බෞද්ධ භාවනාව කුමක් සඳහාද ?

Chanaka Fernando
Path To Nirvana
Published in
2 min readAug 4, 2019

--

අද මම මගේ තුන්වෙනි බුදු දහම සම්බන්ධ ලිපියෙන් කතා කරන්න හිතුවේ භාවනාව පිළිබඳව. අපි හැමෝම දන්නවා භාවනාව කියන්නේ මේ වෙනකොට බටහිර ලෝකයේ පවා බොහොම කතා බහට ලක් වුන කාරණයක්. විවිධ පුද්ගලයන් විවිධ කාරණා ඉටු කර ගැනීම සඳහා භාවනාව යොදා ගන්නවා. අපි බලමු බෞද්ධ අපිට භාවනා ඕන වෙන්නේ ඇයි කියල තේරුම් ගන්න.

සමහර බෞද්ධ අය අහන ප්‍රශ්නයක් තමයි නිවන් දකින්න භාවනා කරන්නම ඕනෙද කියන එක. උදාහරණයක් විදියට, අපි අහල තියෙනවා උපතිස්ස පරිබ්‍රාජකයා ගාථාවක් ඇසු පමණින්ම සෝවාන් වුනා කියලා. එතකොට ඔහු භාවනා නොකරම මාර්ග ඵලයක් ලැබුවා නේද? මේක අපි තේරුම් ගන්න ඕනේ මේ විදියට. සමහර පුද්ගලයන් සසර පුරා පින් දහම් රැස් කරලා තියෙනවා බණ පදයක් අහපු සැනින් මාර්ගය අවබෝධ කර ගන්න. හැබැයි අපි එහෙම නැති බව අපි තේරුම් ගන්න ඕනේ. එහෙම පුළුවන් කමක් තිබුන නම්, අපි මේ වෙනකොට අහල තියෙන බණ ප්‍රමාණය සැලකුවොත්, අපි රහත් වෙන ඉන්න ඕනේ. ඉතින් එහෙම වුනේ නැත්තේ අපිට එහෙම පුරුද්දක් නැති නිසා. එහෙම නම්, අපිට තියෙන එක මාර්ගයක් තමයි භාවනාව. අපේ තියෙන අකුසල් මුල් නැති කරගන්න තියෙන ඉතාම වැදගත් ක්‍රමයක් තමයි භාවනාව. භාවනාව ගැන හොඳ දේශනාවක් පහතින් දක්වල තියෙනවා.

අපි සරලව මෙහෙම හිතමු. පන්සිල් රකින පුද්ගලයා මහා පිනක් රැස් කර ගන්නවා කියල බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි හිතමු යම් කෙනෙකුට පන්සිල් රකින්න බොහෝ උවමනාවක් තියෙනවා නමුත් එක සිල් පදයක් රකින්න අමාරුයි. ඒක තමයි කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම. මෙන්න මේ පුද්ගලයාට පුළුවන් අසුභ භාවනාව පුරුදු කිරීම මගින් ටික ටික මේ වැරදි පුරුද්ද අයින් කරන්න. අසුභ භාවනාව පුරුදු කිරීම ගැන හරිම ලස්සන දේශනාවක් පහතින් දක්වල තියෙනවා.

අපි බෞද්ධයෝ හැටියට දැන ගත යුතුම කාරණාවක් තමයි පංච නීවරණ ධර්ම. මේවා තමයි අපිව මාර්ග ඵල ලබා ගැනීමෙන් වලක්වන කරුණු. අපි හිතමු යම් කෙනෙක් ට අධික ක්‍රෝධ උපදින නිසා ව්‍යාපාද කියන නීවරණය දැඩි විදියට බලපෑම් කරනවා කියල. මෙන්නේ මේ පුද්ගලයාට පුළුවන් මෛත්‍රී භාවනාව දියුණු කරන්න වෙහෙසෙන්න. එතකොට පුළුවන් මේ උපදින ක්‍රෝධය නැති කරලා ව්‍යාපාදය කියන නීවරණය යටපත් කරන්න. පහතින් දැක්වෙන දේශනාව මෛත්‍රී භාවනාව සම්බන්ධව විස්තර කෙරෙන අපූරු දේශනාවක්.

මේ විදියට ගත්තොත් බෞද්ධ භාවනාව අපිව සදාකාලික සතුට හෙවත් මාර්ග ඵල නිවන් පිණිසම හේතු වෙනවා. අපි මේක සසඳලා බැලුවොත් ලෝකයේ අනිත් පුද්ගලයන් කරන භාවනාවත් එක්ක, බෞද්ධයෝ වෙන අපි හරිම වාසනාවන්තයි. මොකද අනිත් අය භාවනාවෙන් ලෞකික සැප සොයා ගෙන යනකොට බෞද්ධ අපි ලෝකෝත්තර සැප ලබා ගන්න පුළුවන්. බෞද්ධ භාවනාව ඉතාමත්ම පුළුල් පරාසයක විහිදෙනවා. සමථ භාවනාව, විපස්සනා භාවනාව, ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව, ආදී වශයෙන් එක් එක් අරමුණු කරා යන්න විවිධ භාවනාවන් අපිට දැක ගන්න පුළුවන්.

මම දැනට මෙතනින් නවතිනවා.ඉදිරියට භාවනාවේ ප්‍රයෝගික ප්‍රතිපලත් එක්කම ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම තෙරුවන් සරණයි !!!

--

--

Chanaka Fernando
Path To Nirvana

Writes about Microservices, APIs, and Integration. Author of “Designing Microservices Platforms with NATS” and "Solution Architecture Patterns for Enterprise"