ආපදා කළමණාකරණයේ ප්‍රජා දායකත්වය

Danishka Navin
Relief Supports
Published in
4 min readMay 30, 2017

මෙරට විවිධ කාල වකවානු වල විවිධ ආපදා සිදුවූ නමුත් ඒ සැම විටකම එකිනෙකා තම ශක්ති ප්‍රමාණයෙන් විවිධ අයුරින් සහය දැක්වීම මෙරට ප්‍රජාවේ අැති විශේෂත්වයයි. කුඩා දරුවාගේ සිට මහල්ලා තෙක් ද මහා දානපතියාගේ සිට සිරකරුවා තෙක් ද වු පරාසයක පිරිස් මෙරට ආපදාවන් සිදු වූ විට තම ශක්ති ප්‍රමාණයෙන් දායක වේ.

ශ්‍රමය, ද්‍රව්‍ය, දැනුම, කාලය, ආදරය දයාව, මුදල් පමණක් නොව සමහර අවස්ථාවලදි අති විශිෂ්ඨ මිනිසුන් තම දිවිය පවා මෙරට සහන කටයුතු වලදි කැපකරයි.

මෙලෙස ආපදා අවස්ථාවල සහන සැලසිම වෙනුවෙන් දායකත්වය දක්වන ප්‍රජාව සඳහා ඔවුන්ගේ කාලය ඔවුන්ට පමණක් නොව තවත් අයෙකුගේ ජිවිතය රැක දීම හෝ කුසගිණි නිවාදැමිමට ඉවහල් වේ. මෑතක සිට තාක්ශණය ආපදා සහන කටයුතු වලට වඩා වැඩියෙන් භාවිත කිරිමේ ප්‍රවනතාවක් ඇතිවිය. මේ අතරින් සමාජ ජාල හරහා වඩා ඉක්මන් සහන සත්කාර ක්‍රියාත්මක කිරිමට ප්‍රජාව සක්‍රිය විය.

නමුත් ප්‍රධානතම ගැටලුව වන්නේ අදාල ඉල්ලිම් හෝ ආධාර ලබාදෙන පිරිස් එක් වන පොදු වේදිකාවක් නොමැති විමයි. මෙම හිඩැස සමාජ ජලා හරහා යම් ප්‍රමාණයකට පුරවා ගත හැකි නමුත්, වටිනා තොරතුරු එක්රැස්කර තබා ගත නොහැකි නිසා මුල සිටම සෑම ආපදා අවස්තාවකදිම යලි විරියෙන් නැගී සිටිමට අපට සිදු වේ.

එම හිඩැස පිරවිමට දියත් කළ ව්‍යාපෘතියයි මේ Relief Supports. මෙම සටහන තබන මොහොත වන විට මෙම ව්‍යාපෘතිය ආරම්භ කර දින 3ක් පමණක් වුවද, මේ වන විට සහන කටයුතු සදහා දායක වන අයට මෙන්ම සහයක් අවශ්‍ය අයටත් අප තොරතුරු හුවමාරු කරගැනිමට මූලික පදනමක් එක් කර ඇත.

තම දිවි ගවා ගැනිමට බෝට්ටුවක් අවශ්‍ය අය, වතුරට කොටුවී ප්‍රමාණවත් ආහාර නොමැතිව සිටි ගර්භණී මව් වරුන් ඇතුළු කණ්ඩායම් සඳහා ලබා දුන් තොරතුරු ඔස්සේ ඔවුන්ට සහනයක් ගෙන දිමට අපට හැකි විය. ඒ මෙම වේදිකාවටම ගොඩවි තමන්ට ප්‍රවාහන පහසුකම් සහ ආහාර ලබා දිමට හැකි බව පැවසු කාරුණික පිරිසට යළි ඇමතුම් ලබා දි ඇති කළ සම්බන්ධතා නිසාවෙනි.

100 ගණනක වු අවශ්‍යතා මෙන්ම 50කට ආසන්න ආධාර ලබා දීම් මේ දින කිහිපය තුළ මෙම වේදිකාව වෙත ළඟා වි ඇත. එලෙස ළඟා වූ යම් ප්‍රමාණයකට මේ වන විට ඇමතුම් ලබා දී පසුවිපරම් කර ඇත. නමුත් ඒ ඇමතුම් කිසිවක් රජයේ සහන සේවාවන් වෙතින් නොව මෙම ප්‍රජා වේදිකාවට ගොඩ වැදුණු වෘතියෙන් වරලත් වාස්තු නිමැවුම් කරුවකු වන සුභාශ් ශාමින්ද මහතා සහ වෘතියෙන් ශ්‍රි ලංකා යුධ හමුදා නිළධාරියකු වන සංජය දිසානායක මහතා වෙතිනි.

මෙම ව්‍යාපෘතිය තවත් සුවිශේෂ වන්නේ මෙය ගොඩ නැගීම පවා සිදුවන්නේ මෙරට සහ පිටරට වෙසෙන ශ්‍රි ලාංකික තොරතුරු තාක්ෂණවේදීන්ගේ එකමුතුවකිනි. වෘතිය තොරතුරු තාක්ෂණවේදීන් මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් පවා මෙහි කොටස් කරුවන් බවට පත්ව ඇත.

පරිගණක ක්‍රමලේඛනය ඔබ දැන සිටියත් නොදැන සිටියත් Relief Support Portal එකට ඔබට සක්‍රියව දායක වෙන්න පුලුවන්.

පරිගණක ක්‍රමලේඛනයට ඔබ දන්නේ නැත්නම් එන්න අපිට කියන්න මොනවද අලුතිත් අපි එක් කළ යුතු පහසුකම් කියල. මෙන්න මේ ලින්ක් එකෙන් ආවම ඔබට බලාගන්න පුලුවන් දැනට එලෙස අපි හදුනාගත් හෝ අපිට කෙනෙක් දන්වපු නව ගුණාංග හෝ අපේ දැනට තිබ‍ෙන අඩුපාඩු.
https://github.com/reliefsupports/reliefsupports.org/issues

අපේ ප්‍රගතිය

පරිගණක ක්‍රමලේඛනයට ඔබ ප්‍රිය නම් එන්න අපේ Code එක අරගෙන, නව ගුණාංග හෝ අපේ දැනට තිබ‍ෙන අඩුපාඩුවක් සකසන්න දායක වන්න. php, mysql තමයි අපි දැනට භාවිත කරන්නේ.
https://github.com/reliefsupports/reliefsupports.org

මෘදුකාංග භාවිත කළත් පරිගණක ක්‍රමලේඛනයට ඔබ ප්‍රිය නැත්නම් අපේ Code එක අරගෙන හෝ http://reliefsupports.org වෙත ගොස් අඩු පාඩු බලලා අපිට ගැටලු වාර්තා කරන්න.

අපේ ප්‍රගතිය

ඔබට තනිව කටයුතු කරන්න අපහසු නම් ඔබේ පාසලේ හෝ විශ්ව විද්‍යාලයේ මිතුරන් සමග එක්ව කටයුතු කර බලන්න.

නිදහස් සහ විවෘත කේත මෘදුකාංග (Free Open Source Software) කියන වචන මිට කලින් අහල නැත්නම්, ඔබ දැන් පළමු වරට අහනව ඇති. ඔව් මේ අකාරයට ප්‍රජාව විසින් ප්‍රජාවේ යහපත තකා නිම වෙන, ඒ වගේම යළිත් ඔබට වෙනස් කම් කර ඔබේ නිමැවුමක්ම ලෙස ඉදිරිපත් කළ හැකියි.

මේ සටහනේ කිහිප තැනකම ‘අපේ’ කියල කිව්වේ ඇත්තටම මෙය ඔබෙත් මගෙත් වන නිසා. අපි ඔබේ අධ්‍යාපනය කුසලතා හෝ තනතුරු නොව ඔබ දෙන දායකත්වය පමණක් අගේ කොට සලකන්නෙමු.

මේ හුදෙක් 2017 අාපදාවට වැරදිලා විවෘත වුන සෝඩා බෝතලයක් නොවේ. මින් ඉදිරියටත් මෙරට සිදුවන ආපදාවන් වලදි තවත් පහසුකම් ගණනාවක් සමගින් සහන සැලසුම් ක්‍රියාන්විතය බලසම්පන්න කිරිම අපේ වෑයමයි.

අනේක විධ ගැටලු මධ්‍යයේ තිරයෙන් පිටුපස සිටිමින් විපතට පත්වු ජනතාවට සහන සලසන සියලුම පිරිස් වෙත අපගේ ප්‍රණාමය සහ ගෞරවය!

පලි:

මෙම පද්ධතියට ලැබෙන තොරතුරු සමාජ ජාලයන් හරහා යළි බෙදා හැරිමට දැන් පහසුකම් ඇත.

සැම තොරතුරුකම දකුණු පස කෙලවරේ ඇති හුවමාරු කරගැණිමේ බොත්තම මත ක්ලික් කරන්න. එවිට අදාල තොරතුරු වෙනම පිටුවක දිස්වන අතර සමාජ ජාල හරහා බෙදාහැරිමට Facebook, Twitter සළකුණු මත ක්ලික් කරන්න.

එක්වෙමු! නැගිටිමු! ගොඩනගමු!

#LKA #srilanka #Flood2017 #FloodSL #OpenSource #reliefsupports.org

--

--