ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ඉතිහාසය

ඡායාරූපය — lankapura.com

ශ්‍රී ලංකාවේ විදේශිකයන්ගේ සංචාර පිළිබදව වන ඉතිහාසය ඉතා රසවත්ය. අපනයනය මුලික කොටගත් අනුරාධපුර ශිෂ්ඨාචාරය පුරා ලංකාවට පැමිණි විදෙස් වෙළෙන්දන් පිළිබදව සදහන්ය. ක්‍රිස්තු පූර්ව 900 සිට 400 දක්වා කාලයේදී ලංකාවේ කදුරට ප්‍රදේශවල ඛනිජ කැනීම් සිදුකොට ඒවා උතුරු ඉන්දියාවට අපනයනය කොට ඇති බව මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්න මහතා පවසයි [1]. බෞද්ධ පුරාවෘත්ත වල සදහන් තපස්සු භල්ලුක වෙළදුන් ලංකාවේ වෙළද ව්‍යාපාර සිදුකොට ඇත. ඓතිහාසික අනුරාධපුර රාජධානි සමයේ අන්තර්ජාතික වෙළදාමේ දියුණුතම සමය වූ 6 වැනි සියවසය තුළ වරකට පර්සියානු නැව් 35ක් පමණ ලංකාව වටා රැදවී ඇති බව සදහන්ය. ඓතිහාසික සේද මාවතේ කේන්ද්‍රීය ස්ථානයක් ශ්‍රී ලංකාවට හිමිව ඇත [2]. උතුර, වයඹ සහ නැගෙනහිර වරායන් පමණක් නොව රුහුණ ප්‍රදේශයේ සහ නිරිත දිග ගාල්ල, බේරුවල ප්‍රදේශ වලද සක්‍රීය ලෙස විදේශ වෙළදාම පැවති බවට සාක්ෂි හමුව ඇත.

ලංකාවේ විදේශ සම්බන්දතා වල ඉතිහාසය මෙසේ වන විට, ක්‍රමික සංචාරක ව්‍යාපාරය කර්මාන්තයක් ලෙස වර්ධනය වීමේ ඉතිහාසය වෙනමම සොයාබැලිය යුතුය. මේ පි‍ළිබදව වන ශාස්ත්‍රීය අධ්‍යනයක් කැළණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රියන්ත ප්‍රනාන්දු, ඔස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ ජයතිලක බණ්ඩාර සහ ක්‍රිස්ටීන් ස්මිත් යන යන ආචාර්ය වරුන් විසින් සිදුකොට ඇත. එය මෙතැනින් කියවිය හැක [3]. මෙම ලිපිය සදහා මෙම අධ්‍යනය බොහෝ සේ පාදක කොටගෙන ඇත.

සංචාරක කර්මාන්තය වෙනුවෙන් ප්‍රධානතම සාධකයක් වන්නේ යටිතල පහසුකම්ය. තවමත් ලංකාවේ ප්‍රධානතම වෙළදපොළ වන යුරෝපයේ සංචාරක ආකර්ෂණය වෙනුවෙන් විශාල ලෙස හේතු වූයේ ලංකාවේ ඇති ඉහළ ප්‍රමිතියේ හෝටල් ඇතුළු නවාතැන් පොළවල්ය. නිශ්චිත සංචාරක ඉලක්ක නොවූ සමයෙක අදාළ සුඛෝපභෝගී නවාතැන් පොළවල් බිහිවන්නේ වැවිලි ක්ෂේත්‍රයේ පොහොසත් අයිතිකරුවන් වෙනුවෙන්ය. යටත් විජිත සමයේ ලංකාවේ වැවිලි කර්මාන්තයේ නැගීමත් ඒ වෙනුවෙන් වන යටිතල පහසුකම් සහ සුඛෝපභෝගී සේවාවන්හි ගොඩනැංවීම් සංචාරක කර්මාන්තයට අත්‍යවශ්‍ය ශක්තිමත් මූලික අඩිතාලමක් දැමීමට සමත්විය.

කොළඹ ගෝල්ෆේස් හෝටලය, ගල්කිස්ස හෝටලය, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, මහනුවර ක්වීන්ස් හෝටලය, නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය සහ ශාන්ත ඇන්ඩෲ හෝලටය සහ ගාල්ල නිව් ඔරියන්ටල් හෝටලය වැනි තරු පන්නයේ හෝටල් අලුත් වැඩියාවන් සිදුකර විදේශ සංචාරක ක්ෂේත්‍රයේ සුඛෝපභෝගී නවාතැන් වෙනුවෙන් වෙන්කිරීමට පෙර ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ සහ අනෙකුත් ධනවතුන්ගේ පරිහරණයට සකස්කොට තැබූ ඒවා විය. මීට අමතරව රටපුරා විහිදි තිබූ “තානායම්” සංචාරක ක්ෂේත්‍රය ආරම්භයේදී අතිශයින්ම වැදගත් සේවාවක් ඉටුකරන ලදී. ලංකාවේ සත්කාරක සේවාවල පුරෝගාමී සේවයක් ඉටුකළ මෙම තානායම් අතිශය අලංකාර ස්ථානයන්හි පිහිටා ඇත. ඇල්ල, බෙලිහුල්ඔය, හෝර්ටන් තැන්න, පුස්සැල්ලාව, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල, තිසා වැව, නුවර වැව, කිතුල්ගල, බෙන්තොට, තිස්සමහාරාමය මේවා පිහිටා තිබුණි. ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවත් සමගම වඩාත් දියුණුකළ හැකි තත්ත්වයක් තිබූ මෙම තානායම් කිහිපයක් පමණක් පුද්ගලික අංශයට ලබාදී ඇතිමුත් ඒවායෙන් මීට වඩා දායකත්වයක් වර්තමානයේ වන විට ලබාගත හැකිව තිබේ.

යටත් විජිත සමයේ සිට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් කොතරම් පිටිවහලක් ලැබුණත්, පෞද්ගලික අංශය ඒ වෙනුවෙන් පුරෝගාමී වූවත් (දේශීය සංචාරක සමාගම් වල ඉතිහාසය ඊළග ලිපියෙන් බලාපොරොත්තු වන්න) ලංකාවේ රාජ්‍ය විසින් ඒ වෙනුවෙන් ආයතනයක් පිහිටුවන්නේ නිදහසින් වසර 18කට පසුවය. 1966 දී වසර 10ක සැලසුම් සකස් කෙරුන අතර ඒ වෙනුවෙන් වන නීති ප්‍රතිපාදනයන් 1966 අංක 10 දරණ සංචාරක මණ්ඩල පනත, 1968 අංක 14 දරණ සංචාරක සංවර්ධන පනත මගින්ද අනුමත කරගැණිනි. ඊට අවශ්‍ය ආයතනික රාමුව වෙනුවෙන් ලංකා සංචාරක මණ්ඩලය, ලංකා හෝටල් පාසල සහ ලංකා හෝටල් සංස්ථාව ස්ථාපිත කෙරිණි.

සංචාරක ව්‍යාපාරය තුළ පුද්ගලික සමාගම් ක්‍රියාත්මක වූවත් එය කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අවශ්‍ය ආයෝජන ලබාගැනීම වෙනුවෙන් පුද්ගලික අංශය දිරිමත් කිරීම සදහා යටිතල පහසුකම් සපයමින් සහ මුල්‍ය සහ මුල්‍ය නොවන දිරිගැන්වීම් සපයා දෙමින් සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව ඉලක්ක කොටගත් සංවර්ධන රැල්ල 1966–1977 අතර කාලය තුලදී සිදුවිණි. ඒ දකුණු වෙරළ ආශ්‍රිත සංචාරක කලාපයන් ගොඩනංවමිනි. 1966–1970 අතර කාලය තුළදී සංචාරක පැමිණීම 23% වාර්ෂික වේගයකින් දියුණුවූ අතර 1971 දී හටගත් කැරැල්ල හේතුවෙන් එය 14%කින් පහළ ගියත් 1972 සිට 1982 දක්වා එය 24% වාර්ෂික වේගයකින් ඉහළ ගියේය. 1966 දී 19000 ක සංචාරක පැමිණීමේ අගය 1975 දී 100,000 යේ කඩඉම පසුකිරීමට සමත් විය. මෙම තත්ත්වය 1977 දී විවෘත ආර්ථිකය හදුන්වාදීමත් සමග තවදුරටත් ඉහළ ගියේය. එය 1982 වන විට 400,000 පසුකිරීමට සමත්විය. 1983 දි කළු ජුලියත් සමග හටගත් සිවිල් යුද්ධය එතෙක් ලංකාවේ සාර්ථකව ගොඩනැගෙමින් තිබූ සංචාරක ව්‍යාපාරයේ අවසානය සනිටුහන් කළේය.

1982 වසරේදී 407,230 ක් වන සංචාරක පැමිණීම 2009 වසර තුළ සටහන් වන්නේ 447,890ක් ලෙසයි. ඒ අතරතුළ සිවිල් යුද්ධය අතර තුළ පැවති සාම සාකච්ඡා කාලසීමාවන්වලදී 1989/1990 දී 30%ක වර්ධනයකුත් 1997/1999 කාලය තුළදී 13%ක වාර්ෂික වර්ධනයකුත් 2002/2004 කාලය තුළදී 19%ක වාර්ෂික වේගයකුත් අත්පත් කරගැනීමට සමත්විය. ඊට අමතරව දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වූ එමෙන්ම දෙවන වසර 10යේ සැළසුම් ඉදිරිපත් කළ 1991/1993 කාලය තුළදී පමණක් 10%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කළේය. ඊට අමතරව අනෙකුත් සියළු කාලපරාසයන්හීදී -4% සිට -15% පැමිණීම් අඩුවක් පෙන්නුම් කර ඇත.

මෙවැනි වටපිටාවක් තුළ 2009 දී සිවිල් යුද්ධය අවසාන වීමත් සමගම නැවතත් ශ්‍රී ලාංකික සංචාරක ක්ෂේත්‍රය වර්ධනය වීමට ආරම්භ වී ඇත. 2011 වසරේදී පස් අවුරුදු සැලැස්මක් එළිදැක්විණි. මිලියන 0.45ක් ව පැවති සංචාරක පැමිණීම 2016 වසරේදී මිලියන 2ක් දක්වා වර්ධනය විය. රට තුළට ගෙන ආ විනිමය මිලියන 350ක සිට මිලියන 3400ක් දක්වා වර්ධනය වී ඇත.

2007 වර්ෂයේදී එතෙක් පැවති 1966 පනත වෙනුවට 2005 අංක 38 දරණ පනත ක්‍රියාවට නැංවුණි. මීට සමාන්තවරව සංචාරක මණ්ඩලය වෙනුවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ස්ථාපිත වුණි. ඊට අමතරව ශ්‍රී ලාංකික සංචාරක ප්‍රවර්ධනය සදහාම වෙන්වූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පිහිටුවා ඇත.

[1] http://www.island.lk/2005/09/05/features6.html

[2] https://en.unesco.org/silkroad/network-silk-road-cities-map-app/en

[3] https://www.researchgate.net/publication/282605564

One clap, two clap, three clap, forty?

By clapping more or less, you can signal to us which stories really stand out.