Danuja Jayawardhana
The Broken Dam
Published in
3 min readMar 2, 2019

--

::::::: සොහොන් කවිය :::::::

කලකට පසුව ළඟකදී ප්‍රයිවට් බස් එකක පැය 3ක ගමනක් යෑමේ මහඟු වාසනාව මට උදා විය. ජනේලයක් ලඟ හොඳ සීට් එකක් අල්ලා ගත් මම Dell Studio ගීත ටිකක් අහන්නට හිතාගෙන හෙඩ්සෙට් එක ගසාගතිමි.
"හීනයකි මට ආදරේ..
දැනෙනවා මට ජීවිතේ.."
එහෙත් ආදරනීය වස්සානයට එන්නට පෙර බසය ස්ටාට් කළ අතර ඒ සමගම කැසටි එකද පටන් ගැනුනි.
ඩි ඩිෂ් ඩිෂ් ටි ඩිඩින්...
දිවුරන්න බැහැ නේද මං ඉදිරියේ..
බොරු කරල ඉපදෙන්නෙ නැහැ සුගතියේ..
හර්කියුලීස් වැනි බෆල් සෙට් එක ඉදිරියේ සමාජ විහිලුවක් නොවී මම හෙඩ්සෙට් එක සාක්කුවට දාගෙන බස් බැති ගී අසන්නට අනිත් මගීන් සමඟ පිලිවෙතින් පෙලගැසුනෙමි.

එසේ කර හරි බරි ගැහී වාඩිවන විට තවත් සින්දුවක් පටන් ගෙන තිබුනි.
"දෙතැනක හිටියත් ලොවේ කොතන හරි මිහිදන් උනු පසු මා
ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පහතින් තැනේවා"
සොහොන ලඟ පහතින් තැනේවා??? යකෝ එතකොට මූට තියෙන්නෙ තට්ටු දෙකේ සොහොනක්ද? ටසිරි.. ඒකද දන්නෙ නෑ අලුත්ම trend එක?! හෙනම ගොඩේ ෆීලින් එකක් සමඟ මෙවන් සිතුවිලි රාශියක් මගේ සිතේ පැන නැගුනි. එම ඉත්තෑවා ඉවත් කරනු වස් මම google කරන්නට පටන් ගතිමි. ආහ්.. වැරැද්ද මගේය. එය ලඟ පහතින් නොව ලඟපාතින් විය යුතුය. මෝහිනී වැනි ළමයිනුත් සිටින හොල්මන් ඇති වීමට මෙය හේතු විය හැකි නමුත් එයට කමක් නැත.

Related searches බලමින් යනවිට තවත් අනර්ඝ සින්දු රාශියක් හමු උනි.
"මං මැරුනු දවසකට බොරුවට ඔයා
මා හට නිවන් සුව පතන්නට එපා.."
"සුදු කොඩිය ගේ ගාව එල්ලන තුරූ
ඉන්නට එපා දෙන්න ඔය අත සුදූ.."
"ඇස් වැහුනු දාට සුබ පතන්න සුබ ගමන් කියා
සුදු ඇඳන් ඔයා මං හොයාන එන්න නම් එපා"
"මිය යන්න සූදානම් පැරදුම දරන්
සමරන්න එනවාද සුදු මල් අරන්.."
අවසාන සින්දුවත් සමඟ මගේ මතකයට ආවේ වරක් O/L English පේපරයක අවසානයේ කොල්ලෙකු ලියා තිබූ වැකියකි.
මිය යන්න සූදානම් පේපරෙ අරන්
වලලන්න එනවාද සවලක් අරන්..

එනම් වර්තමානයේ O/L කොල්ලන් ගෙවල්වල සද්දෙට දාගෙන අහන්නේ මේවාය. එවිට ගෙවල්වල සිටින වැඩිහිටියන්ටද ඇහෙන්නේ මේවාය. අපි O/L කාලයේදී පිස්සුවෙන් වගේ ඇසූ සින්දු කිහිපයක්ද මට මතක් උනි.
කිරිකෝඩු හිතට, සඳවතියේ, යායට පායනා, මල් පැන් පොදක්, නීල දෑසේ, චන්ද්‍රයන් පිදූ...
Those were the days!! එකල අපේ ගෙවල්වලත් සොහොන් සින්දු සද්දෙට දමාගෙන ඇහුවානම් දඬුකඳන් තැනීම ගෘහ කර්මාන්තයක් දක්වා වර්ධනය වීමට තිබුනු බව මට විශ්වාසය.

පසුව මට තව දෙයක් කල්පනා උනි. මේ සින්දු හැදෙන්නේ මිනිස්සු අහන නිසා නොවේද? එයින් නිගමනය නම් ලංකාවේ කෙල්ලන් යනු අමර බූට් කාරියන් පිරිසක් යන්නද? එමෙන්ම බූටක් කෑවට පසු පෙරලී වැතිරී වැලපෙන්නට තරම් කොල්ලන්ගේ 'පිරිමිකම' දෝරේ ගිහින්ද? එකල මාසෙකට සැරයක් පමන බූට් කාපු උන් අප අතර සිටියා මට මතකය. හැබැයි ඌ ෆෝකස් කරේ බූට් ගැන නොව බූටක් කෑමට හෝ හැම මාසයකටම කෙල්ලෙක් සිටීම ගැනය.

තව දුරටත් සිතන විට අපි මේ ගෙවන්නේ බස් ඩ්‍රයිවර් හෝ කොන්දා කෑ බූටක පව නොවේද? වෙන බහුබූතවලට නොව මාර්ග නීති අවශ්‍ය වන්නේ මෙවැනි දැවෙන ප්‍රශ්න වලටය. බස් ඩ්‍රයිවර් කෙනෙක්ට හෝ කොන්දොස්තර කෙනෙක්ට බූට් තැබීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කල යුතුය. ඔවුන් සමඟ සෙට් වෙන කෙල්ලන්ට ඇඳුම් පැලඳුම්, ප්ලාස්ටික් බේසම් ආදී වටිනා දීමනා ලබා දිය යුතුය. වසරක් ඇතුලත කෙල්ලෙක් සෙට් නොවුනහොත් රජයෙන් හොඳ කෙනෙක් තෝරා දී මඟුල කර දිය යුතුය. එවිටවත් මේ අඳෝනාව නවතිනු ඇත. අනුන්ගේ පව් වලට කර නොගහා අපට බස් එකේ යාමට හැකි වනු ඇත. නැතහොත් සුනිල් එදිරිසිංහයන් එදා ගැයූ ගීය මෙලෙස වෙනස් වීමට වැඩිකල් ගත නොවනු ඇත.
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
බූටක් නොමැති නව ගීතයක්...

--

--

Danuja Jayawardhana
The Broken Dam

Software Engineer - CodeGen International Computer Science and Engineering - University of Moratuwa