදහසට එරෙහි වන සහ ඒ සඳහා සීමා පනවන රාජ්‍යයන් බොහෝ විට දුෂණය, වංචාව අතින් පරිහානියට පත් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවතේ ගමන් ගන්නා රාජ්‍යයන් බවට සැලකේ. ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් ආදර්ශයට ගන්නේ මානව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගන්නා රාජ්‍යයන් ද එසේ නැතහොත් චීනය, උතුරු කොරියාව වැනි දුෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍යයන්ද යන්න ප්‍රශ්න කිරීමේ කාලය උදා වී ඇත.

අන්තර්ජාලය හා අන්තර්ජාල සේවා අවහිරකිරීම් සහ වාරණය කිරීම් දිගින් දිගටම සිදු වුවහොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ චීනය, උතුරු කොරියාව වැනි දුෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍යයක් ලෙස අපකීර්තියට ලක්වීම වැලැක්විය නොහැක.

මේ අදුරදර්ශී ක්‍රියාකලාපයන් නිසා ශ්‍රී ලංකාවේ කීර්තිනාමය කෙලෙසීමෙන් සංචාරක ව්‍යාපාරය හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අප රටට හිමිවී තිබෙන කීර්තිනාමය කෙලෙසී ගොස් විශාල ආර්ථික අලාභයන්ට මුහුණ පෑමට සිදුවනු ඇත.

අන්තර්ජාල/සමාජ ජාල වෙබ් අඩවි වාරණය සහ එහි බලපෑම්

සමාජ ජාල වෙබ් අඩවි යන්න අද වන විට හුදෙක් විනෝදාස්වාදය සඳහා හෝ හිත මිතුරැ සම්බන්ධතා පවත්වාගැනීම උදෙසා පමණක් භාවිතා වන්නක් නොවේ. ඊට වෙනස්ව වඩා පුළුල් පරාසයක කටයුතු සඳහා මේ වන විට සමාජ ජාල භාවිතා වේ. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ගේ සිට විවිධ ක්ශේත්‍රයන්ගේ මහා පරිමාණ ව්‍යාපාර දක්වා ආයතන තමන්ගේ සේවකයන් මෙන්ම සේවාලාභීන් අතරත් සංනිවේදන කටයුතු සහ ක්ෂණිව පණිවිඩ හුවමාරුව සඳහා සමාජ ජාල වෙබ් අඩවි බාවිතා කරන අතර සමහර රාජ්‍ය ආයතන පවා සංනිවේදන කටයුතු සඳහා සමාජ ජාල භාවිත කරන්නේ එහි ඵළදායිතාවය පිලිබඳව ඇති අවබෝධය නිසාවෙනි. එබැවින් මෙවැනි වාරණයන් විවිධ ක්ෂේත්‍ර වල දෛනික වැඩ කටයුතු අඩපණ කිරීමට හේතුවේ.

ඊට අමතරව වෙනත් විවිධ අන්තර්ජාල සේවා සපයන වෙබ් අඩවි සඳහා සම්බන්ධවීමට සමාජ ජාල ගිණුම් භාවිතා වේ. උදාහරණයක් ලෙස සමහර වෙබ් අඩවි වලට ඇතුලුවීම සඳහා අනන්‍යතාව තහවුරුකිරීමට ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවිවල ගිණුම් අවශ්‍යය වේ. එබැවින් සමාජ ජාල අඩවි සඳහා ප්‍රවේශය අවහිර කිරීමකදි ‌ඒවාට අමතරව වෙනත් අත්‍යයාවශ්‍යය වෙබ් අඩවි සේවා සඳහා පිවිසුම් හැකියාවද අවහිර වේ.

බොහෝමයක් සමාජ ජාල හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සහ ඩිජිටල් අලෙවිකරණ අද සුලබව දැකිය හැකි දෙයකි. මෙරට සැලකිය යුතු ආයතන ගණනාවක් මෙන්ම තනි පුද්ගල ව්‍යාපාර ද මේ ආශ්‍රීතව මේ වන විට බිහිවී ඇත. සාම්ප්‍රදායික අපනයන ආදායම් මාර්‍ග කඩා වැටෙන අවදියකදි අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම රටේ ආර්ථීකයට පමණක් නොව සැලකියුතු පිරිසකගේ රැකියා ගැටලුවටද විසදුමක් වී හමාරය.

ශ්‍රී ලංකාවේ දල වාර්ෂික ඒක-පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4000 ක වැනි මට්ටමක, එනම් ශ්‍රී ලංකා රුපියල් මිලියන 0.5 වැනි අගයක් ගන්නා මෙකල, බහුතර ජනයා දිනෙන් දින වැඩිවන අධික උද්දමනය හේතුවෙන් පීඩාවිදින තත්වයක් යටතේ, අන්තර්ජාල භාවිතයෙන් සිදුකරන අර්ධකාලීන රැකියා මඟින් වැඩිවන ජීවන වියදම යම් තරමකට හෝ අවම කරගැනීමට ඇති එවැනි අවස්ථාද අන්තර්ජාල පිවිසුමට බාධා පැමිණවීම තුලින් අවාසනාවන්ත අයුරින් අහිමි වේ.

මෙය ඉතා බරපතල තත්වයකි. හදිසි ගංවතුරක් හේතුවෙන් වගා විනාශය නිසා තම ජීවිකාව අහිමිවන ගොවියකු මුහුණ දෙන ගැටළුව තරමේම අර්බුධයකි. මේ හේතුවෙන් විදේශීය ආයතන සහ පුද්ගලයින් විසින් මෙරට වෘත්තිකයින්ට ලබා දුන් ව්‍යාපෘති අසාර්ථකවීමට නියමිත අතර, එය ආනාගත වෘත්තීමය අවස්ථා සඳහා අහිතකර ලෙස බලපානු ඇත.

මෘදුකාංග සංවර්ධනය සඳහා බාවිතා වෙන යම් යම් තාක්ෂණික යෙදවුම් (NPM/ php.net ආදි) සඳහා ප්‍රවේශය අහිමිවීම, තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ බහුලව බාවිතා වෙන VPN සේවා අවහිර කිරීම මඟින් දේශීය මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පුලුල් පරාසයක විහිදෙන දුෂ්කරතාවයන් රැසකට මුහුණ පෑමට සිදුවී ඇත.

විකල්ප විසඳුම් හේතුවෙන් මතුවීමට නියමිත ගැටළු

සමාජ ජාල වෙබ් අඩවි අවහිර වීමත් සමඟ බොහෝ පිරිස් විවිධ වූ විකල්ප භාවිතයට යොමු විය. මෙහිදී එම විකල්ප විසදුම් කොතරම් දුරට ආරක්‍ෂිතද යන්න තැකීමකට ලක් නොකිරීම මඟින් අන්තර්ජාල ආශ්‍රිත ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයින් මෙතෙක් මුහුණ නොදුන් ආකාරයේ තර්ජන වලට ඉදිරියේදී මුහුණ පෑමට සිදුවෙනු ඇත.

Malware/ Spyware වර්ගයේ හානිකර මෘදුකාංග ස්මාට් දුරකථන සහ පරිගනක ආශ්‍රිත උපාංග තුලට ඇතුල්වීම මඟින් විශේෂයෙන් අන්තර්ජාල ගිණුම් ආශ්‍රිත මුරපද ආදිය බාහිර පාර්ශව අතට පත්වීම හරහා ජනතාවගේ පුද්ගලිකත්වය සිදුවන හානිය අතිමහත්ය. මේ හේතුවෙන් මෙරට ජනතාවගේ ඩිජිටල් දත්ත හා බුද්ධිමය දේපළ අන්සතුවීම ආපසු හැරවිය නොහැකි ගැටළු වලට මුලපුරනු ඇත.

වාරණය හසුරුවන ක්‍රමවේදය කුමක්ද? කවුරුන් විසින්ද?

මොනයම්ම ආකාරයේ හෝ අන්තර්ජාල වාරණයක/සීමාකිරීමක දී ඇති අනෙක් ප්‍රධානතම ගැටළුව නම් එසේ වාරණයට ලක්කරනු ලබන්නේ කුමක්ද සහ එම තීන්දු-තීරණ ගනු ලබන්නේ කවුරුන්ද යන ප්‍රශ්නයයි. එහිදි විනිවිද බාවයකින් යුතු නිශ්චිත ක්‍රියාපටිපාටියක් හෝ මූලධර්මයක් නොමැතිව මෙසේ අත්තනෝමතික ලෙස සිදුකරන අන්තර්ජාල අවහිරකිරීම් සහ වාරණයන් යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරටෙහි පුරවැසියන්ට ලැබී ඇති අයිතීන් අමු අමුවේ උල්ලංඝණය කිරීමකි. මේ තත්වයට එරෙහිව ජනතාව පොදුවේ තම විරෝධය පලකළ යුතුව ඇත.

අන්තර්ජාල නිදහස සඳහා වූ ව්‍යාපාරය — 2018 මාර්තු
https://www.facebook.com/groups/internet.freedom.in.srilanka

--

--