Helafuturism

Prathi
Lankaverse Magazine
3 min readJul 20, 2022

Helafuturism යනු ලාංකේය සංස්කෘතීන් සහ විශ්වාසවල අනන්‍යතාවය, නවීන විද්‍යාව හා තාක්ෂණය සහ අනාගතවාදී අදහස් සමඟ සංයෝජනය වෙමින් නිර්මාණය වූ අනාගතයක් පිළිබඳ දෘශ්ටිවාදී සංකල්පයකි. (Afrofuturism සමඟ සමානකමක් දක්වයි.) මෙම සංකල්පය ගොඩනැගීමට ආභාශය වනුයේ ශ්‍රී ලාංකේය යුටෝපියානු ෆැන්ටසියයි,

ශ්‍රී ලාංකේය යුටෝපියානු ෆැන්‍ටසිය

ලාංකේය පුරාවෘත්ත (උදා: මහාරාවණ, සිංහබාහු, විජය-කුවේණි…), ලාංකේය ඉතිහාස කතා (විදේශීයන් සමඟ යුධවැදීම්, ශ්‍රේෂ්ඨ රජවරුන් සහ ඔවුන්ගේ රණශූරයන්…) සහ ලාංකේය අතීත සාහිත්‍ය මූලාශ්‍රවලින් උලුප්පා දක්වන ශ්‍රී ලංකාවේ විශේෂත්වයත් ඒ මඟින් සිතේ ඇතිවන අභිමානයත් සමඟ නිර්මාණය වන “ලෝකයෙන් උතුම්ම රට ලංකාව” යන සැම අතින්ම පිරිපුන් දේශපාලනමය සහ ආර්ථිකමය අතින් ස්ථාවර, ලොවකැපී පෙනෙන, උසස් ශ්‍රී ලාංකේය සමාජයක් පිලිබඳ ෆැන්ටසියක් මෙසේ හඳුන්වයි.

Helafuturism යන වචනය ගොඩනැගෙන්නේ, Hela (හෙළ — ශ්‍රී ලංකාවට අයත්) යන උපසර්ගය Futurism (අනාගතවාදය) යන පදය සමඟ එක්වීමෙනි.

අනාගතවාදය යන්නෙන් අදහස් වෙන්නේ නවීන විද්‍යාව හා තාක්ෂණය, ශක්තිය, වේගය, විද්‍යා ප්‍රබන්ධ, වෛකල්පිත ඉතිහාසයන් ආදිය මුල්කර ගනිමින් නිර්මාණය වූ ලෝකයක් පිළිබඳ සංකල්ප ගොන්නකි.

එනයින් Helafuturism, දේශාභිමානයෙන් යුක්ත ශ්‍රී ලාංකිකයාගේ ඇසින් අනාගතය දෙස බැලීමකි. මෙයින් කලා සහ සංස්කෘතික සංකල්පයන් පමණක් නොව, ලිංගික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකික සාමාජය සොයන පුද්ගල නිදහස ප්‍රමුඛ කොටගත් නවීනත්වය (උදා : ලිංගිකත්වය, කාන්තා විමුක්තිය වැනි දෑ පිළිබඳ සාම්ප්‍රදායික දේශීය රාමුවෙන් බැහැරව නව ඇසකින් බැලීම) පිලිබඳව ද සාකච්ඡාවට බඳුන්වේ.

Helafuturismහි ප්‍රධාන අරමුණ, “ශ්‍රී ලාංකේය සංස්කෘතීන් සහ විශ්වාස අභිමානයෙන් යුක්තව සැමරීම” යන්නට කාලීන අර්ථකතනයක් ලබාදීම සහ ඒ පිළිබඳව කතිකාවතක් ගොඩනැඟීමයි. දශක ගණනාවක් මුලුල්ලේ ලංකාව තුළ ඇතිව පවතින දේශපාලනික, ආර්ථික සහ සමාජයීය ගැටලු සහ ව්‍යාකූලභාවයන් හේතුකොටගෙන ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අසාර්ථකව ඇතිබව ප්‍රකට කරුණකි. එසේම මෙම ගැටලු නිසා ශ්‍රී ලංකාව සමාජයක් වශයෙන් අනෙක් දියුණුරටවල් සමඟ කරට කර සිටීමට තරම් තාක්ෂණික, අධ්‍යාපනික, ආර්ථිකමය දියුණුවක් අත්කරගෙන නැත. තාක්ෂණික ක්ෂේත්‍ර වේගවත්ව දියුණුවන සහ ගෝලීයකරණයේ නව මුහුණුවර වෙන Metaverse වැනි නව සංකල්පයන් ක්‍රමයෙන් ලොවපුරා ජනතාවගේ ජීවිත තුල සාමාන්‍යකරණයවන ‍යුගයක, ශ්‍රී ලංකාව තුළ ඇතැම්විට අඛණ්ඩ විදුලිබලය පවා ලබාගැනීම දුෂ්කරව ඇත. මේ සියළු ගැටලුවලට හේතුව ලෙස තරුණ පරපුර සිතන්නේ ශ්‍රී ලංකාව තුළ දශක ගණනාවක් පුරා පවතින දේශපාලන තන්ත්‍රයේ අකටයුතුකම් සහ පරම්පරා ගණනාවක් තිස්සෙ සමාජයක් වශයෙන් ආකල්ප යාවත්කාලීන වීමක් සිදුනොවීමයි. මේ කාරණා හේතුකොටගෙන වර්තමාන තරුණ පරපුර තුළ ඇතිව පවතින ශ්‍රී ලංකාව පිළිබඳ කලකිරීම සහ බලාපොරොත්තු කඩවීමත්, අතීත ලෝකය සහ වර්තමානය එකට ගත්කළ “ශ්‍රී ලාංකේය යුටෝපියානු ෆැන්ටසිය” පිළිබඳව ඇති ලැජ්ජාවත් නිසා ඔවුන් තුළ දේශභිමානී හැඟීම් ගිලිහී යාමට පටන්ගෙන ඇත. එසේම මේ සමඟම ලාංකේය සංස්කෘතීන් ඇගයීමද අගාධයට යමින් පවතී.

Helafuturism කරළියට පැමිණෙන්නේ මෙ නිසාවෙනි. එයින් සිදුවන්නේ ලාංකේය යුටෝපියානු ෆැන්ටසියෙන් ආභාශය ගෙන දේශාභිමානය සඳහා කාලීන චිත්‍රයක් ගොඩනැගීමය. එමඟින් ලාංකේය අනන්‍යතාවය රැකගනිමින් ලෝකය සමඟ යාවත්කාලීන වන්නේ කෙසේද යන්න පිළිබඳව කතිකාවතක් ගොඩනැගීමට මග විවර කරයි.

Related aesthetics: Afrofuturism, Cyberpunk, CBM, EDM, Generative art, Sci-Fi, Newtro

Related media/concepts:

Sakmadala Futuristic Sinhala typeface — Samadara ginige

Helpill — Subee

Sagawwa — Subee

Kuweni — Charith Attalage Ridma Weerawardena ft.Dinupa Kodagoda

Heritage — Centigradz

The Knight Out — High School Junkies

Galana Ganga — Charith Attalage ft.Ravi Jay

Kuweni — Live in concert by Charith Attalage

Gallery

Helafuturism 1.0 — Prathi
Helafuturism — 2.0
Meditating 2022 — Sangeeth Madurawala
Celebrity Apsara — Sangeeth Madurawala
Helafuturism 4.0..4.9 (pattern collection) — Prathi

--

--