ක්ෂණ සම්පත්තිය සහ මරණය

Chanaka Fernando
Path To Nirvana
Published in
2 min readOct 13, 2019

--

අද පෝය දවස නිසා සහ ටික දවසකින් ධර්මය සම්බන්ධ ලිපියක් ලියන්න බැරි වුන නිසා කාලෙක ඉඳන් ලියන්න හිතපු දෙයක් ගැන ලියනවා. මම කලින් ලිපියකින් යෝජනා කරපු ආකාරයට මම හැමදාම වැඩට එන ගමන් උදේට ධර්මයට සවන් දෙනව. මේ ළඟදි මට බොහොම අපූරු ධර්ම කරුණක් ගැන අහන්න ලැබුනා.

ඒක තමයි මේ ක්ෂණ සම්පත්තිය කියන කාරණාව. බුදු රජාණන් වහන්සේගේ ධර්මය පවතින කාලයක, ඒ ධර්මය අවබෝධ කර ගැනීමට පුළුවන් තැනක උපදින එකට තමයි සරලව කිව්වොත් ක්ෂණ සම්පත්තිය කියන්නේ. මේක කොච්චර අහම්බයක් ද කියලා තේරුම් ගන්න ලස්සන උපමාවක් දේශනා කළා අපේ ස්වාමීන් වහන්සේ නමක්. ඒක හරියට අපි එක දිගට හැමදාම අවුරුදු 50 ක් ස්වීප් ටිකට් අරගෙන ඒ හැම එකකටම පලවෙනි තෑග්ග ඇදෙනවා වගේ සම්භාවිතාව ක් තියෙන දෙයක්. ඒ කතාවෙන් මම තේරුම් ගත්තේ මේ අපි ලබපු ජීවිතය කොච්චර වටිනවද කියලා. ඉතින් මේ වටිනා ජීවිතය සමහර උදවිය පොඩි කාරණාවක් නිසා නැති කර ගන්න එක කොච්චර අපරාධයක් ද කියලා හිතා ගන්නවත් බැහැ.

එහෙම ලබපු ජීවිතය අපි නිකරුණේ සල්ලි හම්බ කරලා, කාල, බීල, මැරිලා යනවා කියන්නේ, අර දිවි නසා ගත්තා කෙනාගේ සහ අපේ ලොකු වෙනසක් නෑ කියන එකයි. මොකද දෙන්නම යන්නේ එකම තැනට. ඉතින් අපි මේ ලබා ගත්ත දුර්ලභ මනුෂ්‍ය ජීවිතය සහ ක්ෂණ සම්පත්තිය පාවිච්ච් කරලා කොහොම හරි ගොඩ යන්න උත්සාහ කරන්න ඕනේ.

මේකත් එක්ක තව දෙයක් මතකයට ආවා මේ මහත් ඵල කියන දේ සම්බන්ධව. මේකත් මේ අපේ ස්වාමින් වහන්සේ නමක් දේශනා කරපු කාරණයක්. අපේ ජීවිතය කියන්නේ දවසින් දවස ගෙවිලා යන දෙයක්. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම එහෙමයි. ඒ දේවල් වලට කියන්නේ හීන ඵල කියලා. හැබැයි අපිට පුළුවන් නම් සෝවාන් ඵලයට පත් වෙන්න. එතනින් මෙහාට අපි ආයිත් කවදාවත් වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි තවත් භව 7 ක් ඇතුළත අනිවාර්යයෙන්ම නිවන් අවබෝධ කරනවා. ඒක තමයි මහත් ඵල කියලා කියන්නේ.

එහෙම නම් අපි ලබපු ක්ෂණ සම්පත්තිය පාවිච්චි කරන්න ඕනෙ මෙන්න මේ මහත් ඵල ගෙන දෙන සෝවාන් ඵලයට පත් වෙන්න. ඒකට අපි මහන්සි වෙන්න ඕනේ හරියට හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න උත්සාහ කරනවාට වඩා වැඩි උනන්දුවකින්.

මේක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් අපේ මරණය ගැන කල්පනා කරොත්. අපි කිසිම කෙනෙක් ට සහතික වෙන්න පුළුවන්ද අපි මැරෙන්නේ මෙන්න මේ දවසේ කියලා? අද හොඳට හිටපු, අපිට වඩා තරුණ, නිරෝගී, සල්ලි තියෙන කී දෙනෙක් හෙට එළි වෙනකොට මේ ලෝකේ හැර දාලා යනවාද? ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මෙක අතිශයෝක්තියක් කියලා. හැබැයි ඒක නෙමෙද ඇත්ත? පාස්කු ඉරිදා පල්ලියට ගිය එක්කෙනෙක් වත් හිතුවද ආයිත් එන්න බැරි වෙයි කියලා? ඒක නිසා අපි පිළි ගත්තත් නැතත් ඇත්ත ඒක තමයි.

ඉතින් මේ ටික ලිව්වේ කිසි කෙනෙකුට ඍණාත්මක අදහසක් දෙන්න නෙමෙයි. පුළුවන් තරම් ධනාත්මක වෙලා, අපි ආපු කාරණය ඉටු කර ගන්න මහන්සි ගන්න කියන්න. මේ අපි ළඟ තියෙන මුදල්, වාහන, ගෙවල්, නෑදෑයෝ කිසි කෙනෙක්ට අපිව සසරින් ගොඩ දාන්න බැහැ. ඒකට අපි මහන්සි වෙන්න ඕනේ.

අදට එපමණයි. තෙරුවන් සරණයි හැමොටම.

--

--

Chanaka Fernando
Path To Nirvana

Writes about Microservices, APIs, and Integration. Author of “Designing Microservices Platforms with NATS” and "Solution Architecture Patterns for Enterprise"