බිහිරි පිහිනුම්කරුවන්ගේ සහයට පැමිණෙන “SwimSight”

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝක ජනගහනයෙන් 5% ක් ශ්‍රව්‍ය ආබාධ වලින් පීඩා විඳියි. වර්ෂ 2050 වන විට සෑම 10 දෙනෙකුගෙන් එක අයෙක්ම ශ්‍රව්‍ය අබාධ වලින් පීඩා විඳිනු ඇති බවට අනුමාන කර ඇත. මෙලෙස ශ්‍රවණ දුර්වලතා වලින් පෙළෙන පුද්ගලයින්ගේ ගණන දිනෙන් දින ඉහළ යද්දී ඔවුන්ටද සමාජයේ අප හා සමානම අයිතීන් සහ පහසුකම් නිර්මාණය විය යුතුය. එම අයිතීන් තහවුරු කිරීම සහ ඔවුන්ගේ අවශ්‍යතා පහසුවෙන් ඉටු කරගැනීමට සහය වීම අප සැමගේ වගකීමකි.

මේ වගකීම හඳුනාගත් වර්තමානයේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ (University of Auckland) සහ ඉන් පෙර සිංගප්පූරුවේ තාක්ෂණ සහ නිර්මාණ විශ්වවිද්‍යාලයේ (Singapore University of Technology and Design) “Augmented Human Lab” හි (www.ahlab.org) නිර්මාතෘ සහ අධ්‍යක්ෂ මහාචාර්ය සුරංග නානායක්කාර මහතාගේ මූලිකත්වයෙන් යුතුව එහි පර්යේෂණ කටයුතුවල නිරත වන ශ්‍රී ලාංකීය පර්යේෂකයින් වන සමිත ඇල්විටිගල, චානක සිංහබාහු සහ විදේශීය පර්යේෂකයින් වන ඩැනියෙල් වෙස්ලොක් (Daniel Wessolek), අටිල වික්ටර් ආකන්බර්ක් (Attila Victor Achenbach) ඇතුළු කණ්ඩායම ශ්‍රව්‍ය අබාධ වලින් පෙළෙන පිහිනුම් ක්‍රීඩකයින් මුහුණ දෙන දුෂ්කරතා මඟ හරවා ගැනීම සඳහා නව්‍ය ප්‍රයෝගික විසඳුමක් ඉදිරිපත් කොට ඇත. එය නමින් “SwimSight” ලෙස එම පර්යේෂකයින් හඳුන්වාදෙනු ලබයි. “SwimSight” යනු ශ්‍රව්‍ය අබාධිත පිහිනුම්කරුවන් සඳහා වර්තමානයේ තිබෙන ආරම්භක වේලා නිදර්ශක පද්ධති වල අඬු ලුහුඬුකම් මඟ හරවා ගනිමින් නවීන තාක්ෂණය යොදාගෙන නිපදවනු ලැබූ ආරම්භක වේලා නිදර්ශක පද්ධතියකි.

මහාචාර්ය සුරංග නානායක්කාර (වමේ) ඇතුළු පර්යේෂණ කණ්ඩායම

SwimSight තුළින් ක්‍රීඩා තරඟයක් ආරම්භ කිරීමේදී ලබාදෙන “සැරසෙන්” (Get), “එලවේන්” (Set), “යා” (Go) යන විධාන දෘශ්‍ය ආලෝක සංඥා ඔස්සේ ලබා දීමට කටයුතු කරයි. ඒ මඟින් ක්‍රීඩකයෙක් තරඟය ඇරඹීමේදී ඇති කරගත යුතු මානසික සහ ශාරීරික සූදානමේ සහ අවධානයේ විවිධ අදියර ඵලදායී ආකාරයට ඔවුන්ට සන්නිවේදනය කරයි.

වර්තමානයේ ඇති සමහරක් වෘත්තීය නිදර්ශක පද්ධතීන් “යා” සංඥාවත් සමඟ කොළ පැහැයෙන් දැල්වෙන LED ආලෝකයක් සමඟ පැමිණියි. එහෙත් දැනට භාවිතයේ පවතින පද්ධති මඟින් ලබා දෙන දෘශ්‍ය දර්ශක ප්‍රමාණවත් නොවන අතර ඒවායෙන් සූදානමින් සහ අවධානමින් සිටීමට අවශ්‍ය වන සම්පූර්ණ මානසික හා ශාරීරික සූදානම ක්‍රීඩකයාට නොලැබී යයි. විශේෂයෙන්ම මේ හේතුව නිසා පිහිනුම් තරඟ වලට සහභාගී වන ශ්‍රවණ දුර්වලතා ඇති ක්‍රීඩකයින් අපහසුතාවයට මෙන්ම අසාධාරණයට ලක් වෙයි. මෙවන් පද්ධති මඟින් තරඟකරුවන්ගේ කාර්යසාධනයට බලපෑමක් ඇති කිරීමට සහ සිමා වීමකින් තොරව විනෝදජනක කටයුතු වල නිරතවීමට එවන් පුද්ගලයින්ට ඇති ඉඩ කඩ අහිමි වී යෑමට මඟ පාදයි.

මේ පසුබිම තුළ දැනට භාවිතයේ ඇති පද්ධතිවල අඩුපාඩු මඟ හරවා ගැනීමට හැකි වන ලෙස සාර්ථකව මෙම පර්යේෂණ කණ්ඩායම “SwimSight” නිර්මාණය කර තිබේ. මහාචාර්ය සුරංග නානායක්කාර මහතාට අනුව තාක්ෂණය නිසා මිනිසුන්ට ඔවුන් අබාධිත යැයි දැනිය යුතු නොවෙයි. ක්‍රීඩා තරඟ වලදී සහයට යොදා ගන්නා උපකරණ ආයාසයකින් තොරව භාවිතා කළ හැකි සියළු දේ ඇතුළත්ව නිපදවා තිබිය යුතු වේ. එම පර්යේෂණ කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ දැනට භාවිතයේ පවතින වෘත්තීය ආරම්භක වේලාව දක්වන නිදර්ශක පද්ධති සමඟ අනුකූල වන ලෙස අවශ්‍ය විට සවිකොට නැවත ගැළවිය හැකි පරිදි “SwimSight” නිර්මාණය කිරීමයි. ඒ සඳහා ඔවුන් පර්යේෂණය ආරම්භයේ සිටම සිංගප්පූරු බිහිරි ක්‍රීඩා සංගමය (Deaf Sports Association Singapore) එක්ව කටයුතු කොට ඇත. ඒ තුළින් නිර්මාණ ක්‍රියාවලියේ මුල සිටම එම පද්ධතියේ අවසාන භාවිතකරුවන් වන බිහිරි පිහිනුම් කරුවන්, තාක්ෂණික කාර්යමණ්ඩලය ආදී පුද්ගලයන්ගේ අවශ්‍යතා සොයා බලමින් සහ ඒවාට සරිලන පරිදි “SwimSight” නිපදවා තිබේ.

පිහිනුම් තරඟයකදී “SwimSight” යොදාගන්නා අයුරු

“SwimSight”හි සුවිශේෂි විශේෂාංග ලෙස එය දැනට භාවිතයේ පවතින වාණිජ වෘත්තීය ආරම්භක වේලාව දක්වන නිදර්ශක පද්ධති සමඟ අනුකූල වීම, කාලය මැනීමේ නිරවද්‍යතාවය උදෙසා වෘත්තීය කාලය මැනීමේ උපකරණ සමඟ භාවිතා කළ හැකි වීම, ඕනෑම පිහිනුම් ආරයක් සමඟ යොදාගත හැකි වීම, ජලයට නිරාවරණය වීම ඔරොත්තු දීම සඳහා රළුව නිර්මාණය කළ මතුපිට යන ආදිය දැක්විය හැකියි.

“SwimSight” 2017 වසරේදී සිංගප්පූරු ජාතික බිහිරි ක්‍රීඩා තරඟාවලියේදී පිහිනුම් තරඟ සඳහා සාර්ථකව යොදා ගෙන ඇති අතර එයට සහභාගී වූ තරඟකරුවන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලබාගෙන තිබේ. එම බිහිරි පිහිනුම්කරුවන් සඳහන් කර ඇති පරිදි “SwimSight” හේතුවෙන් පිහිනීම ඇරඹීම සඳහා “යා” විධානයත් සමඟ ආලෝකය කොළ පැහැයට හැරවෙන විට තරඟයට අවතීර්ණ වීමට ඔවුන්ගේ අවධානය, හුරුවීම සහ විශ්වාසය වැඩි දියුණු වී ඇත. මහාචාර්ය සුරංග නානායක්කාර මහතා පවසන පරිදි “SwimSight”හි සාර්ථකත්වයත් සමඟින් ඔවුන් අනෙකත් ජවන හා පිටිය තරඟ සඳහාත් මෙලෙස ශ්‍රව්‍ය-දෘශ්‍ය ආදේශක පද්ධති (sound-to-visual substitution systems) නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ තුළින් ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වීමේදී සියළුම ක්‍රීඩකයින්ගේ සමානාත්මතාවය සුරැකෙනු ඇත.

ශ්‍රව්‍ය ආබාධ සහිත පිහිනුම්කරුවන්ට “SwimSight” අනිවාර්යයෙන්ම සතුටුදායක ආරංචියක් වනු නිසැකයි. අප රටින් බිහිවූ විද්‍යාඥයින් මෙලෙස විදේශ රටවල සිට ඉතා සාර්ථක ප්‍රයෝගික පර්යේෂණ දියත් කිරීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බර විය හැකි මෙන්ම අගය කළ යුතු කරුණකි. එවන් පර්යේෂකයින්ගේ නිර්මාණ පිළිබඳව අප රට තුළ කතාබහට ලක්වන්නේ ඉතා කලාතුරකින්ය. ලෝකයේම අවධානය දිනාගත් මෙවන් පර්යේෂණ දියත් කිරීම සඳහා අප මහාචාර්ය සුරංග නානායක්කාර මහතා ඇතුළු කණ්ඩායමට සුභාෂිංශනය කරමු. “SwimSight” අප රට තුළ පැවැත්වෙන ශ්‍රව්‍ය ආබාධිත පිහිනුම් ක්‍රීඩා තරඟ සඳහාද යොදාගත හැකි නම් අප රටේ ක්‍රීඩකයින්ටද බොහෝ ප්‍රතිලාභ ලබා ගත හැකිය. ඒ දිනය නුදුරේදීම උදා වනු ඇති බව අපේ විශ්වාසයයි.

“SwimSight” 2017 වසරේදී සිංගප්පූරු ජාතික බිහිරි ක්‍රීඩා තරඟාවලියේදී යොදාගත් අවස්ථාව

--

--