ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම GLP සහතිකය ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයට…….

ප්‍රමිතිය යනු විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීමේ දී සැළකිය යුතු ප්‍රධානම සාධකයකි. උසස් ප්‍රමිතියකින් යුක්තව පර්යේෂණ සිදු කිරීම ඒවායේ ප්‍රතිඵල වල නිරවද්‍යතාවය සහ ප්‍රතිඋත්පාදනය සඳහා අත්‍යාවශ්‍ය වේ. වර්තමානයේදී සිඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින ශ්‍රී ලාංකීය විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වීමේදී නිසි ප්‍රමිතියෙන් යුතුව පර්යේෂණ පැවැත්වීම ඉතාමත් වැදගත් වෙයි. නිරන්තරයෙන් ශ්‍රී ලාංකීය විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ නව පෙරළි සිදු කරන ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය තවත් නව ජයග්‍රණයක් ලබා තිබේ. එම ආයතනයේ විද්‍යාගාර දෙකක් වන කෘතීම ඖෂධීය කාබනික රසායනාගාරය (Synthetic and Medicinal Organic Chemistry Lab) සහ (Molecular Recognition Lab) යන අණුක හඳුනාගැනීමේ රසායනාගාරය යහපත් රසායනාගාර පුරුදු (Good Laboratory Practices-GLP) සඳහා වන ප්‍රතීතන සහතිකය ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම විද්‍යාගාර බවට පත් වීමට පසුගිය දා සමත් විය.

නැනෝ තාක්ෂණ ආයතනයේ මහාචාර්ය ගෙහාන් අමරතුංග මහතා විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යතුමන්ගෙන් සහ එම අමාත්‍යංශ ලේකම්තුමන්ගෙන් GLP සහතිකය ලබාගත් මොහොත

යහපත් රසායනාගාර පුරුදු යනු විද්‍යාගාරයක සංවිධනාත්මක ක්‍රියාවලිය සහ සායනික නොවන සෞඛ්‍ය හා පාරිසරික සුරක්ෂිතතා ආශ්‍රිත අධ්‍යනයන් සැලසුම් කිරීම, සිදු කිරීම, අධීක්ෂණය, සටහන් කිරීම, සංරක්ෂණය කිරීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් අවධානය දක්වන ගුණාත්මක පද්ධතියක් ලෙසට ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධනයේ (OECD) මූලධර්ම වල දක්වා ඇත. මේ තුළින් එවන් විද්‍යාගාර වල සිදු කරන පර්යේෂණ වල ගුණාත්මක බාවය, විශ්වසනීය බාවය සහ ඒවායේ ප්‍රතිඵල වල නිරවද්‍යතාවය සහ ප්‍රතිඋත්පාදනය ගැන සහතික විය හැකියි. ශ්‍රී ලංකාව තුළ යහපත් රසායනාගාර පුරුදු සඳහා වන ප්‍රතීතන සහතිකය නිකුත් කරනු ලබන්නේ විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (Sri Lanka Accreditation Board) මඟිනි.

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ කෘතීම ඖෂධීය කාබනික රසායනාගාරය අප රට තුළ ක්‍රියාකාරී ඖෂධීය ද්‍රව්‍ය (Active Pharmaceutical Ingredients-API) සංස්ලේෂණය කිරීම අරමුණු කරගෙන පිහිටුවා තිබේ. ක්‍රියාකාරී ඖෂධීය ද්‍රව්‍ය ලෙස හඳුන්වන්නේ ඖෂධයක අඩංගු ජෛව ක්‍රියාකාරී ද්‍රව්‍ය වේ. ඖෂධයකට රෝග සුව කිරීමේ ගුණයට හේතු වන්නේ මෙම ජෛව ක්‍රියාකාරී ද්‍රව්‍යයි. මෙයට අමතරව ඖෂධයක තවත් ක්‍රියාකාරී නොවන රස සහ වර්ණ ගැන්වීමේ ද්‍රව්‍ය, ඉටි, මේදය, පිෂ්ඨය වැනි සංයෝග ද අඩංගු වේ. ඒවා ක්‍රියාකාරී සංයෝගය සඳහා මාධ්‍යයක් වශයෙන් ක්‍රියාකරනු ලබයි. ක්‍රියාකාරී ඖෂධීය ද්‍රව්‍ය නිෂ්පාදනය යනු අධි තාක්ෂණික කර්මාන්තයක් වන අතර එය සඳහා අති නවීන උපකරණ, පුහුණු සම්පත් දායකයින් මෙන්ම මිල අධික රසායනික ද්‍රව්‍ය අවශ්‍ය වේ. මෙතෙක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරී ඖෂධීය ද්‍රව්‍ය නිෂ්පාදනය සිදු නොවුණු අතර දැනටත් විශාල පිරිවැයක් දරමින් ඒවා අප රටට විදේශ රට වලින් ආනයනය කරමින් පවතී. ක්‍රියාකාරී ඖෂධීය ද්‍රව්‍ය අප රට තුළම නිෂ්පාදනය කළ හැකි නම් විශාල විදේශ විනිමයක් අප රට තුළ ඉතුරු කරගත හැකි වන අතර රෝගීන්ට අඩු මිලට ඖෂධ ලබා ගැනීමට ද හැකි වනු ඇත. තව ද එම ද්‍රව්‍ය විදේශ රට වලට ආනයනය කිරීම තුළින් අප රටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමටද අවස්ථාව උදා වෙයි.

ඖෂධයක අඩංගු කොටස් — ක්‍රියාකාරී ඖෂධීය ද්‍රව්‍ය (API) සහ ක්‍රියාකාරී නොවන ද්‍රව්‍ය (Excipients) රස සහ වර්ණ ගැන්වීමේ ද්‍රව්‍ය,ඉටි, මේදය, පිෂ්ඨය

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ කෘතීම ඖෂධීය කාබනික රසායනාගාරය ක්‍රියාකාරී ඖෂධීය ද්‍රව්‍ය සංස්ලේෂණය කිරීම සඳහා සියළුම නවීන තාක්ෂණික උපකරණ වලින් සමන්විත වන අතර එහි විද්‍යාඥයින්ගේ අරමුණ වන්නේ මෙරටට ආනයනය කරන ක්‍රියාකාරී ඖෂධීය ද්‍රව්‍ය වල ප්‍රමිතිය හා සැසදෙන ලෙස අඩු පිරිවැයකින්, ප්‍රයෝගිකව, මහා පරිමාණ නිෂ්පාදනය දක්වා දියුණු කළ හැකි වන ලෙස ක්‍රියාකාරී ඖෂධීය ද්‍රව්‍ය සංස්ලේෂණය කිරීම සඳහා ඇති හැකියාව ගවේෂණය කිරීමයි. මෙලෙස සංස්ලේෂණය කරන සංයෝග විශ්ලේෂණය කර ඒවායේ සාර්ථක සංස්ලේෂණය තහවුරු කිරීමට අණුක හඳුනාගැනීමේ රසායනාගාරයේ පවතින නවීන විශ්ලේෂක උපකරණ උපයෝගී කරගනු ලබයි. මේ වන විටත් එම විද්‍යාඥයින් සාර්ථක ලෙස විද්‍යාගාර මට්ටමින් ක්‍රියාකාරී ඖෂධීය ද්‍රව්‍ය සංස්ලේෂණය කිරීමට සමත්ව තිබේ.

පර්යේෂක කණ්ඩායම

යහපත් රසායනාගාර පුරුදු ප්‍රතිතන සහතිකය ලබා ගැනීම තුළින් එම රසායනාගාර තුළ සිදු කෙරෙන පර්යේෂණ වල ප්‍රමිතිය සහ ඉහළ ගුණාත්මක බාවය තහවුරු වන අතර ඒවාට ජාත්‍යන්තර පිළිගැනීම ද ලැබෙයි. ඒ තුළින් එම නිෂ්පාදන විදේශ වෙළඳපල සඳහා ආනයනය කිරීමට ඉඩ කඩද විවර වෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට මේ තුළින් විශාල කාර්යභාරයක් ඉටු වනු ඇත. 2025 දැක්ම තුළින් අප රට නීල හරිත ආර්ථිකයක් ඔස්සේ තිරසාර සංවර්ධනයකට අප රට යන ගමනේදී රට තුළම ක්‍රියාකාරී ඖෂධීය ද්‍රව්‍ය නිෂ්පාදනයද මහඟු දායකත්වයක් ලබා දෙනු නොඅනුමානයි.

--

--