වීසා

Siri Shamendra
සංදේශය
Published in
3 min readApr 28, 2020

සත්‍ය කතා ඇසුරෙන්…

ලාවලු ගෙඩි ඉදී වැටී ඇත. කසුන් අතරින් පතර කකුල් තබමින් වේගයෙන් දිව යයි. ගෙදරින් තරමක් දුරින් පිහිටියද වැසිකිලිය වැසිකිලියක් ලෙසින් ගමේ තිබූ එකම ගෙදරද කසුන්ලාගේ ගෙදරය. ගහකොළ සුන්දරත්වයේ රසය එන ගමන් විදීමේ අටියෙන් වැඩේ ඉක්මනින් කරගැනීමේ කලබලයෙන් දිවගිය කසුන්ට මිනිත්තු කිහිපයකින් ඇසෙන්නේ අම්මාගේ හඩයි. “පොඩි පුතේ, ඉක්මණට ඇවිත් උදේට කාපන්. හීල් බත් තියෙන්නෙ”. නොදැනීම කල්පනාවක නිමග්නව සිටි කසුන්ට කරන්නට ගිය වැඩයද අමතකව ගිය සෙයකි. උඩහ ගෙදර අය්යා ජපානයේ සිට එවන ලද ලිපි වල ඇති කතාව මහ දෙයක් නොවුවද එහි රසය ඒ ගැන පිටරටක් ගැන තියා අල්ලපු ගමවත් හරියට මොන වගේදයි නොදන්නා පුංචි කසුන් මවා ගත්තේ රස සාගරයක් කොට ගෙනය. නැවත ගෙදරට එන මග දියබෙරලිය පැලයෙන් පටන්ගෙන ජපන් ජබර ,හෙන්දිරික්කා , පැණි දොඩම් සහ නානාප්‍රකාර ගහ කොළ… ඇයි ඉදි ඉදී වැටෙන ලාවලු! ඒ සුවදට ඇදෙන සමනල්ලු, බත් කූරො. පොඩ්ඩක් අයෙත් නැවතුණු කසුන් ඒ පාර බත් කුරෙක් දිහා බලාගෙන. මටත් ජපන් ගිහිල්ල එන්න තිබුනනම්! බත් කුරගෙන් අහන ගමන් ජපන් ඉන්න උඩ ගෙදර අය්යලගේ ගෙදර දිහා නිකමට මෙන් බැලුණේ හිතළුවක් සැබෑ වනු දැකිය හැකි බවත් හිතළුවක් වනු සිතුනු නිසාවෙනි.

කුඩා කල පටන්ම ගහ කොළ සමග හැදී වැඩුණු නිසාදෝ මේ ලාවලු පාරේ මතකය ආයේ ආයේ මතකයට එන්නේ මන්දැයි මම නොදනිමි. සමහර විට මේ රටේ ඇති කෘතීම කැලෑවකින් වට වූ ජොගින් ට්‍රැක් එක නිසා වෙන්න ඇති. මා මේ ජොගින් පාරක් දැමීමට ගෙයින් එලියට බසින්නේ මාසෙකින් පමණය. මා ජෝගින් කිරීමෙදිත් යන පාර ගැන නිශ්චයක් තබා ගෙන යන්නේ නැත. වෙලාව ගැන පමණක් සිහි තබා ගැනීම කොයි වැඩේ කිරීමටත් සැහැල්ලුවක් බව අත්දැකීමෙන්ම දනිමි. එනිසා මේ කොන්ක්‍රීට් නගරයේ මා දුටු පළමු ගහකොළ බහුල මාවතට නිරායසයකින්ම වාගේ ඇදුනු මා පෙර මතකය අවදි වූ හේතුව මෙයම බව පසක් කොට ගෙන නැවත දිවීම ආරම්භ කලෙමි.එහිද නොසැහෙන අතුරු මාවත්ය. කුමක් තොරාගනිමිදැයි සිතීමට වැඩි කාලයක් මිඩංගු කිරීමෙන් පලක් නොවූයේ දිවීම කුමන පාරෙන් කලත් ගතට වෙහෙස දුවන දුරෙන්ම පමණක් නිසාවෙනි. නිස්කලංක වන පෙතක් මැදින් වුවද , කොන්ක්‍රීට් වන පෙතක් මැදින් වුවද එකම දුර දිවිය හැක. ගතෙහි වූ විඩාවත් සිතට දැනුනු නිදහසත් නිසා මා නැවත හැල්මේ දිවීම නවතා අසල වූ බංකුවක් මත වාඩි වූයෙමි.

එයද කොන්ක්‍රීට් ය.

මාගේ පාස්පෝර්ට් එකෙහි පළමු වීසා මුද්‍රාව වැදුනු දිනය අද මෙන් මතකය.ඒ ජපානයට නොව චිනයටයි. චීනයේ රස්සාවක් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. චීන්නුන් සමග කරට කර වැඩ කිරීමට ඉගෙන ගත යුතුය. කෙසේ නමුත් මා දැන් මේ යන ගමනට වීසා අවශ්‍යව නොතිබුණි. චීනයට වැදුනු වීසා එක තවත් වීසා අවශ්‍ය නොවන ගමනකට මුල පුරයි කියා මා කෙසේවත් සිතුවේ නැත.

ගිය අවුරුද්දේ අලුතෙන්ම ගත් ස්මාර්ට් අත් ඔරලෝසුව, නවතම ඇපල් දුරකථනය, අයි පැඩ් එක. ඒ සියල්ල ජයන්තගේ ගෙදර ඇති ලගේජ් එකේය. දැන් මා ළග ඇත්තේ සරම් දෙකකුත් අත් දිග ෂර්ට් තුනකුත් යට ඇදුම් කීපයකුත් පමණකි.

නුවර සිට එකසිය පනහක් දී ගත් ටිකට් එක බෑගයේ කුඩා පොකට් එකට දාගත් මාඅසුනේ හරි බරි ගැසුනෙමි. සීටිබි බස් සීට් වල කොහොමත් හිස තබන්නට කොටසක් නැත. තිබුනත් දැන් මා එවන් කුඩාදෙයකින් සැනසිය නොහැකි බව මා දනී. ඒ එතරම් දෙයක්වත් දැන් මා බලාපොරොත්තු නොවූ නිසාවෙනි. “අම්මේ ඉක්මනට නගින්නකො” ඉදිරිපසින් බසයට ගොඩවෙන වයසක අම්මා ට රියදුරු මහතා කෑගසයි. මට ගෙදර මතක් වුණි. අය්යත් මල්ලිත් තවමත් මගේ ගමන ගැන නොදන්නවා විය යුතුය. අම්මා කැමති කරගත්තේ අවුරුදු ගානක උත්සහයෙනි. නමුත් මේ ගැන අය්යාට කියන්නට අම්මා වේලාව ගන්නා බව මම දනිමි. ඒ ඔහු මට මේ ගමන කීයටවත් යන්නට නොදෙන බව ඇය දන්නා නිසාය.

දැන් වෙලාව හවස 5ත් පසුවීය.මීළග නැවතුමෙන් මා බැසිය යුතුය.ගොම්මන කෙමෙන් කෙමෙන් ආලෝකය දුර්වල කරමින් පැවතුනි. එකඳු ගැමියෙක්වත් වත් පේන තෙක්මනයකවත් නොසිටි මේ සැතපුම් කණුව අවට පේන තෙක් මානයේ එක යායට වැවුනු කැලෑ තණකොලය. පාරෙන් අනිත් පැත්තේ වූ ගල් පියගැට පෙලින් ඉහළට ගොඩවූයේ කුඩා හෝ අලෝකයක්වත් ලබා දුන් මේ ගොම්මනට ආශීර්වාද කරමිනි. එවරද මා දෙපසින් හෙන්දිරික්කාය. ගොම්මනේ මල් පිපෙන හෙන්දිරික්කා මෙවර මලුත් දරා ගෙනය. ලාවලු සහ පැණි දොඩම් ගස් නොතිබුනත් පිහිඹියා, කටු කරෝසන, මී වන සහ උස රූස්ස ගස් වලින් අඩුවක් නොවීය. විටින් විට ඇසෙන වනයේ ගැඹුර කියා පාන ශබ්ද පමණක් ඇසේ. එය නානාප්‍රකාර ශබ්ද රාශියක එකතුවකි. සොබාදහමේ වාධ්‍ය වෘන්ධය… සිතුවිලි රාශියක් එකක් පරයා එකක් පැන නැගුනත් එක් සිතුවිල්ලක් ප්‍රබල වී ඇත. ඒ මේ ගමනේ අරමුණයි.

සැතපුම් කිහිපයක්, හෝරාවක් පමණ කන්ද නැගගත් පසු කුඩා ආලෝක දහරාවක් දිස්වීමට ගත්තේය.

අහෝ සැනසිල්ලක් දැන්…

“උපාසක මහත්තය මොකද මේ අවේලාවේ?”.

එයට දීමට පිළිතුරක් ඇත.

මේ අවේලාව මාගේ හොදම වේලාවයි!

මතු සම්බන්දයි…

--

--

Siri Shamendra
සංදේශය

I design, code, and make complex applications and frameworks. But I believe “Simplicity is the ultimate sophistication!”